බෞද්ධ භාවනා ක්‍රම අතර මෛත්‍රී භාවනාව අතිශය ජනප්‍රියව පවතිනවා.
බොහෝ බෞද්ධයෝ අතිශය ගෞරවාදරයෙන් මේ භාවනා ක්‍රමය නිති ප්‍රගුණ කරනවා.
සතර ඉරියව්වෙහිම ප්‍රගුණ කළහැකි පහසු භාවනා අරමුණක් බව ධර්මයේ සඳහන් වෙනවා.
බොහෝ ආනිසංස ගෙනදෙන, විපුල ආනිසංස ගෙනදෙන උතුම් භාවනා ක්‍රමයක්. මේ උතුම් භාවනා කමටහන පිළිබඳ වඩා හොඳින් නිවැරැදිව හදාරා පිළිවෙත් ගරුකව වැඩිය යුතු වෙනවා.
එසේ නොවුනහොත් ඇතැම් විට හානිදායක ප්‍රතිඵලවලටත් මුහුණ දෙන්න වෙනවා.
මෙත්සිත මනාව දිගු කාලයක් ප්‍රගුණ කිරීමේදී සිතට දැනෙන සැහැල්ලුව සහනය වචනයෙන් කියා නිම කරන්න බැහැ. එහි මහ පුදුම බලයක් ශක්තියක් තිබෙනවා.
කිසිවෙකුට මැඩ පවත්වන්න නොහැකි යටපත් කරන්නට නොහැකි උසස් ආරක්ෂාවක් රැකවරණයක් එයින් ලැබෙනවා.
මහා බලගතු ආරක්ෂාවක්. තමා වටා ගොඩ නැගෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ ගෞරවයට පත්වෙනවා. ඔවුන්ගෙන් වැදුම් පිදුම් හිමිවෙනවා. යක්ෂ භූතාදීන්ගෙන් කිසිදු විපතක් හානියක් කරදරයක් කිසිම අයුරකින් සිදුවන්නේ නැහැ. ඔවුන්ගෙන් ගෞරවය, රැකවරණය පමණක් නොව ආරක්ෂාවත් හිමිවෙනවා. උදව් උපකාරත් හිමිවෙනවා.
මෙත්තා කියන පාලි වචනය සංස්කෘත භාෂාවෙන් මෛත්‍රි ලෙස දක්වනවා. මිතුරුකම, හිතවත්කම, යහළුකම කියන අදහස් මෙහි ගැබ්වෙනවා. සාමාන්‍ය මිනිසා අදහස් කරන මෛත්‍රිය විවිධාකාර විය හැකියි. තමාට තම හිතවත් අයට, දරුවනට, යහළුවනට, ඥාතීන්ට අහිතවත් අයට, සතුරු අයට ඔවුන්ගේ මෛත්‍රීය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෙත්සිත කෙලෙස් දුරු කිරීමට, කෙලෙස් නැසීමට මිස කෙලෙස් වැඩීමට නොවේ.
එනිසා මෛත්‍රිය රාගය, ආලය, කාමය ආදරය සමඟ බැඳුන එකක් නොවේ. එය පටිසෝතගාමි ප්‍රතිපදාවකි. මෛත්‍රියට සෘජු සතුරා වන්නේ ද්වේශයයි. එය අපට පැහැදිලිව හඳුනාගන්න හැකියි.
රාගය, ආලය, කාමය, ආදරය යන ක්ලේශධර්ම මෛත්‍රියට සතුරු වෙයි. එය හඳුනා ගැනීමට බොහෝ අපහසු වේ.
සතුරා සතුරු ලෙස එන්නේ නම් අපට හඳුනා ගැනීමට අපහසු නොවේ.
සතුරා පි‍්‍රය හිතවතකු කල්‍යාණ මිත්‍රයකු, විශ්වාසවන්ත උදව්කරුවකු විලසින් පැමිණෙන්නේ නම් ඔහු හඳුනා ගැනීම අතිශය දුෂ්කර ය.
බොහෝ විට මිතුරු වෙසින් පැමිණෙන සතුරාට ගොදුරු වන අවස්ථා උදාවෙනවා.
මෛත්‍රී වෙසින් උපදින රාගය, රතිය, කාමය, ආලය ආදී ක්ලේෂයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වේ.
මේ සඳහා ඉතා උසස් ලෙස සිහිනුවණ හා දහම් අවබෝධය තිබිය යුතුය. උසස් ගුරු ඇසුර ද තිබිය යුතු ය. අපට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෛත්‍රිය ඉතාම ශ්‍රේෂ්ඨයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ නැත.
තමාට හිතවතාට, මිතුරාට, ඥාතියාට දුවට, පුතාට, මවට පියාට, මැදහත් අයට සතුරාට ආදී වූ මේ සැමට සමසේ අපරිමිත මෛත්‍රිය පැතිරවිය යුතුය. එය අපි හැමෝම භාවිත කරන කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා.
‘’මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒතංපි සබ්බ භූතේසු
මානසං භවයේ අපරිමානං’’
උතුම් මව් පදවිය උසුලන, ආදරය, කරුණාව, මෛත්‍රියෙන් පිරිපුන් උසස් දරු සෙනෙහසක් ඇති මවක් යම්සේ සිය දිවි දෙවෙනි කොට තම එකම පුතු ආරක්ෂා කරන්නී ද එමෙන් සියලු ලෝක සත්ත්වයා වෙත අපරිමිත මෙත්සිත පැතිරවිය යුතුය. එය බුද්ධ චරිතයේ ආදර්ශයකි. අපේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රි බලය, ශක්තිය අපරිමිතයි. මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිමය. දරුණු සොරුන්, රෞද්‍ර යක්ෂ, නාග භූතාදීන් පහසුවෙන් දමනය කිරීමටත් තම වසඟයට ගැනීමටත් හැකියාව ලැබුණේ අපරිමිත මෛත්‍රී චිත්ත බලය නිසයි. දුටුවන් බියෙන් සැඟවී පලායන තරම් භයානක වූ නාලාගිරි ආදි තිරිසන් සතුන් පවා අහිංසක සැදැහැති දරුවන් සේ සිරිපා මුල දනින් වැඳ වැටෙන පමණට සංවර කිරීමට, දමනය කිරීමට හැකිවූයේ ඒ උතුම් මෛත්‍රි බල ශක්තියෙනි. ජීවිත කාලය පුරාම ද්වේශයෙන් ක්‍රෝධයෙන්, වෛරයෙන් අනේක විධ තර්ජන, ගර්ජන, වදහිංසා පැමිණවීමට උත්සාහ කළ දේවදත්තට කිසිදු වෙනසකින් තොරව මෙත්සිතම වැඩූහ. ගිහිකළ තමනට දාව උපන් රාහුල කුමරුට වැඩි මෛත්‍රියක්, කරුණාවක් නොපැවැත් වූහ. සියල්ලටම සම සිතින් මෙත්සිත වැඩුවා. මහා කාරුණික තථාගතයන් වහන්සේ ගේ මේ උතුම් ආදර්ශයම ගුරුතන්හි තබා සියලු සතුනට සම මෙත් සිතම පැතිරවීමට හැකි හැම උත්සාහයක්ම ගත යුතුයි.
මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමට යොමුවන ආධුනිකයා වඩා සැලකිලිමත් විය යුතුයි. ආරම්භයේදී ම අරමුණු නොකළ යුතු පුද්ගලයන් කිහිප දෙනෙක් වෙයි. වෙසෙසින් අතිශයින් පි‍්‍රය, අපි‍්‍රය වෛරී, මැදහත් යන සතර පුද්ගලයන් පළමුව අරමුණු කිරීමෙන් වැළකීම වඩා යහපත්ය. භාවනාවට යොමුවන පුද්ගලයා මනස සැහැල්ලු ව සමබර ව පවත්වාගත යුතුයි.
ආධුනිකයා නොදියුණු මනසකින් යුත් අයෙක් නම් මහත් වෙසෙට පත්ව නොමඟට යොමුවිය හැකිය. එනිසා ඉහතින් සඳහන් කළ සතර පිරිස අරමුණු කර මෙත් වැඩිය යුත්තේ උසස් ලෙස සිත දියුණු කර තම වසඟයේ සිත පවත්වා ගැනීමට හැකි වූ පසුවය. අතිපි‍්‍රය අය අරමුණු කරත්ම රාගය, රතිය, ආලය ඇසුරු කොට සිතිවිලි පහළ විය හැකියි. ඔවුනගේ දුක සැප විමසන ස්වභාවයේ සිතිවිලි හෝ ඔවුන් සමඟ කළ කී දෑ පිළිබඳ සිතිවිලි පහළව මහත් වෙහෙසට පත්විය හැකියි.
කමටහන අමතක ව සිත වසඟ කර ගැනීමට ද නොහැකිව මහත් කරදරයකට ලක්විය හැකි අවකාශ බහුල වෙයි. මේ හේතු නිසා අතිපි‍්‍රය පළමුව අරමුණු නොකිරීම වැදගත් වේ. අපි‍්‍රය පුද්ගලයන් අරමුණු කර මෙත්සිත පතුරවන්නට ආරම්භ කළහොත් සිතට පිළිකුල් අරමුණු ඇතිවේ. ද්වේශයට පක්ෂව සිතිවිලි නොකඩවා ඇතිවිය හැකියි. සතුරු අය, වෛරී පුද්ගලයන් අරමුණු කර මෙත්සිත වඩන්නට යොමුවීමෙන් සිත ද්වේශයෙන් වෙලා ගැනීමේ අවකාශ වැඩිවේ.
මෙත් සිත වෙනුවට ද්වේශයෙන් ඇවිලගත් සිත් පෙළක් හට ගතහොත් මහත් දුෂ්කරතාවයනට මුහුණ දෙන්නට සිදුවේ. ද්වේශ සහගත සිතිවිලි යටපත්කර, මැඩපවත්වා මෙත් සිතම බාධාවකින් තොරව වැඩිය හැකි පමණට සිත දියුණුව පවතී නම් සෘජු ලෙස සතුරු අය අරමුණු කර මනා සිහි නුවණින් මෙත්සිත වැඩීම සුදුසු ය. එයින් සතුරා මෙල්ල කිරීමටද හැකිවනු ඇත. මැදහත් අය ගරු තැනට, ප්‍රිය තැනට පමුණුවා ගැනීමේදී සිතට වෙහෙසක් ඇතිවිය හැකිය.
එබැවින් ආරම්භයේ දී සෘජුව මැදහත් අය අරමුණු කර මෙත්සිත වැඩීමෙන් වැලකීම යෝග්‍ය වේ.
එමෙන්ම මෛත්‍රී කමටහන් වඩන තැනැත්තා භාවනා අරමුණ සඳහා සෘජුව විරුද්ධ ලිංගිකයන් තෝරා ගැනීමෙන් වැලකිය යුතුය. පුරුෂයා ස්ත්‍රියක අරමුණු කර හෝ ස්ත්‍රියක් පුරුෂයකු අරමුණු කර කමටහන් වැඩීමෙන් වැළකීමට වගබලා ගතයුතු යි. ස්ත්‍රී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කරන පුරුෂයාගේ සිතට වහා රාගය පැන නැග එන්නේ ය. පුරුෂ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කරන ස්ත්‍රියගේ සිතට වහා රාගය පැන නගින්නේ ය.
මෛත්‍රි සිත මුලාකර සිතට නැගෙන රාගය නමැති ගින්නෙන් දැවෙන්නට පුළුවන. රාගයෙන් සිත ඇවිලගත් කල, වෙලාගත් කළ මෛත්‍රි සිතට ඉඩක් නැත. ඔහු අන්ධයකු සේ ක්‍රියා කිරීමට යොමු වන්නේ්ය. මේ නිසා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි සෘජුව මෙත් සිත වැඩීම පිළිබඳ අතිශයින් සැලකිලිමත් විය යුතුය. මළගිය අය අරමුණු කර මෙත් සිත වැඩීමෙන් ඵල රහිත වේ. චිත්ත සමාධි ඉපදීම නොහැකි බව පෙන්වා දී තිෙබ්.
මෛත්‍රී සිත වඩනු කැමති සැදැහැවත් අය පළමුව ද්වේශයේ ආදීනව මැනවින් නුවණින් විමසා බැලීමට හුරුකර ගතයුතු වේ. අප සැමගේ සිත්වල ද්වේශය නමැති ක්ලේශ මූලය පවතී. ඇතැම් අයගේ චරිත ද්වේශය බහුල කොට ඇත. පි‍්‍රය මනාප මුහුණින් යුතුව සියල්ල ඉවසීමේ ශක්තිය දියුණු කළ අයද අපට දක්නට ලැබේ. කෙසේ වුවද ද්වේශයේ ආදීනව මෙනෙහි කර භාවනාවට යොමුවීම වඩා සාර්ථක ක්‍රමය වේ. ද්වේශය සිත කය දවාලන ගින්නකි. සිත කිලිටි කරන, සිත දූෂණය කරන කය දවාලන ගින්නකි. සිත කිලිටි කරන, සිත දූෂණය කරන ප්‍රබල අකුසල මූලයකි. කුසල් අකුසල් හොඳ නරක, යහපත අයහපත හඳුනා ගැනීමට නොහැකි පරිදි සිත අන්ධ කරන නීවරණ ධර්මයකි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood