නිස්කලංක කඳු පෙදෙසේ සිට ගම්මානය දෙසට ඇති බෑවුම් සහිත මාවත දිගේ මම සෙමෙන් පහළට ඇවිද එමි. පෙරවරු කාලය ඉක්මීමට තව ඇත්තේ පැයකුත් සුළු කාලයක් පමණකි.
යම් දෙයක්!
මා ඉදිරියේ කිසිවක් බිම ඇත්තේ ය. එය, බිම වැටුණු කුඩා වටකුරු දෙයකි. මඳක් පහතට නැමී, ඒ කුඩා වස්තුව මගේ අතට ගනිමි. කුඩා රබර් පන්දුවකි. මෙය, අද උදෑසන දරුවකු අතින් සෙල්ලම් කරද්දී ගිලිහී වැටුණක් විය යුතු ය.
දැන් මම මේ පන්දුව අතේ තබාගෙන හාත්පස පෙරළා බලමි. රවුමට – රවුමට….
මීට හැම’තින් ම සමාන වූ රත් පැහැති සැහැල්ලු පන්දුවක්, කුඩා වියේ දී මා සතු වී ය. ඊට මා බොහෝ සේ ඇලුම් කළ කාලයක් තිබිණ. එකල මගේ යහළුවන් සතු ව තිබූ සියලු සැහැල්ලු පන්දු එයට වඩා අවලක්ෂණ වූ දුර්වර්ණ ඒවා විය. එබැවින් මා සතු කුඩා රත් පැහැ වස්තුව ගැන එකල මම මහත් ආඩම්බරයෙන් පසු වීමි. කරකැවෙන රබර් පන්දුව මා අතින් ගිලිහෙන්නට ආසන්න වූයෙන්, මම ඇඟිලි තුඩු නිසල කොට කරකැවීම නවතා දමමි. දැන් මඳක් ආගන්තුක පන්දුව දෙස නිසල ව බලා හිඳිමි. එය, මා දෙස බලා හිඳීමක් ද වන්නේ ය.
මම මීට පෙර, මෙයට සමාන පෙනුමක් ඇති සමහර දේත්, මෙයින් වෙනස් වූ බොහෝ දේත්, දැක ඇත්තෙමි. එහෙත් එලෙස සමාන වූ අනෙක් දේත් විසම වූ බොහෝ දේත් හැර, මා මේ කුඩා වස්තුව ම පමණක් මගේ අතට ගෙන ඇත.
එහෙත් මනසින්…? අතැ’ති මේ පන්දුව මා සිතට නඟාගන්නා මොහොතේ දී, මගේ සිතට ග්‍රහණය වූයේ හුදෙක් මේ කුඩා පන්දුව පමණ ද?
අනෙක් සියලු දෙයින් අත්මිදී, හුදෙක් මෙය පමණක් තනි ව සිතට නඟාගත නො හැක්කේ ය. මෙයට සමාන වූ දේ මෙයින් වෙනස් වූ දේ ඒ සඳහා නො දැනී ම ඉවහල් වන්නේ ය.
සිත, විටෙක මීට සම දෙයක් හා මෙය සම කොට බලයි. එසැණින් මීට වෙනස් වූ තවත් දෙයක් කෙරෙන් වෙන් කොට බලයි. මෙලෙස සම – විසම බව තුළ බහා බලමින් මෙය කුමක් දැයි කියා හඳුනාගනියි; මෙය කෙරෙහි වූ වටිනාකම තීරණය කරයි. ක්ෂණයෙන් ‘පොලාපනින්නා’ වූ මෙවන් චින්තාමය ඇසිල්ලකින් මෙය වෙන් කොට හඳුනාගනියි එසේ ම ග්‍රහණය කොට ගනියි.
සිතින් මෙය අරමුණු කර ගන්නා හා සමඟ ම, මෙයට සම හා විසම වූ සියලු දේ ගැන මතකයන් ද දැනුවත් භාවයන් ද නො දැනී ම මෙය වටා එක්රොක් ව සිටින්නේ ය. මෙය හඳුනාගැනීමේ දීත් මෙයට වටිනාකමක් ලබාදීමේ දීත්, එලෙස ඒ සියලු දේ කෙරෙහි වූ සම – විසම හඳුනාගැනීම් හා වටිනාකම් දායක වන්නේ ය. එබඳු මොහොතක දී සිතුවිලි සකස් වන්නේ, විවිධාංගීකරණයෙහි නිමග්න වූ විභේදනීය චින්තාවක් ඔස්සේ ය.
විභේදනීය චින්තනයෙන්, මෙය අනෙකෙන් වෙන් කරයි; මීට අනන්‍යතාවක් ලබා දෙයි. එලෙස මෙයට වෙන් වූ අනන්‍යතාවයක් ලබා දීමෙන් ම, මෙය ‘කිසියම් දෙයක්’ බවට පත් වෙයි. මෙබඳු ‘කිසියම් දෙයක්’ ඇති විට, මේ කෙරෙහි සිත තුළ කිසියම් ප්‍රිය හෝ අප්‍රියභාවයක් ඇති වන්නේ ය. සියුම් වූ සිතුවිලි විසින් සකසනු ලබන එම ප්‍රිය – අප්‍රියභාවය, පුද්ගල අභිමතය අනුව ම තීරණය වන්නේ ය. ඉක්බිති, මෙය ප්‍රිය වූවක් නම් ප්‍රාර්ථනයටත්, අප්‍රිය වූවක් නම් ප්‍රතික්ෂේපයටත් යෝග්‍ය වන්නේ ය.
මෙසේ එක් එක් දෙයට වෙනස් වෙනස් වටිනාකම් ලබා දෙමින්, ඒ ඒ දෙය වෙන වෙන ම විස්තර කරමින් විස්තාර ව, අතුපතර ලියලා වැඩෙන සංකීර්ණ චින්තන ක්‍රියාවලිය ‘ප්‍රපංචකරණය’ නමින් හැඳින්වේ. රසෝත්පාදක ඇල්මත් (තණ්හා), මතවාදී දැක්මත් (දිට්ඨි), ස්ව-තක්සේරුගත මිනුමත් (මාන) යන විතර්ක මූල තුන, එම විස්තීර්ණ චින්තන ප්‍රශාඛාවන්ගේ ප්‍රධාන ශාඛා ත්‍රිත්වය වන්නේ ය. මෙම තුන් වාර්ගික චින්තන මාර්ගයන් විසින් සිතෙහි අවධානය බැහැර ලෝකය කෙරෙහි ම ග්‍රහණය කොට තබා ගනියි. ඒ මඟින්, සිත තුළින් ආභ්‍යන්තරික සිහිය අවදි වන නො ලැගි – නො බැඳි විවේකාවකාශයන් මඟහරවා, බාහිර විවිධත්වයත්, සිතුවිලි ලෝකයත් අතර ඇති අඳුරු කාල්පනික ආසක්තතාවන් විනිවිද දැකීම නිරන්තරයෙන් ප්‍රමාද කරවනු ලබයි.
ආගන්තුක රබර් පන්දුව තව ම ඇත්තේ මා අතෙහි ය. එය පසෙකින් තැබිය යුතු ය. එහෙත් එතැන කාටත් හොඳින් පෙනෙන තැනක් ම විය යුතු ය. එසේ ම ඉඳහිට වුව ඇදෙන වැඩිහිටි පා පහරකින් නො පෙළෙන තැනක් ද විය යුතු ය. හවස් කාලයේ දී දරුවන් සෙල්ලම් කරන්නට නැවතත් මෙතැනට පැමිණෙනු ඇති. මේ ළපටි වස්තුව පහසුවෙන් සොයා ගැනීමටත්, පලුදු නො වී දැක ගැනීමටත් අපේක්ෂා කරනු ඇති. එවන් සුදුසු තැනක් සොයා මම මඟ දෙපස පිරික්සා බලමි.
නෙරා ගිය ගල්තලාව ළඟ පසුගිය දිනෙක කඩාවැටුණු අඹ ගසේ කොටසකි. පන්දුව අඹ කොටය මත තබා මම යළි ගම්මානය දෙසට ඇවිද යමි. ඒ මා උපන් ගම විය.
එහෙත් මා ඉපිද හැදී වැඩුණු නිවහන දැන් එහි නැත. මගේ සොහොයුරෝ ඒ අසල නව නිවෙස් තනා පදිංචි වූ හ. මගේ දෙමාපියන් දැන් සිටින්නේ ද ඔවුන් සමඟ ය. මා කුඩා කල ගමේ වැඩි දෙනා මගේ නෑයෝ වූ හ. ඔවුන්ගෙන් නිරන්තරයෙන් ලද උපදෙස් හා ඇලුම්-බැලුම් එකල මට මහත් හිරිහැරයක් සේ දැනුණ ද, පසු කලෙක මම ඔවුන්ගේ ඇසුර ප්‍රිය කළෙමි. මා තුළ ඔවුන් එකිනෙකා කෙරෙහි එකිනෙකට වෙනස් වූ විශේෂ බැඳීම් ඇත. යොවුන් වියට එළැඹෙන තුරු මගේ සියලු ජීවනාත්දැකීම් මම ඔවුන් ඇසුරේ ලදිමි. මම ඔවුන් හා එක් ව සොම්නස් වූයෙමි; ශෝක වූයෙමි; කලහ කළෙමි; යළි සමීප වූයෙමි. කොටින් ම ඔවුන් මගේ ඇත්තන් වී තිබිණ.
කලක් ගිය විට පිටතින් ආ පදිංචිකරුවන්ගෙන් ගම්මානය පිරී යන්නට විය. ඔවුන් බොහෝ දෙනකු මම නමින් නො හඳුනමි. නො නෑයන් වූ ඔවුන් ම’දෙස බලන්නේ ආගන්තුක බැල්මෙනි. මන්ද, ඔවුන් මා වෙතින් දකින්නේ ද හැඟීම් විරහිත නාඳුනන බැල්මක් වූ බැවිනි. ඉදින් ඔවුන් මගේ ඇත්තන් නො වේ.
මගේ කෙනකු හෝ වේ වා, මගේ නොවන කෙනකු හෝ වේ වා, ගම්වැසියන් එකිනෙකා පිළිබඳ ව මා තුළ සුවිශේෂී මතකයක් හා ආකල්පයක් ඇත. ඒ වෙන් වෙන් මතකයන්ට හා ආකල්පයන්ට අනුකුල ව, මගේ සිත ඔවුන් එකිනෙකාට සුවිශේෂී අනන්‍යතා ලබා දී ඇත. ඒ අනන්‍යතා හරහා ඇති වූ විවිධ බැඳීම් හේතුවෙන් මගේ සිත විඩාපත් ව ඇත. මේ විඩාවෙන් අත්මිදීම සඳහා, මට ඔවුන් එකිනෙකා කෙරෙහි වූ බැඳීම් වෙන් වෙන් ව අත්හළ හැකි ද?
අන් හැම දෙනා කෙරෙහි ම බැඳීම් උපදින්නේ මගේ මතක හා ආකල්පවලට අනුවයි. එනම්, මා තුළින් ඔවුන් වරනැඟෙන්නේ මට ම සාපේක්ෂ බැල්මකිනි. ඒ සියලු පුද්ගල වරනැඟීම්වල මූලය මම වෙමි. එබැවින්, ම’විසින් මා අත්හරින තුරු, ඒ කිසිදු පුද්ගල බැඳීමකින් මට නිදහස ලද නො හේ. මමත්ව බැම්මෙන් නිදහස් වීම අන් සියලු බැඳුම්වලින් ද ලබන නිදහසකි. එය, සවි වූ නටුව ගිලිහෙන විට පලතුරු ගෙඩිය ගිලිහෙන්නාක් මෙනි.
තබා ආ පන්දුව ඈතට දිස් වන්නේ දැයි බැලීම සඳහා මඳක් නැවතී මම ආපසු හැරෙමි. ඉස්සුණු අඹ කොටය උඩ පන්දුව කැපී පෙනේ. ඒ කොට කැබැල්ල, පසුගිය ග්‍රීෂ්ම කාලයේ කඩා වැටුණු දැවැන්ත අඹ ගසේ ඉතිරියකි. ගම්වැසියන් ඒ ගසේ කඳ හා මහ අතු සිය වුවමනා සඳහා රැගෙන යන්නට ඇති. දීර්ඝ ඉඩෝරය නිසා වියැළෙන තුරු ම, පරම්පරා ගණනාවක් තිස්සේ එහි මියුරු ඵල හටගත් බව ගම්වැසියන්ගේ මතකය යි. එකල එහි සෙවණ ද හාත්පස වසා පැතිර පවතින්නට ඇති. එය ද, යම් කලක මෙතැන විරාජමාන වූ මහා අඹ උයනක ඉතිරි වූ මතක සටහන වන්නට ඇති.
අම්බස්තලය වටා පිහිටි මහා වන ගහණය…
අම්බස්තල සෙල්කූටය මත කසාවතින් වැඩහිඳින බුද්ධ ශ්‍රාවකයින් වහන්සේ…
අම්බස්තලය පාමුල එදෙස බලා හිඳින ලංකා ද්වීපයේ අගරජු ඇතුළු පිරිවර සෙනඟ…
සෙල්කූටය දෙසින් ඇසෙන පැනයක් සහ පාමුලින් ඊට පිළිතුරක්: “අගරජුනි, මේ ගස කුමක් ද?” “ හිමියනි, අඹ ගසකි.”
“අගරජුනි, මේ අඹ ගස හැර, තව අඹ ගස් ඇත් ද?” “හිමියනි, බොහෝ ඇත.”
“අගරජුනි, මේ අඹ ගස හා අනෙක් අඹ ගස් හැර, වෙන ගස් ඇත් ද?” “හිමියනි, අඹ නො වන ගස් ඇත.”
“අගරජුනි, අනෙක් අඹ ගස් හා අඹ නො වන ගස් හැර, වෙන ගසක් ඇත් ද?” “හිමියනි, දෙපසින් වෙන් වූ මේ අඹ ගස ඇත.”
“අගරජුනි, නුඹට නෑයෝ සිටිත් ද?” “හිමියනි, එසේ ය.”
“අගරජුනි, නුඹට නො නෑයෝ සිටිත් ද?” “හිමියනි, එසේ ය.”
“අගරජුනි, නෑයන් හා නො නෑයන් හැර, වෙන කෙනකුත් ඉන්නේ ද?” “හිමියනි, දෙපසින් වෙන් වූයේ මා වේ ද?”
ඒ ඓතිහාසික ජවනිකාවකි; දීපවංසයෙන් උපුටාගෙන, සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි ලියැවුණු පුරාවෘත්තයකි.
අම්බස්තලය…
අම්බස්තලය වටා තැන තැන සෙවණ දෙන තුරු වදුලු…
දීප්තිමත් සුදු පැහැයෙන් කැපී පෙනෙන අම්බස්තල දාගැබ…
සුළං පහරට මුවා වී, එක පෙළට අම්බස්තල පව්ව නඟින බසින වන්දනාකරුවන් පිරිස…
සුළං පහරේ වේගයෙන් හමා එන වික්ෂිප්ත මනසිකාරයක්; අන්‍යොන්‍ය සංවාදයේ යෙදෙන විතර්ක ධාරාවක්:
අඹ ප්‍රශ්නය – ඥාති ප්‍රශ්නය … සම ආරේ ප්‍රශ්නාවලි දෙකක් … එක ම ප්‍රශ්නාවලියක ස්වරූප දෙකක් … අඹ නො වන ගස් – අනෙක් අඹ ගස් හැරුණාම තියෙන තවත් ගස්; ඇයි මේ අඹ ගස? … නෑයන් – නො නෑයන් හැරුණාම ඉන්න තවත් අය; ඇයි තමන්? … මිහිඳු හාමුදුරුවෝ තිස්ස රජ්ජුරුවන්ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරන්න ගත්තු වෑයමක් … බුද්ධි පරීක්ෂණයක්! … බුද්ධ ධර්මය තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් තිස්ස රජ්ජුරුවන්ට තියෙනවා දැයි හොයා බලන්න … අවුරුදු දෙදාස් තුන්සීය යකට විතර කලින් … අපේ රටේ ඉතිහාසගත මුල් ම බුද්ධි පරීක්ෂණය … බුද්ධි පරීක්ෂණයක්? … අවුරුදු දෙදාස් තුන්සිය යක්!
මේ වර්තමාන කාලය යි; වර්තමාන ව්‍යවහාරය යි; වර්තමාන ව්‍යවහාරයේ දී බොහෝ දෙනාගේ අතීතාරම්මණීය හැඳිනීමයි.
මොහොතකට, වර්තමානයෙන් නික්ම අකාලිකයට පිවිසෙමු.
අඹ ප්‍රශ්නයත්, ඥාති ප්‍රශ්නයත් ඉදිරියට ඇදී යන රටාව දෙස බැලීමෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික වූ අකාලික ධර්මාර්ථය පාදා ගත හැකියි. ‘මේ අඹ ගස’ නිමිති කර ගනිමින් ඇරැඹෙන අඹ ප්‍රශ්නය අවසන් වන්නේ, පෙරළා ‘මේ අඹ ගස’ නමැති ඓතමය ම වෙන් කොට ඉදිරියට ගැනීමෙනි. ‘මම’ මූලික තන්හි ලා ඇරැඹෙන ඥාති ප්‍රශ්නය අවසන් වන්නේ ද, ‘මම’ නමැත්තා තනි කොට ඉදිරියට ගැනීමෙනි. ‘මේ අඹ ගස’ යන හුයෙහි සියලු ගස් ද, ‘මම’ යන හුයෙහි සියලු ජන ප්‍රජාව ද එල්ලී ඇති අයුරු ප්‍රකට කරමින් ප්‍රශ්නාවලි යුගලය ඉදිරියට ඇදෙයි.
මේ ගස ‘මේ අඹ ගස’ වන්නේ, අනෙක් අඹ ගස් හා අඹ නො වන ගස්වලට සාපේක්ෂ ව ය. එනම්, ‘මේ අඹ ගස’ තුළ සියලු ගස් විද්‍යමාන වන්නේ ය. එසේ ම, මේ මොහොතේ ඒ සියලු ගස් දකින්නේ ‘මේ අඹ ගස’ තුළිනි. මේ මොහොතේ ‘මේ අඹ ගස’ නමැති සංකල්පය හාත්පසින් අත්හරින්නේ නම්, එය, ගස් පිළිබඳ වූ සියලු සංකල්ප අත්හැරීම හා සම වන්නේ ය.
කිසිවක් තුළින් සියල්ල විද්‍යමාන වන්නේ ය. කිසිවක් දැන ගන්නේ, සියල්ල දැන ගන්නේ ය. කිසිවක නො ඇලෙන්නේ, සියල්ලෙහි නො ඇලෙන්නේ ය. කිසිවකින් නිදහස් වන්නේ, සියල්ලෙන් නිදහස් වන්නේ ය. අඹ ප්‍රශ්නය විසින් ඉඟි කරනු ලබන ‘න්‍යාය’ මෙයයි. මෙය සමස්ත ආධ්‍යාත්මික ප්‍රතිපදාව ම පිඬු කළ ධර්ම න්‍යායකි.
තමන්ගේ ඇත්තනුත්, තමන්ගේ නො වන ඇත්තනුත් අරභයා වූ සියලු ආකාර බැඳීම්වලින්, කා තුළත් ඇති කරන්නේ දැඩි විඩාවකි. එහෙත් කිසිවකුට ඒ ඒ බැඳීම්වලින් වෙන් වෙන් ව නිදහස් විය නො හේ. තමාගෙන් නිදහස් වීම ඊට නිසි උපාය යි. මන්ද, අන් සියල්ලන් ම, තමාට සාපේක්ෂ ව – තමා තුළින් විද්‍යමාන වන බැවිනි. එසේ ම, තමා ගැන දැන ගැනීම අන් සියල්ලන් ගැන ද දැන ගැනීම වන බැවිනි. තමාට නො ඇලීම අන් සියල්ලන්ට ද නො ඇලීම වන බැවිනි. තමාගෙන් නිදහස් වීම අන් සියල්ලන්ගෙන් ද නිදහස් වීම වන බැවිනි. ඥාති ප්‍රශ්නයෙන් ඉඟි කරන ආධ්‍යාත්මික ප්‍රතිපදාවේ ‘ප්‍රායෝගිකය’ මෙයයි. අඹ ප්‍රශ්නයෙන් ඉඟි කරන න්‍යායත්, ඥාති ප්‍රශ්නයෙන් ඉඟි කරන ප්‍රායෝගිකයත්, විභේදනීය චින්තාව හඳුනාගෙන ඉන් ගැලවීම සඳහා වෙයි.
අඹ ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය අවසානයේ, “අගරජුනි, නුඹ නුවණැත්තෙකි,” යනුවෙන් තිස්ස රජ්ජුරුවෝ ප්‍රශංසා ලබති. එතෙකින්, ඉඳුරා ම ඔහු විභේදනීය චින්තාව හඳුනාගෙන එය සමනය කළ බව අදහස් නො වෙයි. විභේදනීය චින්තාව ඔස්සේ ඉදිරියට හා යළි ආපස්සට ඒමෙන්, විභේදනීය චින්තාව හඳුනාගැනීමේ කුසලතාව ඇති බව ප්‍රකාශ වෙයි. විභේදනීය චින්තාවෙන් ගැලවීමේ කුසලතාව ඇති බව ප්‍රකාශ වෙයි. හුදෙක් ඒ කුසලතා රජ්ජුරුවන් සතු වී දැයි අඹ ප්‍රශ්නයෙනුත්, ඥාති ප්‍රශ්නයෙනුත් පරීක්ෂා කරන්නට ඇති.
අඹ ප්‍රශ්නයත්, ඥාති ප්‍රශ්නයත් යනු, නොයෙක් හැඩතල ගන්වමින්, පුරාණ ථෙරීය ආධ්‍යාත්ම ගුරුකුලයකින් පැවත ආ කිසියම් ‘සද්ධර්ම ප්‍රහේලිකාවක්’ වන්නට ඇති. මිහිඳු මාහිමියන්ගේ භාවිතාවත් සමඟ ම එම ප්‍රහේලිකාව ලක්වැසියන්ට දායාද වන්නට ඇති.
© සතිපට්ඨාන සඟරාව