නාරම්පනාවේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ

දිමුතු පුන්සර කොළඹගේ

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් සම්ප්‍රසාදිත නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය ඉපැරැණි ගරු සිරිත් පරිදි ඔක්තෝබර් මස 03 වැනි සිකුරාදා මහනුවර ශ්‍රී දළදාමාලිගා පරිශ්‍රයේ, රාජකීය මඟුල් මඩුවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීම නිමිත්තෙනි.

ත්‍රිසිංහලේ නර විරුවන් හට රැකවරණය සැලසූ දුම්බර මිටියාවතේ පාතදුම්බර නාරම්පනාව ග්‍රාමයේ දී වර්ෂ 1965 පෙබරවාරි මස 10 වැනි දින විජෙරත්න බණ්ඩා පියතුමන්ට සහ ලොකුමැණිකේ මව්තුමියට දාව උපත ලද නාහිමිපාණන් වහන්සේ නාරම්පනාව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේ දී 1981 ජනවාරි 25 වැනි දින අස්ගිරි මහාවිහාරයේ සම්භාවනීය මැද පන්සල් පරම්පරාවට අයත් වූ, ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් පැවිදි බිමට පත් වූහ.

ස්වකීය ආචාර්යයන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මහාවිහාර මහ පිරුවනෙන් මූලික අධ්‍යාපනය ලබා 1983 දී එවක ලක්දිව සුපතල විද්‍යාස්ථානයක් වූ පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරුවනට ඇතුළත්ව වර්ග  අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුව ද, සුහද මාරු ලබා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. අගනුවර වැඩ සිටින කාලයේ මහාචාර්ය දමුණුමෑයේ ශ්‍රී ඤාණරතන නාහිමියන්ගේ ආධිපත්‍යයේ පැවති ඇතුල්කෝට්ටේ සුනේත්‍රාරාම විහාරස්ථානයේ වැඩ සිටීම ද නාහිමියන්ගේ දිවිමඟ එකලු කිරීමට හේතු වූ බව සඳහන් කළ යුතු ය.

පිරුණු විසිවයස් සපිරුණු නාරම්පනාවේ ආනන්ද සාමණේරයන් වහන්සේ 1986 ජූලි මස 6 වන දින අස්ගිරි මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ දී උඩුවාවල චන්දානන්ද නාහිමියන්ගේ සහ පලීපාන සිරිනිවාස ලේඛකාධිකාරී නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් වාහලනාග නාමයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. ප්‍රථම පන්ති සාමාර්ථලාභී ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු කථිකාචාර්ය පදවියකට පත් වීමට අවකාශ තිබුණ ද, 1988 වර්ෂයේ ස්වකීය ආචාර්යයන් වහන්සේ අපවත් වීමෙන් පසු අස්ගිරි මහාවිහාරය සහ ස්වකීය පරපුරේ විහාරස්ථාන වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් සමුදාය ඉටු කිරීම පිණිස කැප වූහ. කවර නම් වගකීම් සමුදායක නිරත වුව ද අධ්‍යාපනය අත් නොහළ අනුනාහිමිපාණන් වහන්සේ 1993 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලද අතර, මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කටයුතු සිදු කරති.

මේ වන විට අකර්මණ්‍ය වී පැවතුණු මහාවිහාර මහා පිරිවෙන 1991 වර්ෂයේ දී යළිත් ආරම්භ කොට 1998 වර්ෂය වන විට එය මහා පිරිවෙනක තත්වයට උසස් කර වීමට උන්වහන්සේ සමත් වූහ. වර්තමානය වන විට අස්ගිරි මහාවිහාර මහා පිරුවන ලක්දිව අග්‍රගණ්‍ය ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යයන ආයතනයක් වශයෙන් මතු නොව මෙරට විශාලතම සහ ප්‍රධානතම පාරිවේණස්ථානය වශයෙන් කිත් යසස් පතුරවමින් සිටින මහා විද්‍යාස්ථානය බව අතිශයෝක්තියක් නොවේ. දශක තුනකට ආසන්න කාලයක් නාහිමිපාණන් වහන්සේ පරිවේණාධිපති පදවිය හොබවන ලද වකවානුවේ එම පිරුවනින් බිහි වූ ශිෂ්‍ය හිමිවරුන් නොව නාහිමියන් ඇසුරේ පන්නරය ලද පරිවේණාචාර්යයන් වහන්සේලා ද, පඬිවරුන් සහ සුපේශල ශික්ෂාකාමී පඬිවරුන් ද වශයෙන් මෙරට පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබේ.

දෙස් විදෙස් සිසුන් හාර සියයකට වැඩි ප්‍රමාණයක් කිසිදු නිකාය භේදයකින් තොරව මහාවිහාර මහ පිරුවනෙහි අධ්‍යාපනය ලබති. එමතු නොව තෙල්දෙණියෙ නාලන්දා ශාඛා පිරුවන, නාලන්දා බෞද්ධ විද්‍යාලය ආදී ආයතන අභිනව අනුනාහිමිපාණන් වහන්සේගේ ආධිපත්‍යයෙන් සාර්ථකව ක්‍රියාත්මක වෙයි. මූලික පිරිවෙනේ සිට ප්‍රාචීන අවසාන විභාගය දක්වා සිංහල හා ඉංග්‍රීසි භාෂාද්වයෙන් ම අධ්‍යාපනය හැදෑරීමට හැකි ලක්දිව ප්‍රථම හා එකම පාරිවේණස්ථානය වශයෙන් අස්ගිරි මහාවිහාර පිරිවෙන කිත් යසස් නංවා තිබේ.

අතිපූජ්‍ය පලීපාන චන්දානන්ද මහ නාහිමිපාණන් වහන්සේ විසින් 1998 වර්ෂයේ අස්ගිරි මහාවිහාරයේ කාරක සංඝසභික පදවියකට පත් කරන ලදුව, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමිපාණන් වහන්සේ විසින් කාරක මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයෙහි වගකීම් පවරනු ලදුව, එසේම ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නාහිමිපාණන් වහන්සේගේ සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමිපාණන් වහන්සේගේ යුගයන්හි දී අස්ගිරි මහා විහාරය හා බැඳුණු සාම්ප්‍රදායික චාරිත්‍රවිධි සමුදාය කඩනොකොට ආරක්ෂා කරමින්, දෙස් විදෙස් ජාතික, ආගමික හා සාමාජයීය කටයුතු සඳහා අස්ගිරි මහාවිහාරය නියෝජනය කරමින් විශාල මෙහෙවරක් සිදු කරන සේක. ගෙවුණු උපසම්පදා වාරය දක්වා සෑම උපසම්පදා වාරයක ම අස්ගිරි මහාවිහාරයේ කර්මාචාර්යයන් වහන්සේ නමක වශයෙන් උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේ වෙත සමුපකාරී වූහ. එසේම මල්වතු අස්ගිරි මහාවිහාරයීය මහා සංඝරත්නයට පමණක් හිමිවන අතිදුර්ලභ බුද්ධෝපස්ථානයක් වූ ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු සඳහා ද සම්බන්ධ වෙමින් පෞරාණික චාරිත්‍රවිධි සමුදාය නොකඩ කොට සිදු කරමින් සැදැහැතියන්ගේ ශාසනාභිරතිය වර්ධනය වන අන්දමින් විශාල මෙහෙවරක් වර්තමානය දක්වා කරන බව ප්‍රකටය.

අස්ගිරි මහාවිහාර පිරුවන, නාරම්පනාව ගංගාතිලක විහාරය, කරල්ලියද්ද උපෝසථාරාමය, බතලවත්ත නිග්‍රෝධාරාමය, කොස්ගම විහාරය, අරත්තන විහාරය, කුඹුරේගම ගල්ගාන රාජමහා විහාරය, දිගන ප්‍රියදර්ශනාරාමය, පල්ලේකැලේ නාලන්දා විද්‍යාලය, දුලනි ද සිල්වා බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු ස්වකීය ආධිපත්‍යයේ පවතින විහාරස්ථාන සංවර්ධනය කරමින් දැන උගත් සිසු දරු පරපුරක් බිහි කිරීම පිණිස සිය දිවිය කැප කළ නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ උපතින් සැට වයස් සපිරීමෙන් මෙම වර්ෂයේ මුල් භාගයේ දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූහ.

පසුගිය ජූලි මස 21 වැනි දින ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්‍යභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවිය සඳහා මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී අස්ගිරි මහාවිහාරයීය රාජුපස්ථානීය පරමධම්මසභා නම් වූ ගරුතර කාරක මහා සංඝ සභාව මගින් අස්ගිරි මහා විහාර පරිවේණාධ්‍යක්ෂ, ශාස්ත්‍රපති නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ අගෝස්තු මස 28 වැනි දින තෝරා පත් කර ගන්නා ලදහ.

තමා හමුවට පැමිණෙන කවර තරාතිරමේ අයකු වෙත වුව ද සුහදශීලී ව, පුබ්බහාසී ව, පුබ්බකාරී ව සංග්‍රහයෙහි නිරතවන, මෙරට බෞද්ධ අධ්‍යාපනයෙහි නොමැකෙන සන්නාමයක් සනිටුහන් කළ නාරම්පනාවේ ආනන්ද අභිනව අනුනාහිමිපාණන් වහන්සේට දීර්ඝ කාලයක් ලෝක ශාසනික සංග්‍රහයෙහි උන්නතිය පිණිස ආයු ආයුරාරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.