විදසුන් වැඩීම
බුද්ධාගමේ හැටියට හැමකෙනෙකුම ශීල, සමාධි, පඤ්ඤා යන තුන් දහම් පිරිය යුතුය. අඩුම ගණනේ ගිහියා පන්සිල්වත් රැක්ක යුතුය. භික්ෂූන් විසින් ප්රාතිමෝක්ෂ සංවර ශීලය රැක්ක යුතුය. මනාව සිල් රැක්ක තැනැත්තේ දෙව් මිනිස් සුගතියෙහි උපදනේය. එහෙත් මෙම ලෞකික ශීලය සත්වයා නරක ආදී සතර අපාය කෙරේ මුළුමනින් නවත්වන්නට සමත් නොවේ.
එබැවින් ලෝකෝත්තර ශීලයද වැඩිය යුතුය. මෙය නම් මාර්ගඵල ශීලය යි. මේ මාර්ග ඵල ශීල පිරූ තැනැත්තේ සතර අපා දුකින් මිදුනාක් වෙයි. සසර ඉන්නා තුරු හෙතෙම සුගතිවලම හැසිරෙයි. එහෙයින් හැම තැනැත්තකුම ලෝකෝත්තර ශීලය පිරීමට උත්සාහවත් විය යුතුය.
මාර්ග ඵල ශීලය පමණක් නොව සමාධියද වැඩිය යුතුය. සමාධි නම් සිතේ තැන්පත් බවය. දමනය නොකළ සිත ඒ ඒ අරමුණු ඔස්සේ දිවැ ඇවිදී. එය රැක ගැන්ම දුෂ්කර ය. එය (සිත) රූපාදී අරමුණක් හෝ ධර්මාලම්භනයක් හෝ ඔස්සේ දුවයි. සිත ඒ ඒ අතේ දිවීම වැළැක්වීමට, තෝරා ගත් අරමුණකම දිගටම සිත බැඳ තැබිය යුතුය. ක්‍රමයෙන් සිතේ එකඟ බව වැඩී යාමෙන් නා නා අරමුණු අතේ සිත දිවීම නැවැතී තැන්පත් වෙයි. එවිට දුන් අරමුණෙහිම සිත රැඳෙයි. මෙය සමාධිය යි.
සමාධි දෙවර්ගයකි. ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙනි. මේ දෙකින් ආනාපාන, කසින, මෙත්තා ආදී කමටහන් අනුව සමථ භාවනාව වැඩීමෙන් සතර රූප ධ්‍යානත්, සතර අරූප ධ්‍යානත් ලබත හැකි වේ. මේවා වැඩීමෙන් බ්‍රහ්ම ලෝකයක උපදිත හැකිය. බඹලොව පරමායු බොහෝ දික්ය. එක් කල්පයක්, කල්ප දෙකක්, තුනක්, කල්ප හතරක්, අටක් යනාදී වශයෙන් වැඩිව ගොස් කල්ප අසූහාර දහසකටද නැගේ. එහෙත් පරමායුෂයේ අවසන බ්‍රහ්මයෙක් මැරී මිනිහෙක්ව හෝ දෙවියෙක්ව හෝ උපදී.
දැහැමි ලෙස ජීවත්වුවහොත් හැම කල්හිම සැපවත් වන්නේය. එහෙත් කෙලෙසුන්ගෙන් නොමිදුණු බැවින් නොයෙක් විට අකුසල්ද ඔහුගෙන් සිදුවන්නේය. එසේ වීමෙන් ඒ අකුසල්වල නපුරු විපාක වශයෙන් නරකාදී දුගතිවල උපදින්නේය. මේ ලෞකික සමාධිය ඒකාන්ත ආරක්ෂාවක් නොවේ. එබැවින් ලෝකෝත්තර සමාධියම වැඩිය යුතුය. එනම් මග්ග සමාධිය, ඵල සමාධිය දෙකයි. මේ දෙසමාධීන්ම වැඩීමට ප්‍රඥාව වැඩිය යුතුය.
ප්‍රඥාව ද ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. පරහිංසා ඇති නොකරන ධාර්මික ශිල්ප ශාස්ත්‍ර අතේ දැනීම ද, දහම් පොතපත අතේ මනා දැනීම ද යන මේ ශ්රැතමය ප්‍රඥාවද, කරුණු සිතා බැලීමෙන් ඇති වන චිත්තාමය ප්‍රඥාවද යන මාර්ග ඵල අවස්ථාවට නොමුහු කළ ලෞකික ප්‍රඥාව වැඩීමෙන් සුගති සැප ලබත හැකිය. එහෙත් මුළුමනින්ම අපාය දුකින් මිදුණකු විය නොහැකිය. ලෝකෝත්තර ප්‍රඥාව වැඩීමෙන්ම අපාය දුකින් සදහටම මිදෙත හැකි වෙයි.
ලෝකෝත්තර ප්‍රඥා යනු මාර්ග ඵල ප්‍රඥාය. මෙය ලැබීමට විපස්සනා භාවනාව වැඩිය යුතුය. මෙය හොඳටම වැඩුණු පසු සීල සමාධි දෙකද ඒ සමගම වැඩුණෝ වෙති.
මේ ප්‍රඥාව ලැබීම පිණිස කළ යුත්තේ නාම රූප දෙක ඇති සැටි ලෙස දැකීම දියුණු කිරීම ය. මේ කාලයෙහි භෞතික විද්‍යාව උගන්වන තැන්වල රූප ධර්මයන් යන්ත්‍ර උපකරණ මගින් බෙද බෙදා බැලීම කරනු ලැබේ. එහෙත් එයින් සිතේ තතු දත හැකි නොවේ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට ඒ බාහිර උපකරණ වුවමනා නැත. බෞද්ධ ක්‍රමයෙන් සාර්ථක ලෙස නාම රූප දෙකම බෙදා බලත හැක්ක. සිතත් කයත් දෙක ඒ ඒ මොහොතෙහි ක්‍රියා කරන සැටිය තියුණු ලෙස තම සිත යොදා බැලීම කළ යුතුය. දිගටම මෙය කරගෙන යාමෙන් සමාධි ලැබේ. සමාධිය තියුණු වූ පසු නාමරූපයන් හැදි හැදී දිගටම පැවැත්ම ප්‍රකට වෙයි.
ආත්ම භාවය මේ නාමස්කන්ධ, රූපස්කන්ධ දෙකින් සෑදුණු එකකි. ශරීරයට අයත් කොටස් සියල්ලම රූපස්කන්ධයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, සෝත ආදී රූප විසි අට කොටසක්ම මෙයට ඇතුළත් වෙයි. කොටින්ම කියතොත් ශරීරයම රූපස්කන්ධය යි. මැටියෙන් හෝ පිටියෙන් හෝ හැදූ රූපය මැටි ගොඩක්ම, පිටි ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශරීරයද එසේම රූප ධාතු ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශීත, ඌෂ්ණ, සා පිපාසා ආදියෙන් රූප පෙරැළේ. මේ රුප්පනය හෙවත් පෙරැළීම නිසා ශරීරයෙහි වු දෙයට රූප යන නම පාලියෙන් බැහැර විය. එහි අරමුණු ගන්නා කිසිම ධර්මයෙක් අඩංගු නැත.
එසේ නම් අරමුණු ගන්නා දැය කිමෙක්ද? එය නම් රූපයේ ආධාරයෙන් පහළ වන චිත්ත චෛතසිකයන් ය. මොවුනට අරමුණු කරා නැමෙන බැවින් නාම යැයි ව්‍යවහාර වේ. සිතට චිත්තය, විඤ්ඤාණය කියාද බැහැර වේ. පහත දැක්වෙන පරිදි සිත රූපයේ ආධාරයෙන් උපදනේය.
ඇසෙහි චක්ඛු විඤ්ඤාණය ද, කනෙහි සෝත විඤ්ඤාණය ද, නාසයෙහි ඝාන විඤ්ඤාණය ද, දිවෙහි ජිව්හා විඤ්ඤාණය ද, කයෙහි කාය විඤ්ඤාණය ද පහළ වේ. මේ සියල්ල චිත්ත ධාතූහු ය. රූපාදී අරමුණු දැනගන්නෝ ය. එහෙත් රූපයේ නම් අරමුණු දැනගත්තෝ නොවෙති.
දකින්නේ ඇස යැයි මිනිසුන්ගේ සාමාන්‍ය පිළිගැනීමයි. ඔහු ඇසෙන් දැකීමත් එකක් කොට සිතයි. දැක්ම මම ය. මම ඒ ඒ දෑ දකිමි. ඇසත්, දැකීමත්, මමත් යන තුන්දෙනාම එකක්ම ය. එකම තැනැත්තාම යැයි ඔවුන්ගේ පිළිගැනීම ය. ඇත්ත නම් මෙසේ නොවේ. ඇස එකකි. දැකීම අනෙකකි. මෙහි මම ය, තැනැත්තා ය, තමා ය කියා කිසි සාරයක් එහි නැත. ඇස නිසා පහළ වන දැකීම පමණක් එහි ඇත. දැන් කාරණයක් පැහැදිලි ය. එනම්, දැකීම කරන හැම මොහොතේම ඇස නමැති රූප ධාතුවත්, චක්ඛු විඤ්ඤාණය නමැති නාම ධාතුවත්, මේ දෙක හැර තවත් බාහිර වූ රූපාලම්බනයක්ද ඇති බව ය.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood