සදාචාර සංවර්ධනයේ අවශ්‍යතාව

මදුරි මාලේවන

මිනිසා පිළිබඳවත්, ලෝකය පිළිබඳවත් සාකච්ඡා කිරීමට උනන්දු වූයේ දාර්ශනිකයන්ය. එලෙසින් සදාචාරය පිළිබඳ ආගමික අවශ්‍යතාවයන්ගෙන් තොරව විධිමත් දාර්ශනික සාකච්ඡාවක් ආරම්භ වන්නේ බටහිර ලොව ග්‍රීක දාර්ශනික විමර්ශනයත් සමඟ ය. මිනිසාට ක්‍රියාකාරී සමාජ සත්වයකු ලෙස සමාජයේ ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සදාචාරය පෙන්වාදිය හැකි ය. සමාජ චර්යාවන්හි අන්තර්ගත නිරවද්‍ය හා සුවපත් භාවය සදාචාරයේ මූලික අර්ථය වේ.

සරල අර්ථකථනයෙන් ගත්  කල සදාචාරය යනු මිනිසා හා මිනිස් හැසිරීමට පාදක වූ හොඳ නරක පිළිබඳ අධ්‍යයනයක් වේ. සදාචාරය මිනිසාගේ පැවැත්ම නම් විෂය සෑම අංශය ම ගුණාත්මක භාවයකට ම බලපෑම් කරන්නා වූ සුවිශේෂී තක්සේරුකරණයක් වේ. සදාචාරය සම්බන්ධ විශ්ලේෂණයන් ගොඩනැගුණේ මිනිස් චර්යාව හා මිනිස් ක්‍රියාකාරකම් පාදක කොට ගෙනය. ඒ අනුව යහපත් වූ මනුෂ්‍ය චර්යාව සදාචාරය ලෙස අර්ථකථනය කළ හැකි ය. පෞද්ගලිකවම තමාටත් පොදුවේ සමාජයටත් හිංසාවක් පීඩාවක් අපහාසයක් නොවන, හානිකර නොවූ හැසිරීම තුළින් සමාජය තුළ සදාචාරය නිර්මාණය වෙයි. සදාචාරය හා පුද්ගලයා යනු අන්‍යොන්‍ය වශයෙන් බැඳී පවත්නා වූ ක්‍රියාවලියකි. සදාචාරය පිළිබඳ අධ්‍යයනයේ දී අවධානය යොමු කරනු ලබන්නේ නොයෙක් මිනිස් ක්‍රියාකාරකම් සහ ගති පැවතුම් අනුමත කළ හැකි, කළ නොහැකි, හරි හෝ වැරදි හෝ හොඳ නරක වශයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමයි. එම නිර්දේශ සමාජ ප්‍රගමනයන්ට ඉතාමත් දායක වේ. සදාචාරාත්මක චර්යාවන් පුද්ගලයා තුළ පැවතීම අත්‍යවශ්‍ය වන අතර පුද්ගලයාට සදාචාරාත්මක වීමෙන් තොරව සමාජයේ ජීවත් විය නොහැකි ය. සදාචාර සංකල්පය වඩ වඩාත් උල්ලංඝනය කළහොත් සමාජයේ ජීවත් විය නොහැකි ය. සමාජයේ ජීවත්වීමට අත්‍යවශ්‍යයෙන් ම සදාචාර සංකල්පය ක්‍රියාත්මක විය යුතු වේ.

සදාචාරය යන සංකල්පය පිළිබඳව මතුවන ප්‍රධාන ගැටලුවක් ලෙස පුද්ගලයා සදාචාර සම්පන්නව ක්‍රියා කළ යුතු වන්නේ ඇයි? යන්න ප්‍රමුඛ වේ. විශේෂයෙන්ම සදාචාර සංවර්ධනයක් මිනිසාට අවශ්‍ය වන්නේ ඇයි යන්න පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මිනිසා අනෙක් තිරිසන් සතුන්ගෙන් විශේෂ වූ සත්වයෙකි. සදාචාරය අර්ථ සම්පන්න කෙරෙන්නේ පුද්ගල කේන්ද්‍රීය ක්‍රියාකාරිත්වය විෂයය කරගෙන වේ. එනම් සමාජය පුද්ගලයින්ගෙන් අපේක්ෂා කරන සදාචාර චර්යාවන් ස්වභාව ධර්මයෙන් හෝ මිනිස් නොවන අන් සතුන්ගෙන් සිදුනොවන බව පැහැදිලි වේ. පුද්ගලයාහට අන් සත්වයින්ට නැති සිතාමතා කටයුතු කිරීමේ සුවිශේෂී වූ චින්තනමය, බුද්ධිමය ගුණයක් පවතී. ඒ නිසාම මිනිසා හොඳ, නරක, යහපත, අයහපත යන මේවා තෝරා ගෙන කටයුතු කිරීමේ ස්වයං හැකියාවකින් යුක්ත වේ.

තමා කරන ක්‍රියාව තමාගේ නිදහස් මතය මෙහෙයවා තෝරා බේරා ගෙන ප්‍රතිඵල විමසා ක්‍රියා කිරීමේ හැකියාව ඇත්තේ පුද්ගලයාට පමණි. මිනිස් තිරිසන් වශයෙන් ගැනෙන හැම සතකුටම පොදු අවශ්‍යතාවයන් ඇති බවත්,  එහි දී අනෙකුත් සත්ත්වයින්ගෙන් මිනිසා වෙන්කොට හඳුනාගන්නේ කෙසේ ද යන්න හිතෝපදේශය තුළින් විග්‍රහ කරයි. විශේෂයෙන්ම එහි සඳහන් වන ආකාරයට “ආහාරත් නින්දත් බිය සහ මෛථුන ධර්මයත් සකල ජීව ලෝකයට සාධාරණ ධර්මතාවන් ය. මෙම ධර්මතාවන් පිළිබඳ ක්‍රියා කිරීමේදී මානව වර්ගයා ධර්මානුධර්ම ප්‍රතිපත්ති මත පදනම් වේ. තිරස්චීන සත්වයෝ එවැනි විශේෂතාවයක් ප්‍රකට නොකරති. කිසියම් අවස්ථාවක මනුෂ්‍ය වර්ගයා ද ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්ගෙන් හීන වූයේ නම් මනුෂ්‍ය තිරිසන් වශයෙන් විශේෂතාවයක් නොපෙනෙනු ඇත.”

සදාචාරය පිළිබඳ කතා කිරීමේදී මූලික සංකල්ප ලෙස පිළිගන්නා ප්‍රධාන සංකල්ප හතරක් ඇති බව පෙන්වා දේ. එනම්,

■            පෞද්ගලික වගකීම්

■            පුද්ගල අනන්‍යතාවය

■            පුද්ගල කර්තෘත්වය

■            සදාචාර බැඳීම

එසේම පුද්ගලයා සදාචාරසම්පන්න විය යුත්තේ මන්ද යන්න පිළිබඳව මූලික වශයෙන් අවධාරණය කරන ප්‍රධාන කරුණු හතරක් හඳුනාගත හැක.

■            පුද්ගලයා හා සමාජය අතර පවතින අන්‍යොන්‍ය සම්බන්ධතාව සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව

■            ස්වකීය හැඟීම් මත පිහිටා සමාජය තේරුම් ගැනීමේ අවශ්‍යතාව

■            පරමාර්ථ නිෂ්ටාවන් කරා ගමන් කිරීමේ අවශ්‍යතාව

■            නැවත ඉපදීමක් ඇතැයි යන පුනරුත්පත්ති සංකල්පය

මෙහි පළමුවෙන්ම විග්‍රහ වන කරුණ වන්නේ පුද්ගලයා හා සමාජය අතර පවත්නා වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව නිසා පුද්ගලයා සදාචාර සම්පන්න විය යුතුය යන්නයි. විශ්වය තුළ කිසිදු සත්වයෙකුට තනිව ජීවත් වීමට නොහැකිය. ඔවුන්ට සමාජයක් නිරන්තරයෙන්ම අවශ්‍ය වේ. එය මිනිසුන්ගේ ඒකරාශී වීමකි. ඒ අනුව පුද්ගලයා ක්‍රියා කළ යුතු වන්නේ සමස්ත විශ්වය සමාජය අතර පවත්නා සම්බන්ධතා සුරක්ෂිත වන ලෙසටය. පුද්ගලයාට තමන්ට අවශ්‍ය පරිදි සමාජය තුළ ජීවත්වීමට නොහැකිය. එසේ කළ නොහැකි වන්නේ පුද්ගලයා යනු, සමස්ත විශ්වීය සමාජයේ ඒකකයක් පමණක් වීම නිසාය. පුද්ගලයා  සමාජයකයට තමන්ගේ යහපැවැත්මට එරෙහිව සමාජ සුරක්ෂිතභාවයට හානි වන අයුරින් ක්‍රියා කිරීමට හැකියාවක්  නොමැත. සමස්ත විශ්වයම එනම් ගස්වැල්, අනෙකුත් ජීවීන්, අහස, පොළොව යනාදී සියල්ලටම දයාබරව, ඒ වෙනුවෙන් පුද්ගලයා කැප වී සිටිය යුතුය. ඒ ස්වභාව දහමෙන් පුද්ගලයාට ලබා දී ඇති පරම වගකීමක් ලෙස අර්ථකථනය කිරීම වඩාත් නිවැරදිය.

ඒ අනුව පුද්ගලයා සදාචාරවත් වීම සඳහා ස්වභාව ධර්මයේ ක්‍රියාදාමයට එකඟතාවය පළ කරන්නා සේම අන්‍යයන්ගේ ක්‍රියාදාමයට එකඟතාවය පළ කිරීම වැදගත් වේ. ඒ අනුව පුද්ගලයා සදාචාරයට එරෙහි වන්නේ නම් ස්වභාව ධර්මය ද ඊට ප්‍රතිචාර දක්වනු ලබයි. එහි ප්‍රතිඵල ලෙස ගංවතුර, නියඟය, උදම් රළ වැනි දෙයින් ස්වභාව දහම මිනිසාට පෙන්වා දීමට උත්සාහ කරන්නේ, මිනිසා සදාචාරයෙන් පිරිහෙන විට ස්වභාව දහමෙන් ලැබෙන දඬුවම්ද සුවිශාල වන බවයි. මේ පිළිබඳව වියතුන් විසින් සිඟාලෝවාද සූත්‍රය ආශ්‍රයෙන් මෙවන් අදහසක් ඉදිරිපත් කරයි. එනම් සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන කරුණක් නම් යුතුකම් වලින් අයිතිවාසිකම් ගම්‍ය වන බවත්, අයිතිවාසිකම් වලින් යුතුකම් ගම්‍ය වන බවත් ය.

අපට ලැබෙන අයිතිවාසිකම් වලට සුදුසු අන්දමින් කෘතගුණ පූර්වක ආකල්පයක් දක්වන්නේ නම් සදාචාරමය සමතුලිතතාවයක් නිර්මාණය වේ. ස්වභාව ධර්මය අප වෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප ස්වභාවධර්මය කෙරෙහි සාධාරණ අන්දමින් සැලකිය යුතු බව ගම්‍යමාන වෙයි. ස්වභාව ධර්මය හා කතාබහක් ඇතිකර ගත හැකි එකම මග නම් සදාචාරය බව බුදු දහම විශ්වාස කරනු ලබයි. මක්නිසාද යත් ස්වභාවධර්මයේ ස්වභාවය වන්නේ සදාචාරය වන නිසාය. “අප ස්වභාව ධර්මය වැරදියට පාවිච්චි කළහොත් හෝ  එයට නියම සැලකිලි දක්වමින් කටයුතු නොකළහොත් ඒ සඳහා අපට දරුණු ප්‍රතිවිපාක විඳීමට සිදුවනු නියතය.” එසේ දක්වා තිබෙන්නේ පුද්ගලයා සදාචාර සම්පන්න වීමේ ඇති ප්‍රබල අවශ්‍යතාවය සහ එකී අවශ්‍යතාවයේ අන්තර්ගත වටිනාකමයි.

අප සදාචාර සම්පන්නව ක්‍රියා කළ යුත්තේ ඇයි යන්න පිළිබඳ විමසීමේදී දෙවැනි කරුණ නම් ස්වකීය හැඟීම් මත පිහිටා සමාජය තේරුම් ගැනීමේ අවශ්‍යතාව හෙවත් තමා උපමා කරගෙන, අන් අය ගැන සිතීමේ අවශ්‍යතාවයයි. බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රිය සංකල්පය තුළ ද මෙම සදාචාර සංකල්පය ප්‍රබලව ගැබ්වී ඇත. කරණීයමෙත්ත සූත්‍රයේ දැක්වෙන පරිදි මෛත්‍රිය පැතිරවීමේදී සියලු ආකාරයෙන් සත්වයන් ගැන මෙනෙහි කළ යුතුය. “සියලුම ජීවීහු පූජනීය යි. මක්නිසාද යත් සෑම ජීවිතයක් තුළම බුද්ධත්වය හෙවත් පරමාදර්ශී තත්ත්වයේ බීජය අඩංගු වන නිසාය. තමන්ගේ වුව ද අනුන්ගේ වුව ද ජීවිතය හෙවත් ජීවයන්ට පොදුවේ බෙදා හදා ගන්නා දෙයක් ලෙස සලකා ඇත. මොනයම් ආකාරයකින් හෝ පහළ වී ඇති ජීවිතයකට කෙනෙකු අගෞරව කරන්නේ නම් ඒ තැනැත්තා ආධ්‍යාත්මික වශයෙන් ද සදාචාරමය වශයෙන්ද පරිහානියට පත්වන්නේය.” යනාදී වශයෙන් මිනිසා සදාචාරාත්මක භාවයෙන් ඈත්වීමෙන් අත්වන අනිටු ප්‍රතිඵල විද්‍යාමාන වේ.

බෞද්ධ සදාචාරයට අනුව බුදු දහමේ එන පදනම වන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සද්ගුණයන් ය (ඪසරඑමැ*. මෙම සද්ගුණයන් ප්‍රගුණ කිරීමෙන් සදාචාරයේ පාරප්‍රාප්තිය වන විමුක්ති සාධනය ලබා ගැනීමට පුද්ගලයාට හැකියාව ලැබෙනු ඇත. බෞද්ධ ධර්ම කරුණු පරීක්ෂා කර බැලීමෙන් අපට වැටහෙන්නේ සදාචාරය ඉගැන්වීම් මුළුමනින්ම නිර්වාණ පරමාර්ථය අරමුණු කොට ඉදිරිපත් කර තිබෙන බවයි. සෑම පුද්ගලයෙකුටම කුමන හෝ ආකාරයේ අරමුණක් හෝ නිෂ්ටාවක් ඇත. එය කිසිවිටෙකත් සදාචාර විරෝධී චර්යාවන් මගින් ළඟා කර ගැනීමට ද නොහැකි ය. මෙසේ සදාචාර විරෝධී වුවහොත් පුද්ගලයාගේ අරමුණු පමණක් නොව පුද්ගලයාට මනුෂ්‍යත්වයේ උපරිමය කරාවත් ළඟාවීමට නොහැකිය. මේ අනුව බලන විට පුද්ගලයා සදාචාර සම්පන්න වීම අත්‍යවශ්‍ය බව අවබෝධාත්මක වේ.

මිනිසා කුමන අංශයකින් සංවර්ධනය වුව ද සදාචාරාත්මක අංශයෙන් සංවර්ධනය වී නොමැත්තේ නම්, එකී පුද්ගලයා තුළ පැහැදිලි වූ මනුෂ්‍යත්වයක් හඳුනාගත නොහැක. බටහිර මනෝවිද්‍යාවේ විවරණය කරනු ලබන්නේ, පුද්ගලයාගේ බුද්ධියට සාපේක්ෂව පුද්ගලයාගේ සදාචාර සංවර්ධනය නිර්මාණය වන බවයි. සෑම පුද්ගලයකුටම යම් ප්‍රාමාණික බුද්ධි මට්ටමක් හිමිවන අතර එවැනි ප්‍රාමාණික බුද්ධි මට්ටමකින් බුද්ධි මට්ටමක් නොමැති පුද්ගලයකුගෙන් සදාචාරාත්මක හැසිරීමක් හෝ දැක්මක් අපේක්ෂා කිරීම අනුවණ ක්‍රියාවලියකි. උසස් වූ මනසකින් හා ඉතාමත් ප්‍රබල මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණයකින් යුතු ස්වභාවදහමේ අපූර්වතම නිර්මාණයක් ලෙස මිනිසා හඳුනාගත හැකිය. මනෝවිද්‍යාව යනු, මෙකී ස්වභාදහම සමග බැඳී පවත්නා වූ සුවිශේෂී විද්‍යාවකි. එසේම බෞද්ධ දර්ශනය හා ඒ තුළින් උපන් බෞද්ධ මනෝවිද්‍යාව සොබාදහම සමග පුළුල් බන්දුතාවයකින් යුක්ත වූ විශේෂ සන්දර්භයක් ලෙස හඳුනාගත හැකිය. ස්වභාව දහමේ නීති රීති පද්ධතියට මිනිසා ක්‍රමානුකූලව අනුගත කරලීමට බෞද්ධ මනෝවිද්‍යාවෙන් ලබාදෙන්නාවූ පිටිවහල ඉතාමත් සුවිශාල වේ. බුදුන් වහන්සේ විසින් බෞද්ධ දර්ශනය ඉදිරිපත් කිරීමේදී බෞද්ධ දර්ශනය හා ස්වභාව දහම අතර ඇති ඒකාබද්ධතාවය මැනවින් අර්ථ පූර්ණය කළ බව පැහැදිලි වේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින්,

■            මානව ආචාරධර්ම

■            සත්ව ආචාර ධර්ම

■            පරිසර ආචාර ධර්ම

පිළිබඳව විග්‍රහ කර ඇති නිසාවෙනි. එබැවින් මේ සෑම අංශයක් කෙරෙහිම පුද්ගලයාට මනා වූ පැහැදිලි සදාචාරාත්මක දැක්මක් තිබීම වැදගත් වේ. පුද්ගලයා සෑම විටම ජීවන අර්ථයකින් යුතුව අවබෝධාත්මක විඥානයකින් පොහොසත් කිරීමට බෞද්ධ දර්ශනය දායක වේ. පුද්ගලයා කොතෙක් තම කායික සංවර්ධනයෙන් තෘප්ත වීමට උත්සාහ කලද සැබෑ තෘප්තිමත්භාවය හා සතුට පවතින්නේ පුද්ගලයාගේ මනස තුළ වේ. පුද්ගලයා විසින් තම මනසේ තෘප්තිමත්භාවයෙන් ප්‍රීති වන්නේ කුමන මට්ටමකින් ද එම මට්ටමෙන් පුද්ගලයා මනසෙන් නිදහස භුක්ති විදිනු ලබයි. පුද්ගලයාගේ මානසික නිදහස හා තෘප්තිමත්භාවය ඇතිවීමෙහිලා පුද්ගලයාගේ හෘද සාක්ෂියේ පාරිශුද්ධත්වය ඉතාමත් වැදගත් වේ. විශේෂයෙන්ම බෞද්ධ මනෝවිද්‍යාව ට අනුව මානසික ශක්තිමත්භාවයේ ප්‍රධානතම තිඹිරිගෙය වන්නේ  හෘද සාක්ෂියයි. අප විසින් යම් සදාචාරාත්මක වශයෙන් අගතිගාමි ක්‍රියාවක් සිදුකිරීමෙන් පසුව අපගේ හෘද සාක්ෂියෙන් අපහාසයන් සහ වදයක් පමුණුවනු ලබයි. ඒ තුළින් පැහැදිලි වන්නේ  ස්වභාවයෙන්ම අපගේ මනස නිරතුරුවම සදාචාරාත්මක වූ නිවැරදි චර්යාවන්ගේ ප්‍රතිඵල තුළින් මනසේ ආශ්වාදයක් වින්දනය කිරීමට උත්සාහ කරනබවයි. එබැවින් පුද්ගලයාගේ අභ්‍යන්තර සාමය ප්‍රවර්ධනය වීමට පුද්ගලයා සදාචාරාත්මක වශයෙන් සංවර්ධනය වීම ඉතාමත් වැදගත් වේ. ආචාර විද්‍යාත්මකව නැතිනම් සදාචාරාත්මක පදනමක් තුළ හොඳ, නරක පිළිබඳ විනිශ්චයක් ලබාදීම සිදුවේ. එසේත් නැතිනම් මිනිස් චර්යාවට ඇගයීමක් ලබාදීම සිදුකරයි. ක්‍රමවත් ප්‍රජානන සංවර්ධනයක් සමඟ පුද්ගලයා වැඩෙත්ම සදාචාරාත්මක වශයෙන් හොඳ නරක විමර්ශනයෙහිලා බුද්ධිමය ගෝචර බවක් ප්‍රවර්ධනය වන අතර එය පුද්ගලයාගේ සමාජ පැවැත්මට දායක වේ. මිනිසාට ගුණාත්මක වශයෙන් තක්සේරුකරණයක් ලබාදිය හැක්කේ,

■            චර්යාත්මක සංවර්ධනයත්

■            මනෝවිද්‍යාත්මක සංවර්ධනයත්

■            ප්‍රජානනාත්මක සංවර්ධනයත්

එක ලෙස සංවර්ධනය වීම හරහා ය. සදාචාරාත්මක ප්‍රමිතියකින් තොරව මිනිසාට නියම මනුෂ්‍ය වටිනාකම් තක්සේරුකරණයක් සමාජයෙන් හිමි නොවෙයි. එවැනි ප්‍රමිතියකින් යුතු පුද්ගලයා සැබවින්ම සමාජය තුළ හිතකාමී මනුෂ්‍ය චර්යාවන් විෂද කරවන අතර පුද්ගලයාට සදාචාරාත්මක සංවර්ධනයක් එනිසා අත්‍යාවශ්‍ය වේ. සෑම විටම පුද්ගලයාට සමාජය තුළ සාර්ථකව ඉදිරියට ගමන් කිරීමටත් තම මනස තුළ බිඳවැටීම් හා හෘදසාක්ෂියේ ප්‍රශ්න කිරීමට ලක් නොවීමටත් පුද්ගලයාට සදාචාරමය දර්ශනයක් අවශ්‍ය වේ. එබැවින් පුද්ගලයා සදාචාරාත්මක වශයෙන් බුද්ධිමය හා චර්යාමය සංවර්ධනයක් ලැබීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව පැහැදිලි වන්නේ පුද්ගලයා සදාචාර සම්පන්න වීමෙන් තමන්ටත් සමාජයටත් යහපැවැත්මක් උදාවන බවයි. තමාගේ නිදහස් චින්තනමය බුද්ධිය මෙහෙයවා සමාජයටත් තමන්ටත් යහපතක් වන අයුරින් ක්‍රියා කිරීමට සෑම පුද්ගලයකුටම හැකියාව තිබිය යුතුය. වර්තමානය වන විට පුද්ගලයා සදාචාර සම්පන්න විය යුත්තේ මන්ද යන ගැටලුව පවතින නිසා පුද්ගලයාට සදාචාර සංවර්ධනයක් අවශ්‍ය වන්නේ ඇයි යන්න මින් අර්ථපූර්ණය වේ.

© සතිපට්ඨාන සඟරාව