කාන්තාවන් වූ අප හැමෝම තමන්ගේ රූපයට කැමැතියි. ඒ රූපය කෙරෙහි සිත ඇද බැඳගෙන වාසය කරනවා. රූපය නිතර සරසනවා. අලංකාර කරනවා. එහි ගුණ කියනවා. නමුත් ඒ අතරින් ඇතැම් කාන්තාවක් කැමැති වෙනවා මතු ජීවිතය කාන්තාවක් නොවී පිරිමියෙක් ලෙස ඉපදෙන්නට. එවිට, ‘ඇය මේ ජීවිතයේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තිබෙනවා ද? එසේ ප්‍රතිපදාවේ නිරත වුවහොත් ඇයගේ කැමැත්ත ඉටු වේවි ද?’ යි බලමු…
ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අප හැම දෙනාම සසරේ ගමන් කරන පිරිසක්. සියලු ම ස්ත්‍රීන් ස්ත්‍රී භාවයට කැමැති නිසා ස්ත්‍රියක් වූවා, සියලු ම පිරිමින් පිරිමි භාවයට කැමැති නිසා පිරිමියෙක් වූවා කියා නිර්ණායකයක් මේ ලෝකයේ නැහැ. අප සසරේ යම් යම් දේ රැස් කළා ද කර්මානුරූප ව, සැප දුක් විඳීමට යටත්ව අප ඒ ඒ ආකාරයට උපත ලැබුවා. අප රැස් කරගෙන තිබෙන කර්මයන් අනුව මිනිස් ලෝකයේ යම් සැපක් හෝ දුකක් විඳීමට තිබෙනවා නම් එය ඒ ආකාරයට ම සිදුවෙනවා.
මේ ලෝකයේ පුරුෂයන් වෙලා ඉපදෙන සියලු ම දෙනා සදාතනික සැපයක් විඳිනවා කියා දෙයක් නැහැ. ඔවුනුත් මිනිස් ලෝකයේ ඉපදුණ නිසා සැප දුක් උපේක්ෂා කර්මානුරූප ව විඳිනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළා පුරුෂයෙක් නොවිඳින, ස්ත්‍රියකට පමණක් ආවේණික වූ දුක් තිබෙන බව. ඒ දුක් ස්ත්‍රියක් විසින් විඳිය යුතු ම වෙනවා.
■ තමාගේ මව්පියන්ගෙන් වෙන්වෙලා සැමියාගේ නිවසට පතිකුලයට යෑම.
■ මාසික ශුද්ධියට මුහුණ දීම
■ දරු ගැබක් ඉසිලීම
■ දරුවන් බිහි කිරීම
■ ස්වාමියාගේ උපස්ථානයට කැප වී සිටීම
ස්ත්‍රියකට මේ දුක් විඳවීමට පරිසරය සැකසිලයි තිබෙන්නේ.
ධර්මය නුවණින් විමසීමේ ගුණ…
ධර්මය ඇසීම තුළින් හා ධර්මය නුවණින් විමසීම තුළින් යම් කාන්තාවක් කැමැති වෙන්න පුළුවන්, ‘ස්ත්‍රී ජීවිතය නම් මහා දුක් ගොඩක්. මට මතු ජීවිතයෙහි පුරුෂයෙක් වීමට තිබෙනවා නම් හොඳයි.’ කියලා. කාන්තා ජීවිතයට වඩා පුරුෂ ජීවිතය උතුම් බව භාග්‍යවතුන් වහන්සේත් වදාළා. උන්වහන්සේ වදාළා ස්ත්‍රියක් නොලබන, පුරුෂයෙකුට පමණක් උරුම පදවි තිබෙනා බව.
■ සම්මා සම්බුද්ධත්වය
■ මහා බ්‍රහ්ම පදවිය
■ මාර පදවිය
■ සක් දෙවිඳු පදවිය
ස්ත්‍රී වූ අප සැමට ආවේණික දුර්ගුණ තිබෙනවා. ඉක්මණින් කෝපයට පත් වීම, ඊර්ෂ්‍යා බහුල වීම, ළඳබොළඳ බව, පසුතැවීම, අකුසල් සිතේ රඳවා ගැනීම, අන් අයගේ සැපයට, රූපයට, හඬට ආශා කිරීම බහුලව තිබෙනවා. එවැනි කාන්තාවකට පුරුෂයෙක් වීම අපහසු යි. එවැනි දුර්ගුණ දුරලා යම් කාන්තාවක් පිරිසිදු බඹසර සමාදන්ව රකිනවා නම් හෝ ස්වාමි භක්තියෙන් යුතුව සැමියාට උපස්ථාන කරනවා නම් හෝ ඇයට කර්මානුරූප ව ලැබුණ සැමියාගේ අඩුපාඩු ගැන නොසිතා ඔහුගෙන් සෑහීමකට පත්වෙනවා නම් ඇයගේ ඉලක්කය කරා යා හැකි වෙනවා.
තමන්ගේ සැමියා සුරාවට ලොල් වූ කෙනෙක් වෙන්න පුළුවන්, පර ස්ත්‍රීන් ඇසුරු කරනවා වෙන්න පුළුවන්. තමාට කායික ව මෙන්ම මානසිකවත් පීඩා ගෙන දෙනවා වෙන්නත් පුළුවන්. නමුත් කාන්තාව ඉවසීමෙන් පතිවත රැකගෙන කටයුතු කළොත් ඇයගේ බලවත් අකුසල් ඇත්නම් එය ගෙවී බලවත් පිනක් රැස් වෙනවා. ඒ තුළින් ඇයගේ කර්මය වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ ගෝපිකා කියා උපාසිකාවක් සිටියා. ඇය ශ්‍රාවක සංඝරත්නයට කුටි සෙනසුන් තනවා පූජා කළා. නිතරම උන්වහන්සේලාගෙන් ධර්මය අසා ඉගෙනගෙන එය නුවණින් මෙනෙහි කළා. සිත දියුණු කර ගත්තා. පසුකාලයේ දී ඇය කළුරිය කරලා සක් දෙවිඳුගේ පුත්‍රස්ථානයේ ඉපදුණා. දැන් ගෝපක දිව්‍ය පුත්‍රයා. මේ ගෝපක සතුටු කරන්නට දිනක් දිව්‍ය පිරිසක් පැමිණියා. ඔවුන් ගාන්ධර්ව දෙවිවරු. ගෝපක දිව්‍ය පුත්‍රයා දුටුවා මේ පෙර ජීවිතයේ දී තමන් උපස්ථාන කළ ස්වාමීන් වහන්සේලා බව. ගෝපක දිව්‍ය පුත්‍රයාට මහත් අනුකම්පාක් ඇති වුණා. අර දෙවියන්ට කියා සිටියා,
“දෙවිවරුනි, මම පෙර ජීවිතයේ කාන්තාවක් වෙලා සිටියේ. නමුත් මම පින් කරමින් පුරුෂ භාවය වැඩුවා. අද මම සක් දෙවිඳුගේ පුත්‍රයෙක් වෙලා ඉන්නවා. මට ධර්මය කියා දුන් ඔබලා ඇයි ධර්මය පුරුදු කර ගත්තේ නැත්තේ?” කියා.
එහෙනම් අපට පේනවා මේ උපාසිකාව හොඳින් ධර්මය අසලා ධර්මය පුරුදු කර තිබෙන බව. ඇය මිනිස් ලොව දී පවුලක යුතුකම් ඉටුකරගෙන, අභ්‍යන්තරික ව ස්ත්‍රියකට තිබෙන බැඳීම් දුරු කළා. බාහිරව පුරුෂයෙකුට ඇති බැඳීමත් දුරු කළා. පතිවත රකිමින් කාන්තා ආකල්ප දුරු කළ නිසා දෙවියෙක් වී උපන්නා.
මානසික කායික වේදනා විඳිනවා ද?
මේ ලෝකයේ බොහෝ කාන්තාවන්ට ස්වාමියා, දරුවන් තීරණය වන්නේ කර්මානුරූප ව, සසරේ කළ පින් හා පව් මත යි. සමහර කාන්තාවන්ට ඉතාමත් ගුණ යහපත්, ඉවසීමෙන් යුතු, තමාව හොඳින් රැකබලා ගන්නා පුරුෂයෙක් ස්වාමියා ලෙස ලැබෙනවා. ඇතැම් කාන්තාවන්ට සුරාවට ලොල්, නිතර පරුෂ වචන කියන, ගුටිබැට දෙන, තිරිසන් ගති ඇති පුරුෂයෙක් සැමියා ලෙස ලැබෙනවා. තමන් සසරේ කළ පින සහ පව මතයි එසේ සිදු වන්නේ.
තමා ප්‍රිය නැති, කායිකව සහ මානසිකව සැමියාගෙන් වද වේදනා විඳින යම් කාන්තාවක් සිටිනවා නම් ඇයගේ ජීවිතය තුළ උපදවාගත යුතු ගුණධර්ම කීපයක් තිබෙනවා. පළමුව ඇය තේරුම්ගත යුතු වෙනවා මම සසරේ කළ දේයි මට දැන් ලැබී තිබෙන්නේ කියන දේ. මෙවැනි කාන්තාවන් නිරන්තරයෙන් ඉවසීම පුරුදු කරන්න ඕනේ. කුඩා දෙයටත් කෝප වෙලා සැමියාට ශාප කරමින්, ‘ඇයි මට ම මෙහෙම වුණේ?’ කියා තමාටත් ශාප කරමින්, හඬා වැටෙමින් කාලය ගත නොකොට ඇය දක්ෂ වෙනවා නම් ධර්මය තුළින් මේ සඳහා පිළිතුරක් සොයන්න ඇයට මේ ජිවිතය කෙසේ වෙතත් පරලොව ජීවිතය ජය ගන්නට පුළුවන් වෙනවා. එවිට ඇයට විඳවන ජීවිතයෙන් එළියට එන්න පුළුවන්.
යම් ස්ත්‍රියකට දැන ගන්නට ලැබුණොත් තමන්ගේ සැමියා වෙනත් ස්ත්‍රියක් සමඟ නොමනා ඇසුරක් තිබෙනවා කියා, ඇය එයට විසඳුමක් සෙවීම සඳහා ඉක්මනින් ධර්මයට ළං විය යුතුයි. සැමියා නිසි මගට ගන්නට ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. එසේ කරලත් ඔහුව බේරා ගන්නට බැරි වුණොත් ධර්මය තුළින් සිත හදා ගැනීමයි කළ යුත්තේ. කර්ම – කර්ම ඵල විශ්වාසයෙන්, ‘මම කළ දේ මම ගෙවනවා’ යයි ඒ පිළිබඳව උපේක්ෂාවට පත්ව, නිතර බුද්ධ වන්දනා කරමින්, සෑය, බෝධිය වන්දනා කරමින්, දන්පැන් පුදමින්, පිරිත් සජ්ඣායනා කරමින් කටයුතු කළොත් ඇයට සැනසීමක් ලැබෙනවා. විශේෂයෙන් ධර්මය ශ්‍රවණය කිරීමත්, ඇසූ ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් සුදුසු වෙනවා.
සසරේ වැරැදි කාම සේවනයේ යෙදුන නිසා තමා ඒ දුක දැන් ගෙවන බව සිහි කරමින්, බඹසර රකිමින්, උපෝසථ සීලයත් රැකගත්තොත් ඇයගේ කර්මය ගෙවී යන්නට පුළුවන්. ඉවසීමෙන් කටයුතු කළොත් ඇතැම්විට සැමියා නිවැරැදි වෙලා නැවත සතුටින් පවුල් ජීවිතය ගෙවන්න අවස්ථාවත් ලැබේවි. ප්‍රශ්නයක් ඉදිරියේ උපේක්ෂා සහගත වීම නුවණැති කාන්තාවකගේ ලක්ෂණයක්. වරදේ බැඳෙන සැමියාට තමන්ගෙන් සිදුවිය යුතු යුතුකම් ඉටුකරමින් ඔහු පිළිබඳව උපේක්ෂාවෙන් කටයුතු කළොත් යම් සැනසීමක් ලබන්න අවස්ථාව තිබෙනවා. ඇතැම් කාන්තාවන් ප්‍රශ්නයක් ආ විට පිළිතුරු සොයන්නට යන්නේ දේවාලයකට. නැතිනම් මිථ්‍යාදෘෂ්ටික පිරිසක් ළඟට. එසේ නොකොට නුවණින් විමසලා දරු පවුලත් රැකෙන පරිදි කටයුතු කළොත් කර්මයක් ලෙස යමක් තිබෙනවා නම් එය වෙනස් වෙන්න පුළුවන්. නිතරම පිනට යොමුවන විට තමන්ට නොපෙනෙන ලෝකයෙන් යම් බලපෑමක් තිබෙනවා නම් එයින් ද මිදීමට හැකි වෙනවා. තමන් මිනිස් ලෝකයේ දුක ගැන අවබෝධ කරලා, සේඛබල ධර්ම දියුණු කරගෙන මේ ලෝකයෙන් මිදිලා සුගති ලෝකයක සිත රඳවා ගත්තොත් කාන්තාවන්ට ඇති බොහෝ ප්‍රශ්නවලට විසඳුම් එතැන දී ලැබේවි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood