දිවිය පුරා සතිමත් වෙමින්

උඩඊරියගම ධම්මජීව හිමි

සක්මනේ හැරෙන වෙලාවේ දී නිවැරදිව සතිය පිහිටුවන්න දන්නව නම්, ගෙදර දොරේ දහසකුත් කටයුතු කරන ගමන් සතිමත් වීම සඳහා සක්මනෙන් පුංචි ආදර්ශයක් ගන්න පුළුවන්. ගිහිල්ලා හැරෙන කොට, සතිය කඩා ගන්නේ නැති අධිෂ්ඨානයෙන් ගිහිල්ලා කවද හරි සාර්ථක වුණැ යි කියන්න. එතකොට, වැසිකිළියට යන කොට අධිෂ්ඨාන කර ගෙන යන්න පුළුවන්: මම මේ වැසිකිළි කෘත්‍ය කරන කොට සම්පූර්ණයෙන් ම ඒ කෘත්‍ය සතියෙන් කරලා, එනකනුත් සතිය සතිමත් කරනවා කියල.

නැත්නම් භික්ෂූන් වහන්සේට තියෙනවා “ගත පච්චාගත වත”. පිණ්ඩපාතෙට පාත්තරේ හෝදලා  පාත්තරේ අධිෂ්ඨාන කරාට පස්සෙ පාත්තරේ හෝදලා, වතුර පිහන්නෙ නැතුව ගන්නවා. මෙතන ඉඳල සම්පූර්ණ ගමට ගිහිල්ලා පිණ්ඩපාතේ කරල ආපහු එනකම් හැම පියවරක් ම මම සතියෙන් ගත කරනවා කියල, පාත්තරේ බලලා අධිෂ්ඨාන කරනවා. ඉතිං “ගත පච්චාගත වත” කියල මේකට කියන්නෙ. ගත කියන්නෙ යන. පච්චාගත කියන්නෙ එන. දෙකේ ම සතිය කඩා ගෙන එන්නෙ නෑ. බුදු හාමුදුරුවො කියල තියෙන ආනිසංසෙ මොකක් ද දන්නව ද? බුදු හාමුදුරුවෝ කියල තියෙන්නෙ: ස්විප් එකක් ඇදුණොත් ලොකු ම තෑග්ග හම්බ වෙනවා, ගත පච්චාගත වත තියෙනවා නම් ස්විප් එකක් අදින වෙලාවට, එහෙම හම්බ වෙන්නෙ ගත පච්චාගත වත තියෙන කෙනාට. අමතර සම්බන්ධකමක් ඒකෙ තියෙන්නෙ. ඉතිං ඒ වගේ ම තමයි ඒක මේ ජීවිතෙන් මැරිලා, වෙනත් ජීවිතේට ගියත් තියෙනවා.

ඒ නිසා එදිනෙදා ජීවිතේ දී සතිය පිහිටුවන කොට, සක්මන වගේ හොඳට ම තමන් තනියෙන් ම කරන වැඩ දෙක තුනක් අරගෙන, මුලදි ම අධිෂ්ඨාන කරන්න ඕන “මම මේ පිඟාන හෝදනවා” ආදි වශයෙන්. පොඩි වැඩ ගන්න ඕන. කෑමෙදි කරන්න බෑ. කථා කිරීමෙදි නම් කිට්ටු කරන්න බෑ. කථා කරන්න පටන් ගන්න කොට, සතිය පිහිටුවන එක අනිත් කෙනාට කරන්නත් බෑ. දකින මනුස්සයාටත් තද වෙනවා. ඒ නිසා මම කරුණාකරලා ඉල්ලා සිටිනවා, භාවනා වැඩමුළුවේ දී නිහඬතාව ය රකින ලෙස. කාන්තාවන් සඳහා කාන්තාවක් ම යි ලියලා තියෙන්නෙ, කාන්තාවනුයි වැඩියෙන් කථා කරන්නෙ කියල. මම පිරිමියෙක් වශයෙන් කාන්තාවන්ගේ උධෘතයක් මේ ඉදිරිපත් කරන්නෙ. ඒ නිසා ඒක ඇහෙන්න තියන්න එපා. පුළුවන් තරම් තම තමන්ගෙ වැඩ කර ගන්න. ඒකයි අපි මේ අද ගොඩක් කථා කරන්නෙ; අවශ්‍ය තොරතුරු ලබා දෙන්නෙ.

ඉතිං දවසෙ වැඩ දෙකක් තුනක් අරගන්න. මං පටන් ගන්න කාලෙ මට ධම්මික හාමුදුරුවෝ කිව්වෙ: දත් මදින වෙලාවෙ සතිමත් වෙන්න. මුණ හෝදන වෙලාවෙ, අත පය හෝදන වෙලාවෙ සතිමත් වෙන්න. එච්චරයි. දවසකට එකයි. ඒ වැඩේ මුල ඉඳල අග දක්වා ම කරන්න පටන් ගන්නව නම්, ඒ වැඩේට ලෑස්ති වෙන්න ඉස්සර ඉඳල ම සතිය පිහිටනවා; ඉවර කරලත් විනාඩි දෙක තුනක් යනකම් සතිය තියෙනවා. එතකොට වැසිකිළි කැසිකිළි කරන කොට ඒ වැඩවලදී සතිය පිහිටුවන්න පටන් ගත්තහම අහයි දවසක, කොතැන ද සතිය පිහිටුවන්න බැරි කියල. ආන්න එදාට තමයි “යෝගාවචරයා” කියල කියන්න පුළුවන්. හැම තැන දී ම – පුළු පුළුවන් තැන්වල මේ සත්ත ගහල ඉඳගෙන ඉන්න කොටයි, සක්මන් කරන කොටයි, එදිනෙදා වැඩවලදියි අන්තිමට අහන්න වෙනව: තමන්ට කොතැනදි ද සතිය පිහිටුවන්න බැරි වුණේ කියල.

පැය විසිහතරෙ ම අන්න එතැනට ගිය දවසට තමයි අපට කෑවට ණය නැති වෙන තත්ත්වෙට එන්න ලැබෙන්නෙ. අපි මේ අනුන්ගෙ බත් කාලා – සංඝයා වහන්සේ නම් ඉතිං ඔක්කොම අනුන්ගෙ නේ. මේකට “ඉණ පරිභෝගය” කියල කියන්නෙ; ණයට කනව කියල කියන්නෙ. කාල ඒ කටයුත්ත කළේ නැත්නම් ණයක් කියල කියන්නෙ. ණය ගෙවෙන්නේ, දවසක තමන්ට අධිෂ්ඨානයක් ගන්න පුළුවන් වුණාම: උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳල නින්දට යනකම් ම කෙරෙන වැඩ හැම එකක දි ම මම සතිමත් වෙනවා කියල.

              හැබැයි ඒකෙ දී පොඩි අර්ථකථනයක් කරන්න වෙනවා. මොකක් ද? එහෙම ඉන්න කොට – උත්සාහ කරන කොට – සතියෙන් ඉන්න කොට, මෙන්න මේ කෑල්ලෙ සතිය නෑ කියලත් දැන ගන්නවා. ආන්න ඒකයි වටිනාම දේ. දවසෙ මෙතැනට එනකම් ම සතිය තිබුණා – මේ කෑල්ලෙ සතිය තිබුණෙ නෑ කියල, සතිය ආපු වෙලාවෙ ම තීන්දු වෙන්න පටන් අරගන්නවා, මෙතැනදී සතිය තිබුණෙ නෑ කියල. එතකොට දන්නවා සතිය නැති වීමට හේතු වුණේ මේ කථාව, එහෙම නැත්නම් අසවල් පුද්ගලයා, එහෙම නැතිනම් අසවල් ආහාරේ, අසවල් දර්ශනේ කියල. ඒකෙන් ආස්වාද – ආදීනව දෙක ගොඩගහගන්න පුළුවන්. ඒ නිසා සතිය නැතිකම තමන්ට තේරෙන්න පටන් අරගත්ත නම් – මේ මේ වෙලාව සතිය නෑ කියල, ඒක විශාල දියුණුවක්. සතිය තියෙන බව දැනගන්න එකට වඩා හුඟක් හොඳයි, සතිය නැති බව දැනගෙන නො සැළී ඉන්න එක.

ඒක තමයි අපි නිවනෙන් මෙපිට, අසවල් අරමුණේ බලාපොරොත්තු වන දර්ශීය ජීවන රටාව. සතියෙ ඉන්න තාක් කල් දන්නව, සතියෙ ඉන්නෙ කියල; අහවල් නිමිත්තෙ ඉන්නෙ කියල. නැති කොට දන්නව සතියෙ නෑ කියල. ඒකට හොඳ ම තැන තමයි සක්මනේ දී හැරෙන තැන. එතැන දී ඔය වගේ අපි නිකන් කරකවලා අතඅරින ගතියක් තියෙනවා. ඉතිං ඒකට කුරුලු සද්ද – නා නා ප්‍රකාර දේවල් බලපානවා. ඒක තදින් ම සිද්ධ වෙනවා එදිනෙදා වැඩවලදී. හැබැයි එවැනි දේ තියෙද්දි, කථා කර කර ඉඳල මේක කඩා ගන්නවා නම්, මං හිතන්නෙ ඒක අපරාධයක් කියල. මොකද? හරි අමාරුවෙන් අපි මේ වෙලාවන් හදාගන්නෙ. ඇවිල්ල මෙතන මේ පයිරුපාසානං කරන්න හදනවා වත්, එකිනෙකා හඳුනාගන්න හදනවා වත් නෙවෙයි. හඳුනාගනී අපි බුද්ධ ශ්‍රාාවකයො වශයෙන්. බුදු හාමුදුරුවන්ගෙ ගෝලයො වශයෙන් හඳුනාගනී. ඒක සතිය හරහා වෙන්නෙ.

ආපිට එන කොට අපිට පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නෙ: “උඹ යන යන තැන සතිමත් වෙනවා නම් – යන යන තැන අප්‍රමාද වෙනවා නම්, උඹ කොහේ හිටියත්, එක ම ජීව රුධිරය යි අපේ ගමන් කරන්නෙ. කොහෙ හිටියත් අපි සම්බන්ධයි.” ඒක මේ ඇයිහොඳයිය, සිප වැළඳගැනීම්, ආලිංගනවලින් නෙවෙයි කරන්නෙ. අපේ කෘත්‍ය කෙරෙනවා නම්, හැම වෙලාවෙ ම සතියෙන් ගත කරනවා නම්, ඉබේ ම ඒ ශාසනික මෙහෙවර කෙරෙනවා. ඒ වගේ ම ඇසූ දුටු කෙනෙකුටත් ශාන්තියක් තියෙනවා.

සක්මනේ දි ඇති කර ගන්නා සතිය එදිනෙදා වැඩවලට යන විදිහ ගැන විස්තරය මං පොඩි වචන කිහිපයකින් ඉවර කරනවා, වේලාව සලකලා. සක්මන් කරන කොට අපි යම් ආකාරයකට පතුලෙ, වම් පතුලෙ, දකුණු පතුලෙ හැපීම් – ගැටීම් – කෙටීම් බලනවා නම්, ඒවා එදිනෙදා ජීවිතයේ දී අතුල් පතුල් දෙකේ ම තියෙනවා කියල හිතාගන්න. අත්ලට යමක් හැපෙනවා නම් – පත්ලට යමක් හැපෙනවා නම් ඒ සෑම හැපීමක් ගැන ම, ශරීරයේ ඕන තැනක ප්‍රශ්නයක් නෑ – හැම එකකට ම අපි සතිමත් වෙන්න ඕන. ඒ වගේ ම එදිනෙදා ජීවිතේ ඉන්න කොට, හරියට මේ වෙලාව ඇතුළත මේ වැඩේ කරන්න ඕන කියල අපට තියෙනවා කාල සීමාවන් වැටෙන වේලාවන්. එතකොට අපට වේගෙන් කරන්න වෙනවා. ඒ වගේ ම තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරන කොට, බාහිරට අනිවාර්යයෙන් ම හිත යනවා. ඉතිං මේ දෙකේ සතිය පිහිටුවන්න උනන්දු කරන්න එපා. මේක අමාරුයි. පුළුවන් තරම් බලන්න සතිය පිහිටුවන කොට තමන්ගෙ වැඩක් කර ගන්න. තමන් තනියම කර ගන්න වෙලාවෙ දි සතිය පිහිටුවන්න බලන්න; ගොඩක් සාර්ථක වෙනවා. කථා කර කර හෝ මොනව හරි හදිසි වැඩක් කරන වෙලාවෙ දී, ඒකට කියනවා ණබදඅකැාටැ කියල. ඇඟට කරන්න දීල නිකං ඉන්න; එයා කරයි. ටික දවසක් කරන කොට තමන්ට තේරෙයි ඒකෙ රටාව. එහෙම නැති ව, ඒ වාගෙ කලබල වැඩ කරන කොට සතිය පිහිටුවන්න යන්න එපා. ඒක හරියට රුපියල් අස්සෙ අරුක්කාල් ගහන්න හදනවා වගේ; හරියන වැඩක් නෙවෙයි. පුළුවන් තරම් නැවතිල්ලෙ, කාටවත් කතා නො කර – දෙපැත්තෙන් සම්බන්ධ නො වී කරන වැඩවල සතිය පිහිටුවන්න ගත්තොත්, තමන් කවදා හෝ එදිනෙදා ජීවිතේ සතිය හා පරියංකයේ සතිය අතර සම්බන්ධතාව දැකපු දවසට තමයි “යෝගාවචරයා” කියන නමට සම්බන්ධ වෙන්නෙ.

එදාට පැය විසිහතරෙ ම ඉන්න පුළුවන් ගතියක් – සතිය නැති බව වත් දැනගෙන ඉන්න පුළුවන් ගතියක් තියේවි. ඒක මං හිතනවා ධ්‍යාන ලැබුවා, මාර්ගඵල ලැබුවා, රහත් වුණා කියනවට වඩා වටිනවා. මොකද? හිත ඇතුළට නැමිලා. ඊට පස්සෙ තමයි අපිට ඔය පරියුට්ඨාන කෙලෙස්, අනුසය කෙලෙස් පිළිබඳ ව පර්යේෂණ කරන්න පුළුවන් වෙන්නෙ. ඉතිං මේ ටික තමයි මං හිතාගෙන හිටියෙ, මුල් ම උපදෙස් පන්තිය වශයෙන් මතක් කරන්න කියල. සියලු දෙනාට ම සැනසීම ලැබේවා! සාධු! සාධු!! සාධු!!!

© සතිපට්ඨාන සඟරාව