පවිත්‍ර මනසේ බුද්ධභාවය

ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි

පිරිසුදු වෙන්න කැමැතියි – නමුත් අලසයි

යම් කිසිවක පිරිසුදු බව පවත්වා ගැනීමට නම් නැවත නැවත පිරිසුදු  කිරීම අවශ්‍යයි. කිලිටි වෙන්නා වූ වස්ත්‍රය නැවත නැවත සේදුවොත් පමණයි අපට එහි තිබුණ කිලුට දකින්න පුළුවන් වෙන්නේ; ඒ වගේ ම සේදීම පහසු වෙන්නේ. ඒ විදියට ම අපේ සිතත් සතිපට්ඨානයෙන් – විදර්ශනාවෙන් – එහෙම නැත්නම් අනුපස්සනාවෙන් නැවත නැවත ශුද්ධ කරන්නට උත්සාහවත් වන්නට ඕනැ.

නැවත නැවත ශුද්ධ කිරීමෙන් සැබෑ පවිත්‍රත්වයට යන්නට පුළුවන් වුණත් අපේ මනස ඒකට කැමති නෑ. අපි ඒකට නැඹුරු වෙන්නේ නෑ. අපට ඕනෙ එකපාරට ම ඒක කරගන්න. මිනිස්සුන්ට ඕනෑ වෙනවා සිත නැවත කිලිටි නො වෙන හැටියට ම පවිත්‍ර කරන්නට. සිතේ පවිත්‍රතාව නිවනයි. මිනිස්සුන්ට ඕනෑ වෙනවා, රාගයෙන් සිත පවිත්‍ර කරන්නට; ද්වේෂයෙන් සිත පවිත්‍ර කරන්නට; මෝහයෙන් සිත පවිත්‍ර කරන්නට. එහි පූර්ණ පවිත්‍රත්වයක් මිනිසුන්ට ඕනෑ වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට වැඳලා ප්‍රාර්ථනා කරනවා: මේ පිනෙන් මම නිවන් දකිම්වා කියලා. බණ අහලත් ප්‍රාර්ථනා කරනවා. තව බොහෝ පින්කම් කරලා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා: මට මේ පිනෙන් නිවන් ලැබේවා කියලා. ඇයි? මිනිස්සුන්ට හැබෑවට ම පවිත්‍රත්වය අවශ්‍යයි. නමුත් අලසයි.

හැමදා ම හවසට විනාඩි දහයක් භාවනා කරන්න – චිත්තානුපස්සනාව වඩන්න – සිත ගැන හොයා බලන්න – දවසේ වෙච්ච අඩුපාඩු මොනව ද කියලා හිතන්න කියල කිව්වොත්, කවුද මේකට සූදානම් වෙන්නේ? සීයයට එක් කෙනෙක්වත් මේ කාරණයට සූදානම් වෙන්නෙ නෑ. ඇයි ඒ? මිනිසුන්ට ඕනෑකමක් නෑ, ඒකට විනාඩි පහක් දවසෙන් වෙන් කරන්න. එතරම් කැපවෙන්න සූදානම් නැහැ. නමුත් සිතේ පූර්ණ පවිත්‍රත්වයක් ඒ අයට අවශ්‍යයි. ඒ නිසා අද කාලේ සමහර කෙනෙක් වෙනත් වෙනත් කෙටි ක්‍රම හොයනවා, වෙනත් වෙනත් උපක්‍රම හොයනවා නිවන් දකින්නට. ඒ අය කල්පනා කරනවා: “මේක මේ විදිහට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක එකපාරට ම කර ගන්නට පුළුවන් අනාගතේ බුදුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක ගත්තොත්. උන්වහන්සේගෙන් බණ පදයක් ඇහුවොත් එවෙලෙ ම නිවන් දකින්නට පුළුවන්” කියලා. “ඒ විදිහට නේ සැරියුත් හාමුදුරුවෝ නිවන් දැක්කේ; මුගලන් හාමුදුරුවෝ නිවන් දැක්කේ; පස්වග තවුසන් නිවන් දැක්කේ. ඇයි මට බැරි වෙන්නේ? ඒ නිසා මමත් පතනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න.” සියලු පින්කම් කරමින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න පතනවා. ඒ වගේ ම තව සමහරු කියනවා: “භාවනා කරලා නිවන් දකින්න බැහැ. ඕකෙන් ඵලක් නෑ. බණ අහන්න ඕනෙ නිවන් දකින්න” කියලා.

පුහුණුව අවශ්‍යයි

මේ විදිහට ධර්මයේ නාමයෙන් බොහෝ මිථ්‍යා දෘෂ්ටීන් මේ ශ්‍රී ලංකාව තුළ දස දහස් ගණන් බිහි වෙමින් තියෙනවා. මිථ්‍යා අදහස් පිළිගන්න අයත් ඉන්නවා. ඒවා හැබෑව ම යි කියලා පිළිඅරගෙන එවායින් අසරණ වුණු ඇතැම් අය අපට බොහෝ අවස්ථාවල දී මුණගැහෙනවා. ඒ අයට කිසි ම අවස්ථාවක පැහැදිලි කරලා දෙන්න බෑ, ඕක ඔහොම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. කිසිදාක කියා දෙන්න බෑ. සැරියුත් හාමුදුරුවො බණ පදයක් අහලා සෝවාන් වුණේ කොහොම ද? කියලා ඒ අයට කවදාවත් තේරුම් කරලා දෙන්න බෑ. ඒ සෝවාන් වෙන්නට පුළුවන් වුණේ, උන්වහන්සේගේ සිත බොහෝ සේ පවිත්‍ර කරලා තිබුණ නිසා. භව ගණනාවක් පුරා – අනන්ත වාරයක් සිත පිරිසුදු කරල තිබුණ නිසා. පිරිසුදු කළා වූ සිත පඬු භාජනයේ – එහෙම නැත්නම් සායම් භාජනයේ එබූ පිරිසුදු සුදු වස්ත්‍රයක් වගේ මනා පැහැය ගන්නවා. ඒකට අමුතු කාලයක් ගතවෙන්නේ නෑ. මේකට සිත පවිත්‍ර කරලා තියෙන්න ඕනෑ. පවිත්‍ර නො කෙරුවා නම් ඒ තත්ත්වය ඇති කර ගන්න බෑ.

ඒ නිසා එසේ බණ අහලා නිවන් දකින්නට හෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්නට කරන ප්‍රාර්ථනාව සඵල වෙන්න නම්, අපි තේරුම් ගන්න ඕනේ අපේ සිත්වල ස්වභාවය කොහොම ද කියලා. මෙවන් සිත් පවත්වාගෙන ගිහිල්ලා, බණ අහලා මට පුළුවන් වෙයි ද නිවන් දකින්න? මේ අනන්ත සසරේ අපිට බුදුවරු හමු වෙලා නැද්ද? ඕනෑ තරම් බුදුවරු හමුවෙලා ඇති. ඕනෑ තරම් බණ අහලා ඇති. ඇයි එහෙම නම් නිවන් නො දැක්කෙ? අපේ සිත ඒකට සුදුසු තත්ත්වයට පිරිසුදු වෙලා නෑ. අපේ වස්ත්‍රය පවිත්‍ර කරගෙන නෙමෙයි අපි සායම් පොවන්න ගිහින් තියෙන්නේ. ඒ නිසා අපේ ඒ කාර්යය සාර්ථක වෙලා නෑ.

සිත පිරිසුදු නම් වහා වැටහෙනවා

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා: යමෙක් පවිත්‍ර කළා වූ වස්ත්‍රයක් සායම් බඳුනේ ඔබනවා නම් ඒ සැණින් ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු වෙන බව. එවන් පුහුණු කළ මනසක් ඇති උත්තමයින්ට පමණයි, බුදු කෙනෙකු හමුවේ බණ අහලා නිවන් දකින්න හැකි වෙන්නේ. ඒ තත්ත්වයට පත්විය හැක්කේ නැවත නැවත සිහිය පවත්වමින්, ක්ලේශයන් මැඩපවත්වාගෙන සිත පවිත්‍ර කළා වූ වීර්යවන්ත උත්තමයකුට පමණයි. එයින් පිටස්තර කිසිවකුට වත් ඒ තත්ත්වය සාක්ෂාත් කරන්නට අමාරුයි. බුදුහාමුදුරුවො සැරියුත් හාමුදුරුවන්ට විතරක් නෙමෙයි බණ කිව්වේ. මුගලන් හාමුදුරුවන්ට විතරක් නෙමෙයි බණ කිව්වෙ. පස්වග තවුසන්ට විතරක් නෙමෙයි බණ කිව්වේ. කොසොල් රජතුමාට බණ කිව්වා; ඇයි නිවන් නො දැක්කෙ? කොසොල් මහ රජතුමාට දේශනා කළ සූත්‍ර සමූහයක් අපේ බණ පොත්වල ‘කෝසල සංයුක්තය’ ලෙස වෙන ම සඳහන් වෙලා තියනවා. ඒ වගේ ම මල්ලිකා දේවියට දේශනා කළ සූත්‍ර බොහෝමයක් සඳහන් වෙනවා. ඒ වගේ ම දේවදත්ත හාමුදුරුවෝ මුල් කරගෙන දේශනා කළ සූත්‍ර තියනවා. අජාසත්ත රජ්ජුරුවෝ මුල් කරගෙන දේශනා කළ සූත්‍ර තියනවා. කෝ ඒ අය නිවන් දැක්ක ද? කිසි කෙනෙක් නිවන් දැක්කෙ නෑ. ඇයි එහෙම වෙන්නට හේතුව? ඔවුන්ට ඒ සඳහා සුදුසුකම් තිබුණෙ නෑ. කුමක් ද සුදුසුකම? පුහුණු කළා වූ මනසයි. පුහුණු කළ – පවිත්‍ර වූ මනස තුළට ඒ ධර්මය කිඳා බසිනවා. පුහුණු නො කළ, කිලිටි වූ මනසකින් ඒ තත්ත්වය ළඟා කර ගන්නට පුළුවන් කමක් නෑ.

ඒ නිසා යම්කිසි කෙනකුට පුළුවන් නම් නැවත නැවත තමන්ගේ මනස පවිත්‍ර කරන්න, ඒ තැනැත්තාට තමන්ගේ අභිප්‍රාය මැනවින් ඉටු කර ගන්න පුළුවන් වෙනවා. අර විදිහෙන් එය කරන්නට අලස වෙලා, දිනපතා ඉතා පහසුවෙන් – ඉතා හිමින් කරන්නට පුළුවන් ඒ ක්‍රියාව පැත්තකට දාලා, අපි එකවර සියල්ල කරන්න ගිහින් බොහොම වෙහෙසකට පත්වෙනවා. අපි දුකට පත්වෙනවා. එහෙම දුකට පත් වෙන සමහර අය ඇවිල්ලා අපිත් එක්කලා කියනවා: “අනේ හාමුදුරුවනේ මට හරියට කේන්ති යනවා. ඒ කේන්තිය අඩු කර ගන්න මට ක්‍රමයක් කියා දෙන්න.” “උපාසකම්මෙ, ඒකට හවසට මල් පූජා කරලා, ටිකක් භාවනා කරන්න.” ඒ උපදෙස දවසක් කරනවා.  දෙකක් කරනවා. සතියක් කරනවා. “මේක කළාට පලක් නෑ හාමුදුරුවනේ. කේන්තිය කොහොමටවත් අඩු කර ගන්නට බෑ නේ !” කියලා ඇවිත් අපි සමග මැසිවිලි කියනවා. ඇයි මේකට මැසිවිලි? දිනපතා ම තමන්ගේ මනසට ඇති වෙන්නා වූ ආවේගකාරී සිතුවිලි ගැන නුවණින් විමසා බලන්නට තරම් මනස සූදානම් නෑ; නමුත් තරහ යාම අඩු කර ගන්නටත් ඕන.

නො පෙනෙන සිතේ පිරිසුදුකම

මෙන්න මේ විදිහේ තත්ත්වයකට අපේ මනස හුරුවෙලා තියනවා. අපි ශුද්ධ කරන්නට – පවිත්‍ර කරන්නට පෙළඹෙන්නේ අන් අය දකිනවා නම් පමණයි. එසේ නො දකිනවා නම් ඕනෑ ම කුණු ගොඩක් ගෙයි මුල්ලේ තිබුණාට කමක් නෑ. ගේ පවිත්‍ර කරන්න – අතු ගාන්න – බිම පොලිෂ් කරන්න – මකුළු දැල් කඩන්න පෙළඹෙන්නේ මඟුල් ගෙයක් ළං වෙන කොට, එහෙම නැත්නම් පින්කම් ගෙයක් ළං වෙන කොට, එහෙම නැත්නම් තමන්ගේ නිවසට මිත්‍රයෙක් පැමිණෙන දවසට පමණයි. ඇයි මෙහෙම කරන්නේ? ගෙදරට එන යන අය දැක්කොත් හොඳ නෑ. “මේවා ශුද්ධ කරපං පුතේ” කියලා ඔක්කොම එකතු කරගෙන බොහෝ මහන්සිවෙලා ගේ දොර පවිත්‍ර කරනවා අප බොහෝ වාරවල දැකලා තියනවා. ඇයි එහෙම කරන්නේ? මිනිස්සු හිතනවා: මේක අනික් අය දැක්කොත් හොඳ නෑ කියලා. ඒක ලජ්ජාවට කරුණක් කියලා. ඒක තමයි කියන්නේ, ලෝක අපවාදයට බියෙන් පවිත්‍ර කරනවා. ඒකත් හොඳයි. ඒකත් කළ යුතුයි. නමුත් නිවන් දකින්නට උත්සාහවත් වන පුද්ගලයා ලෝක අපවාදයට බියෙන් පමණක් මේක කරලා හරියන්නේ නෑ. එයට හැබෑ උනන්දුවක් තියෙන්න ඕනෑ. එයට හැබෑ ම ඕනෑකමක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව පවිත්‍ර කළාට පලක් නෑ.

බාහිර ජීවිතයේ කරන ක්‍රියාකාරකම් හැම දෙයක් ම අපේ මනස හා සම්බන්ධයි. අපේ මනසින් සිතලයි මේවා කරන්නේ. ඒ නිසා ගේ පවිත්‍ර කර ගන්න – තමන් පාවිච්චි කරන පිඟාන සෝදා ගන්න – එය මැදලා පවිත්‍ර ව තියාගන්නට ඕන නැති මනුෂ්‍යයාට, නො පෙනෙන සිතක් පවිත්‍ර කරන්න ඇති අවශ්‍යතාව මොකක් ද? කිසිදාක එවැනි දෙයක් සිද්ද වෙන්නේ නෑ. තමන් වතුර බොන කෝප්පේ මැදලා ශුද්ධ පවිත්‍ර කරලා තියාගන්නට පෙළඹෙන්නේ නැතිනම්, ඒ මනුෂ්‍යයා නො පෙනෙන සිතක් පවිත්‍ර කිරීම කිසිදාක සිද්ද වෙන්නේ නෑ. තමන් කාපු බත් ටිකේ ඉතුරු වෙච්ච ඉඳුල් ටික, කුණු ඉවත් කරන භාජනය ළඟට ගිහිල්ලා පිටතට විසිරෙන්නේ නැති ව ඒකට හලන්නට තරම් තමන්ට සංයමයක් නැත්නම්, එවන් මනුෂ්‍යයා කරන භාවනාව මොකක් ද?

එවන් මනුෂ්‍යයා ඇති කරන පවිත්‍රත්වය මොකක් ද? එවන් මනුෂ්‍යයා රකින ශීලය මොකක් ද? එවන් මනුෂ්‍යයාගේ මනසේ කවදා ද සංවරයක් ඇති වෙන්නේ? ඒ බඳුන ළඟට ගිහිල්ලා, තමා නිසා ලෝකය අපවිත්‍ර නො කර, තමා නිසා අපවිත්‍ර වන දේ පවිත්‍ර කරන්නට තරම් තමන්ට සංයමයක් මනස තුළ නැති නම්, නො පෙනෙන දෙයක් පවිත්‍ර කරන්න කිසිදාක සූදානම් වෙන්නේ නෑ.

මිනිස්සු දේව පූජාවකට යන කොට පොල් ගෙඩියත් හෝදනවා කහ දියරෙන්. බුලත් කොළෙත් හෝදනවා. සත පනහත් හෝදනවා. ඒ වගේ ම හිසේ දෙහි ඇඹුල් ගාලා හෝදනවා; නානවා. නමුත් බුද්ධ පූජාව තියන කොට ඒ එක ක්‍රියාවක්වත් කරනව ද? ඇයි එහෙම නො කරන්නෙ? මිනිස්සු හිතනවා: දේව පූජාවට ගෙනියන දේ දෙයියො දකිනවා. දෙයියො ජීවත් වෙනවා. බුදුහාමුදුරුවෝ නෑ. පිරිනිවන් පාපු බුදුහාමුදුරුවෝ කොහොම ද ඒවා දකින්නෙ? ඒ හැඟීම මිනිසුන්ගේ සන්තානයේ කිඳා බැහැලා තියනවා. මෙහෙම, මේ කියන ආකාරයට ම අපේ සිතේ මතුනූනට, අභ්‍යන්තරයේ තියන සංකල්පය එයයි. ග්‍රහ අපල දුරු වෙන්නට දේව පූජාවක් තියන්න කියලා කිව්වොත්, මිනිස්සු මොන දහදුක විඳගෙන හරි කතරගම ගිහිල්ලා රුපියල් දහසක්, රුපියල් පන්දහසක් වුණත් ඒකට වියදම් කරනවා.

රැවටෙන්නෙ තමන් ම යි

නමුත් යම් බුද්ධිමත් මනුෂ්‍යයෙක් කිව්වොත්: ඔබේ අපල උපද්‍රව දුරු වෙන්න පන්සලට ගිහිල්ලා පහන් වැට ශුද්ධ කරන්න – බෝධිය අවට පවිත්‍ර කරලා මල් ටිකක් පූජා කරන්න කියලා. කිසි ම මනුෂ්‍යයෙක් මේකට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඇයි මෙහෙම වෙන්නෙ? මිනිස්සු හිතනවා: බුදුහාමුදුරුවෝ අද නෑ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා. උන්වහන්සේට පේන්නේ නෑ අපි කරන දේ. උන්වහන්සේට කොච්චර ඒවා කළත් අපේ වැඩේ කර ගන්න බෑ. දෙවියෝ මේ ඔක්කොම දකිනවා. දකින නිසා අපිට ඔක්කොම කරලා දේවි කියලා හිතනවා. දේවාලේ සුද්ධ කරන්න ගිය දාට මනුෂ්‍යයා කවදාවත් අතුගාලා කුණු ටික මුල්ලට එකතු කරනව ද? කිසිදාක එකතු කරන්නේ නෑ. නමුත් බුදුමැඳුර අතු ගාලා මොකද කරන්නෙ? මල් ආසනේ යටට තල්ලු කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මුල්ලටයි එකතු කරන්න හදන්නෙ. කැඩිලා බිඳිලා තියන තැනක ඇතුළටයි රිංගවන්න හදන්නෙ. එය අතු ගාලා කුණු ටික හැබෑවට ම අයින් කරලා කුණු දාන තැනට ගෙනිහින් දාන්න බෑ. වටපිට බලලා තාප්පෙන් එහා පැත්තෙ කුඹුරට දාන්නටයි උත්සාහ කරන්නේ. නමුත් දෙවියන්ගෙ ස්ථානෙදී එහෙම දේ කරන්නේ නෑ. ඇයි? පන්සලේ දි බුදුහාමුදුරුවෝ ඒවා දකින්නේ නෑ. හාමුදුරුවරු දැක්කොත් තමයි ප්‍රශ්නෙ. වටපිට බලනවා හාමුදුරුවෝ දකියි කියලා. ඇයි මිනිස්සු මේ තරම් කුහක වෙන්නේ? ඇයි මිනිස්සු මේ තරම් වංක වෙන්නේ? එවන් මනුෂ්‍යයාට කිසිදාක නිවන් දකින්නට බැහැ.

අවංක විය යුතුයි

බුදුරජාණන් වහන්සේ නිවන් දැකීම සඳහා පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාර්ගය කරණීය මෙත්ත සූත්‍රයේ දී දේශනා කළේ කොහොම ද? “සක්කෝ උජූ ච සූජූ ච” දෙවැනි තුන්වැනි කරුණු දෙකේ දී බුදුහාමුදුරුවෝ කුමක් ද දේශනා කළේ? සෘජු වෙන්නට ඕනෑ; මනා ව සෘජු වෙන්නට ඕනෑ. කොන්ද රිදුනට කමක් නෑ. කොන්ද කුදු ගැහිලා තිබුණාවේ. ඒත් මනස සෘජු කර ගන්නට ඕනෑ; එය මනා ව සෘජු වෙන්නට ඕනෑ. සිතුවිලි සෘජු වෙන්නට ඕනෑ. ප්‍රඥාව සෘජු වෙන්නට ඕනෑ. අවබෝධය සෘජු වෙන්නට ඕනෑ. එසේ නූනොත් ඒ මනුෂ්‍යයාට කිසිදාක නිවන් දකින්න බෑ. ඒ මනුෂ්‍යයා වංක වෙනවා. ඒ මනුෂ්‍යයා ක්ලේශයන්ගෙන් අපවිත්‍ර වෙන්න, අපවිත්‍ර වෙන්න වංක වෙනවා. සෘජුභාවය නැති වෙනවා. ඒ නිසා හැබෑ වශයෙන් ම අපි බුද්ධ පූජාවක් පවත්වනවා නම්, දෙවියන්ටත් වඩා පවිත්‍රතාවය දැක්විය යුත්තේ බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ දේවාති දේව වූ නිසා ද? නෑ. බ්‍රහ්මාති බ්‍රහ්ම වූ නිසා ද? නෑ. අපේ ශාස්තෘවරයා වූ නිසා ද? මේ කිසිවක් නිසා නෙවෙයි. අපේ මනසේ පවිත්‍ර බව බුදුහාමුදුරුවෝ අගය කළ නිසා.

ප්‍රඥාවෙන් පිරිසුදු  වෙනවා

බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සියල්ල දකින්නා වූ උත්තමයෙක්. උන්වහන්සේට ඇතුළත ය, පිටත ය කියලා වෙනසක් නෑ. දෙවියන් නො දකිනා බොහෝ තැන් බුදුහාමුදුරුවෝ දකිනවා. කාට ද අපි බුදුහාමුදුරුවෝ කියලා කියන්නෙ? සිද්ධාර්ථ කුමාරයා වෙසක් පුර පසළොස්වක පොහෝ දවසක බෝමැඩ දී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා අපි කියනවා. සම්බුද්ධත්වයට පත් වුණේ සිද්ධාර්ථ කුමාරයාගේ කය ද? නැහැ. සිතයි එතැනට පත් වුණේ. මොකක් ද මේ බුද්ධත්වයට පත් වුණා කියලා බුදුහාමුදුරුවෝ කළේ? අවබෝධයේ – ප්‍රඥාවේ පරතෙරට පැමිණියා. ප්‍රඥාව පහළ වුණේ කොතැන ද? සිතෙයි පහළ වුණේ. ලෝභය තිබුණා නම්, ද්වේෂය තිබුණා නම්, මෝහය තිබුණා නම්, මේ සියල්ල දුරුවෙලා යනවා ප්‍රඥාවේ පහළ වීමත් සමග. කොහොම ද සිත පවිත්‍ර වන්නේ? ප්‍රඥාවේ පහළ වීම තුළිනුයි සම්පූර්ණයෙන් සිත පවිත්‍ර වෙන්නේ.

බුදුහාමුදුරුවෝ ප්‍රථම ධ්‍යානයෙන් සිත පවිත්‍ර කොට වදාළා ද්විතීය ධ්‍යානයෙන් සිත පවිත්‍ර කොට වදාළා. තෘතීය ධ්‍යානයෙන් සිත පවිත්‍ර කොට වදාළා. චතුර්ථ ධ්‍යානයෙන් සිත පවිත්‍රකොට වදාළා. ඒ වගේ ම පූර්වේනිවාසානුස්මෘති ආදී නොයෙක් දියුණු ඥාන ශක්තීන්ගෙන් පවිත්‍ර කළා වූ සන්තානය තුළයි මහා ප්‍රඥාවේ ආලෝකය පහළ වුණේ. මේ කොතැනක ද? සිත තුළයි. මනස තුළයි පහළ වුණේ. පවිත්‍රත්වයෙන් තොර නම්, එය පහළ වෙයි ද? නැහැ. එහෙම නම් අපි තේරුම් ගන්නට ඕනෑ: පවිත්‍රත්වය නැති තැන කිසි දා බුදුහාමුදුරුවෝ නෑ. ‘බුද්ධ භාවය’ – ඒ අවබෝධය පහළ වෙන්නේ පවිත්‍රත්වය තුළ ම යි.

පවිත්‍ර මනසින් දහම දකිනවා

බුදුහාමුදුරුවෝ වැඩමවන්නට අපි යම් තැනක් සකසනවා නම්, අතු ගාලා පිරිපහ කරනවා නම් – පිරිසුදු  කරනවා නම්, අපි බුදුමැඳුරේ බුදුහාමුදුරුවෝ උදෙසා මල් පූජා කරනවා නම්, ඒ තුළ හැබෑ වශයෙන් බුදුහාමුදුරුවෝ වැඩඉන්නට නම් මනා පවිත්‍රත්වයක් තිබිය යුතුයි. ඒ පවිත්‍රත්වය මලෙහි පමණක් නෙමෙයි; මිදුලේ පමණක් නෙමෙයි; බුදුමැඳුරෙහි අසුනේ පමණක් නෙමෙයි. ඒ සියල්ල පවිත්‍ර කිරීම කරන්නේ කුමක් කරන්නට ද? අපගේ මනස පවිත්‍ර කරන්නයි. ඒ නිසා වැලි කැටයක් කැටයක් ගාණෙ, අපේ ඉදල් පාරක් වදින – අතුගාන සෑම මොහොතක ම මේ ප්‍රයත්නය කුමක් සඳහා ද? නිවන් දකින්නටයි. නිවන කියන්නෙ කුමක් ද? ලෝකෝත්තර ප්‍රඥාවේ පහළවීමයි. ප්‍රඥාව පහළ වෙන්නේ කොතැන ද? පවිත්‍ර වූ මනසෙහි. එහෙම නම් මේ බෝමළුව මා පිරිසුදු  කරන්නේ මගේ මනස පවිත්‍ර කිරීමේ ශක්තිය ලබන්නටයි. ඒ ශක්තිය තුළ ප්‍රඥාව පහළ වෙනවා. එයින් ලෝකය දකිනවා. ලෝකය දකිනවා කියන්නේ ධර්මය දකිනවා.

බුදුහාමුදුරුවෝ දේශනා කළා: “යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති” – යමෙක් දහම දකිනවා නම් ඒ තැනැත්තා මා දකිනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ දකින්නට අපවිත්‍රතාව තුළ පුළුවන් ද? කිසිදාක බෑ. එතන බුදුහාමුදුරුවෝ නැහැ.

මනුෂ්‍යයො අද කාලෙ කරන පුද පූජා එකකින්වත් බුදුහාමුදුරුවෝ දකින්න බැහැ. ඇයි? උන්වහන්සේ පිරිනිවන් පෑව නිසා නෙමෙයි. ඔවුන් ඒ තුළින් ධර්මය නො දකින නිසා. ධර්මය දකින්න අවශ්‍ය ප්‍රඥාව පහළ වෙන්නට නම්, පාරිශුද්ධත්වය තියෙන්න ඕනෑ. මල් අසුන සම්පූර්ණයෙන් ම පවිත්‍ර නො කර – තමන් මල් ටික පූජා කරන තැන විතරක් පවිත්‍ර කරලා, “අනිත් ටික ඕන කෙනෙක් පවිත්‍ර කරගත්තාවෙ. මම බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන්නෙ මෙතන විතරයි නෙ. මම මෙතන විතරක් ශුද්ධ කරනවා” කියන – හිතන මනුෂ්‍යයාගේ සිතට මොකද වෙලා තියෙන්නේ? එතැන ම සිත අපවිත්‍ර වෙලා. අපවිත්‍ර වුණා වූ සිතෙහි ප්‍රඥාව නෑ. ප්‍රඥාව නැති නිසා ඒ මනුෂ්‍යයාට තේරුම් ගන්නට බෑ, මල් අසුන සම්පූර්ණයෙන් ම තමා පවිත්‍ර කළ යුතුයි කියන කාරණය. බෝ කොළ ටික අතු ගාලා තාප්පෙන් එහා පැත්තට දැම්මොත් කුඹුරු වැඩ කරන්න බෑ ඒ මිනිස්සුන්ට. මේ කාරණය වටහා ගන්න බැරි ඇයි? අලසකමින් – කුසීතබවින් මනස අපවිත්‍ර වෙලා. අපවිත්‍ර වුණා වූ මනස තුළ ප්‍රඥාව පහළ නො වූ නිසා, ඒ මනුෂ්‍යයාට තේරෙන්නේ නෑ මේ කරන්නේ වරදක් කියලා. එතැන බුදුහාමුදුරුවෝ නැහැ.

බුදුරදුන් දැකීම

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අදට වසර දෙදහස් පන්සියයකට වඩා ගත වුණත්, තථාගතයන් වහන්සේ සෑම මොහොතක ම අපේ මනස තුළට වැඩමවා ගන්නට පුළුවන්; නමුත් උන්වහන්සේගේ රූපකාය නෙමෙයි. මේ හැබෑ ප්‍රඥාව සත්ත්වයාගේ මනස තුළ පහළ වෙනවා නම්, බුදුහාමුදුරුවෝ එතනයි. ඒ ප්‍රඥාවේ පරතෙරට යම්කිසි කෙනෙක් පත්වෙනවා නම්, ඒ බුද්ධ භාවය යි.

ඒ නිසා නිවන් දකින – බුද්ධත්වය අවබෝධ කරන අවස්ථා තුනක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා: සම්මා සම්බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය, ශ්‍රාවක බුද්ධත්වය කියලා. මේ සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දකින්නේ හෙවත් ලෝකය දකින්නෙත්, පච්චේක බුද්ධත්වයෙන් ලෝකය දකින්නෙත්, ශ්‍රාවක බුද්ධත්වයෙන් ලෝකය දකින්නෙත් කුමකින් ද? ප්‍රඥාව හෙවත් අවබෝධය තුළින්. ඒ ප්‍රඥාව පහළ වුණේ පවිත්‍ර වූ සිතකයි. එහෙම නම් බුදුහාමුදුරුවෝ වැඩඉන්නේ – බුදුහාමුදුරුවෝ වඩින්නේ – බුද්ධ භාවය පවතින්නේ, පවිත්‍ර වූ සිතෙහි ම පමණයි. සිත කිලිටි වෙනවා නම් එහි බුද්ධත්වය නෑ; ප්‍රඥාව නෑ. එහි අවබෝධය නෑ. සිතේ කිලිටි ඉවත් කරගෙන සිත පිරිසුදු කර නො ගන්නා තැනැත්තා කිසිදාක නිවන් දකින්නේ නෑ.

© Satipatthāna Magazine