Temples of Sri Lanka

75 වැනි නිදහසේ අභිමානය සමරමු

ආචාර්ය දමෙන්ද පෝරගේ

 

හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ලොව විරුදාවලිය ලත් එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව එයින් නිදහස ලබා අද දිනට වසර 75ක් සපිරේ. වසර ගණනාවක් පුරා විවිධ වූ අරගල දියත් කරමින්, ලේ, කඳුළු, දහඩිය හෙලමින් 1948 වසරේ පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව නිදහස දිනාගනු ලැබීය.

 

 

එම දිනයේදී අප දේශපාලනික වශයෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙස නිදහස හිමිකරගනු ලැබූවද, වර්තමානය වන විට අප භුක්ති විඳින නිදහස කුමනාකාරයේ නිදහසක්දැයි යන්නද සිතා බැලිය යුතුය. එමෙන්ම එය, එදා නිදහස වෙනුවෙන් දිවි පිදූ සැබ ජාතික විරුවන් පැතූ නිදහසමද යන්න සිතා බැලීම වටී.

 

 

නිදහස වෙනුවෙන් අරගල කළ විරුවන් අතර සිටි බෞද්ධ භික්ෂුව, නිදහසේ අරගලයට දුන් දායකත්වය පිළිබඳව සුළු කොට තැකිය නොහැක. නිදහස් අරගලයේ ආරම්භය සහ අවසානය තෙක් කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලාංකීය සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික රාමුව තුළ උන්වහන්සේලාගේ කාර්යභාරය අතිමහත්ය. මෙහිදී නිදහසේ කාහල නාදය නැංවූ අප යතිවරයාණන් වහන්සේලා, එකී කාර්යභාරයත් සමඟම අද දින මතකයට නැංවීම උන්වහන්සේලා වෙත සිදු කරන්නා වූ මහත් ගෞරවයකි.

 

 

නිදහසේ අරගලය පිළිබඳව කෙරෙන කතිකාවතකදී අපට පළමුව සිහිපත් වන නාමය වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ය. 1815 වසරේදී උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් විසින් සිංහල කොඩිය බිමට දමා බ්‍රිතාන්‍ය කොඩිය එසවූ මොහොතේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියෝ ගිවිසුම අත්සන් කර අවසාන වනතුරු මේ රට අයිති සිංහලයන්ට බව පවසමින් බ්‍රිතාන්‍ය කොඩිය පහත දමා නැවතත් සිංහල කොඩිය එසවූහ. එමෙන්ම 1818 වසරේදී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව උඩරට කැරැල්ල ආරම්භ වූ මොහොතේ උන්වහන්සේ ඊට ලබා දුන් දායකත්වය සුළුවෙන් තැකිය නොහැක.

 

 

එමෙන්ම වීර පුරන් අප්පු වැනි විරුවන්ට මගපෙන්වමින් 1848 නිදහස් සටන වෙනුවෙන් කුඩාපොල හිමියන් සිදු කළ කාර්යභාරය ද අතිමහත්ය.

 

 

තවද නිදහස් අරගලයේ අවසන් කාලපරිච්ඡේදයන් හිදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රසිද්ධ පානදුරාවාදය ප්‍රමුඛ කොටගත් පංච මහා වාදයන් ඔස්සේ ප්‍රකට කළ මාහැඟි, නිර්භීත දායකත්වය නිසාම “වාදිභසිංහ” නම් ගෞරවනාමයෙන් පවා පිදුම් ලැබීය. පසකාලීනව කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් වැනි විද්වතුන්ගෙ සහාය නිදහස් සටන වෙත යොමුවීමට උන්වහන්සේ පැවැත්වූ දෙසුම්, විවාදයන් සහ අදහස් දැක්වීම් මනා පිටුවහලක් විය.

 

 

නිදහස් සටනේ පුරෝගාමී විරුවෙක් ලෙස මුල් තැන ගත් අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධාගමික කටයුතු සඳහා අනුශාසකත්වය නොඅඩුව ලබාදෙමින් ජාතික පුනරුදයක් උදෙසා මාහැඟි මෙහෙවරක් සිදු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් මේ මොහොතේ ගෞරවාන්විතව සිහිපත් කළ යුතුය. බෞද්ධාගම හා සිංහල සංස්කෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් උන්වහසේ කළ සේවාව සදා අමරණීයය.

 

 

එමෙන්ම ගිහි පැවිදි දෙපක්ෂයේම ශිෂ්‍ය පරම්පරාවන් යටත් විජිත මානසිකත්වයෙන් මුදවාලමින් පෙරට ගෙන ඒමට දැක්වූ දායකත්වය උදෙසා යක්කඩුවේ පඤ්ඤාරාම හිමියන් වැනි උදාරතර නාහිමිවරුන් අප සිහිපත් කරනුයේ මහත් බැතියෙනි.

 

 

නිදහසේ අරගලය තුළදී හැකි සෑම මොහාතකටම මැදිහත් වෙමින්, ජාතිභේද වැනි පටු කාරණා පසෙක ලා මේ සියලු යතිවරයාණන් වහන්සේලා සිය පෞද්ගලික වාසි, තනතුරු, නම්බුනාම වෙනුවෙන් නොව සැබෑ දේශහිතෛශීභාවයෙන් යුතුව, තමන් වහන්සේලාගේ උතුම් අරමුණු කෙරෙහි වගකීම්සහගතව, නිර්භයව කටයුතු කළහ.
එමෙන්ම නිදහස් සටන තුළදී ශාස්ත්‍රීය නවෝදය උදෙසා භාෂාව සහ සාහිත්‍යය මෙන්ම දේශන සහ විවාදයන් ඔස්සේ ඇතිවූ ජාතිකත්ව ප්‍රබෝධය සඳහා අප යතිවරයාණන් වහන්සේලාගේ මැදිහත්වීමද ගෞරවයෙන් මතකයට නැගිය යුතුය.

 

 

විශේෂයෙන්ම ටිබෙටයෙන් ශ්‍රී ලංකාවට පැමිණි තෂිනම්ගල් නම් දරුවා ශ්‍රී ලංකාවේ දී පැවිදි දිවියට පිවිස සිකීම් මහින්ද හෙවත් අපට සුපුරුදු නාමය වන “ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි” යන නාමයෙන් මෙරට ස්වෛරීභාවය උත්පාදනය කරන්නට සිදු කළ මෙහෙය අතිමහත්ය. කවියෙකු, ගත්කතුවරයෙකු ලෙස මෙරට නිදහස් සටන වෙනුවෙන් උන්හස්සේ සිදු කළ සාහිත්‍යමය දායකත්වය ඉතිහාසයේ රන් අකුරින් ලියවී හමාරය.

 

 

මොන කරුමයද තව ඇහැරුණු බවක් නැහැ
පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ
දිනුවත් පැරදුමත් කෝකත් කමක් නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ

නිදහසේ දැහැන – ඇස්. මහින්ද හිමි

 

 

ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි පිළිබඳව සිහිපත් කිරීමේදී අපට ටිබෙටයේ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් කිසිසේත්ම අමතක කළ නොහැක. ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව ඇතුළු සියලු ලෝක වාසීන්ගේ අතිශය ගෞරව බහුමානයට පාත්‍රව සිටින උන්වහන්සේ රාජ්‍ය මැදිහත්වීමකින් මෙරටට වැඩම කරවනු ලැබුවහොත් එය ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයක් ඇති කරවීමට සමත් වනු ඇත. එමෙන්ම වර්තමානය වන විට රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය මගහැර ශ්‍රී ලංකාවට “ආර්ථික නිදහසක්” ලබාගැනීමටද එය හේතු වනවා නිසැකය. මන්ද, ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ පැමිණීමත් සමඟම ලොව පුරා සිටින උන්වහන්සේගේ ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සහ බැතිමතුන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රබෝධයක් ඇතිවනවාට අමතරව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ බැතිමතුන් වන ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, සහ තායිලන්තයේ වෙසෙන මහා පරිමාණ ආයෝජකයින් මේ සමඟම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔවුනගේ දායකත්වය ලබාගැනීමේ කාර්යයද නිතැතින්ම සිදුවන බැවිනි.

 

 

ඈත අතීතයේ රජ දවස පටන් අප ගරුතර සංඝයා වහන්සේලා රාජ්‍ය පාලනයට මෙන්ම සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් සිය ගෞරවනීය අනුශාසකත්වය, නිවැරදි මගපෙන්වීම ලබාදුන්හ.

 

 

එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ස්වෛරීත්වයෙන් සහ දේශමාමකත්වයෙන් යුතු දේශයක් නිර්මාණය කිරීම සඳහා උපදේශකත්වය සපයමින්, වගකීම් සහගතව රාජ්‍ය පාලනයට අවැසි අවවාද, අනුශාසනා ආදිය ලබාදෙමින් ශ්‍රී ලාංකීය සංඝ සමාජය තම කාර්යභාරය නිසි ලෙස ඉටුකරනු ඇතැයි 1948 ක් වූ පෙබරවාරි මස 04 වැනිදා අප නිදහස ලබා අද දින 75 වන සැමරුම් දිනයට එළඹෙන මොහොතේ “සතිපට්ඨාන” අපගේ මෙන්ම මුළු මහත් ලංකාවාසීන්ගේ සිත් තුළ නැගෙන බලාපොරොත්තුවයි.

 

 

අද අපි සමරන හැත්තෑපස්වන නිදහස් සැමරුමේ දී එය සැබෑවක් කරගැනීමට එක්ව පෙළ ගැසෙමු.

 

චිරං ජයතු ශ්‍රී ලංකා !!!

 

You might also like
en English
X
X