තමන්ගේ මුළු ජීවිතයම එකම අරමුණක් වෙනුවෙන් ගෙවන කෙනෙක්, තමන්ගේ ජීවිතයම තමන්ට අයිති නැති දේශයකට වෙලා ලෝකයටම ආදරය බෙදන.. බෙදන්න උත්සාහ කරන කෙනෙක්.. ජීවිතය ගැන විවෘතව දකින, ජීවිතය විඳින්න ලොවට කියා දෙන කෙනෙක්.. සොබාදහම ප්‍රේමය කර ගත් අවිහිංසාවෙන් තම අයිතිීන් දිනාගන්න වෙර දරන සටන්කරුවෙක්..එහෙම කෙනෙක් අද උපන්දිනය සමරනවා. ඒ තමයි “ට්යෙන්සින් ග්යත්සෝ” හෙවත් ටිබෙටයේ අධ්‍යාත්මික නායක 14 වන දලයි ලාමා.. දැන් එතුමාට වයස අවුරුදු 85ක්.
මේ සටහන උන්වහන්සේ ගැනයි.
“ලාමා” කියන්නේ ගුරුතුමා හෙවත් පඬිවරයාට. “දලයි ලාමා” යන වචනයේ අර්ථය “සාගරයක් බඳු ගුරුතුමා” යන්නයි. ටිබෙට් හි දලයි ලාමාවරුන්ට වර්ෂ 1642 සිට 1959 දක්වා දිවෙන දිගු ඉතිහාසයක් තිබෙනවා. චීනය ටිබෙටයේ ආධිපත්‍යය තමන් වෙත නතු කර ගන්නා තුරු කාටවත්ම කරදරයක් නොවෙමින් ජීවත් වුණ ටිබෙට් දේශයේ උපන් 14 වන දලයි ලාමාවරයා වන ට්යෙන්සින් ග්යත්සෝ හිමියන්ට 1952 දි ටිබෙටයෙන් පිටවෙන්න සිද්ධ වෙනවා. ඒ චීනය ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟයි.
1935 දී ටිබෙට් හි අම්දෝ දිස්ත්‍රික්කයේ කුඩා දුගී ග්‍රාමයක උපත ලබා අවුරුදු 5ක් තරම් කුඩාම වයසේදීම ටිබෙට් හි අධ්‍යාත්මික නායකයා හෙවත් දලයි ලාමාවරයා බවට පත් වෙනවා. උන්වහන්සේ දලයි ලාමාවරයා බවට පත් වීමේ කතාව හරිම රසවත්. නමුත් මේ ලියුම්කරුගේ අරමුණ දලයි ලාමා හිමියන්ගේ පුද්ගලික විස්තර සඳහන් කිරීමකට එහා ගිය උන්වහන්සේගේ දර්ශනය ලෝකයටම කියා පෑමයි.
1935 ජූලි 6 වැනිදා ටිබෙටයේ ඊසාන දිග ටැක්ස්ටා ප්‍රදේශයේ ගොවි පවුලක පස්වැනි දරුවා ලෙස උපදින “Chamo Thondup” නම් දරුවා උපන්නේ අනාගත ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වීමේ වාසනා ගුණය දෝතින්ම රැගෙන එමිනුයි. පැවිදි දිවියට එළඹීමෙන් අනතුරුව එම නම “ට්යෙන්සින් ග්යත්සෝ” ලෙස වෙනස් වෙනවා. වයස අවුරුදු 5 දි අරුම පුදුම සිදුවීම් දාමයක් අවසානයේ ටිබෙට් හි අනාගතය භාර ගැනීමට සිදුවන ට්යෙන්සින් ග්යත්සෝ හිමියන් 14 වැනි දලයි ලාමා ලෙස නම් කරනු ලබනවා. නිවන් දැකීම වෙනුවට නැවත නැවතත් ඉපදීම සිදු කරමින් ලෝකයට මනුෂ්‍යත්වය සහ ආදරය බෙදන ජීවමාන බුදුවරු ලෙස සළකන ලාමාවරුන්ගේ පරපුරට එක්වීම ටිබෙටයේ උත්තරීතර මෙන්ම වාසනාවන්ත දෙයක් ලෙස සළකනු ලබනවා.
වයස අවුරුදු 6දී අරඹන ආශ්‍රම ජීවිතය තුළ ටිබෙටයේ කලාව, සංස්කෘතිය, භාෂාව, වෛද්‍ය වෘත්තිය,බෞද්ධ දර්ශනය හා තර්ක ශාස්ත්‍රය ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන් ලෙස ඉගෙන ගැනීමට උන්වහන්සේ ට සිදුවෙනවා. ඒ වගේම සංගීතය, නාට්‍යකරණය, ග්‍රන්ථ රචනා කිරීම, කාව්‍ය රචනය මෙන්ම නක්ෂත්‍රය පිළිබඳව ද හදාරන ට්යෙන්සින් ග්යත්සෝ හිමියන් වයස අවුරුදු 23දි ආශ්‍රම අධ්‍යාපනය අවසන් කරන්නේ ගෞරව උපාධියක් ද සහිතවයි. එය “ලරම්පා” නමින් හඳුන්වන අතර එය ආචාර්ය උපාධියකට සමාන අධ්‍යාපන තත්වයක් ලෙස සැළකෙනවා.
පෙනෙන තෙක් මානයක ගස්වැල් වනාන්තරවලින් ගහණව පැවති ටිබෙටයට පාරවල් තනා දීමේ මුවාවෙන් ඇතුළු වී ඒ සකස් කළ මාවත් දිගේම යුද්ධ ටැංකි ගෙන එමින් චීනයේ මා – ඕ- සේදොං සිදු කළ ආක්‍රමණයත් සමඟ ටිබෙටයේ අනාගතය 14 වැනි දලයි ලාමා හිමියන් මත පැවරෙනවා. ඒ 1954 වර්ෂයයි. චීනයේ බෙයිජිං නුවරට ගිය දලයි ලාමා හිමියන් එවකට චීනය පාලනය කළ මා – ඕ- සේදොං ප්‍රමුඛ චීන පාලකයන් හමු වී සාම සාකච්ඡා සඳහා අවස්ථාව ලබා ගන්නවා. නමුත් චීන සමූහාණ්ඩුව ඉදිරිපත් කළ යෝජනා හා අණ පනත් සමග එකඟ වීමට නොහැකි බැවින් මා – ඕ- සේදොං ගේ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට දලයි ලාමා හිමියන්ට සිදු වෙනවා.
මෙහි ප්‍රතිඵලයක් විදියට දිගින් දිගටම ටිබෙටයට සහ ටිබෙට් භික්ෂූන් භික්ෂුණීන් වහන්සේලාට එල්ල වන තාඩන පීඩන හා දලයි ලාමා හිමියන්ට රටින් පිටුවහල් වන ලෙස සිදු කෙරුණූ බල කිරීම් හමුවේ සිය උපන් බිම හැර දමා යාමට උන්වහන්සේට සිදු වන්නේ අවියට පිළිතුර අවියෙන් නොව මෛත්‍රියෙන් ම ලබා දිය යුතු බවට වූ තම ඉගැන්වීම්වල ක්‍රියාවෙන් ම පිහිටමින්.
ඒ 1959 වසරයි. චීන හමුදා චීන පාලනයට එරෙහි වූ ටිබෙට් ජාතිකයන් මත සිය අණසක කෲර ලෙස පතුරද්දි ලෝකයක් එදෙස බලා සිටින කාල වකවානුවක දිවි බේරා ගැනීම සඳහා ටිබෙට් වැසියන් සිය උපන් බිම හැරදමා පලා යනවා. ටිබෙටයෙන් පිටවන දලයි ලාමා හිමියන්ව ඉන්දියාව විසින් මහත් භක්ත්‍යාදරයෙන් පිළිගනු ලබනවා. එතැන් සිට උන්වහන්සේ ගේ නවාතැන බවට පත් වන්නේ ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ ධර්මසාලා ප්‍රදේශයයි.
යුරෝපයේ අධ්‍යාත්මික නායක වතිකානුවේ පාප් වහන්සේට සමාන තත්වයක් ටිබෙටයේ දලයි ලාමා හිමියන්ට පවතිනවා. ඒ වගේම අනෙකුත් ලාමාවරු කාදිනල්වරුන්ට සමාන වුණත් එකම වෙනස වන්නේ ඔවුන්ට කිසිදු දිනක දලයි ලාමාවරයෙක් විය නොහැකි වීමයි.
1963 දී “ටිබෙටයෙන් බැහැර තිබ්බත වාසීන්ගේ ප්‍රඥප්තිය” (The Charter of Tibetans in Exile) ලෙසින් දලයි ලාමා හිමියන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ටිබෙටය වෙනුවෙන් සම්පාදනය කරනවා. 1987 දී උන්වහන්සේ ඉදිරිපත් කරන පස් වැදෑරුම් වැඩපිළිවෙල තුළින් ටිබෙට් දේශය නිදහස් කර ගැනීම වෙනුවෙන් අවිහිංසාවාදී සටනක් ගෙන ගිය අතර මුළු මහත් ලෝකයටම සාමයේ පණිවුඩය රැගෙන යන්නට දලයි ලාමා හිමියන්ට හැකි වුණා.ලෝක සාමය, පරිසරයට ආදරය කිරීම හා සොබාදහම රැක ගැනීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් දරන මතය ලොව පුරා සම්මන්ත්‍රණ, වැඩමුළු හා වැඩසටහන් පවත්වමින් සාකච්ඡා කරමින් උන්වහන්සේ තම අධ්‍යාත්මය සමාජයට බෙදා දුන්නා.
“ මිනිසත් අපේ අරමුණ විය යුත්තේ අන්‍යයන්ට උදව් කිරීමයි. එසේ කළ නොහැකි නම් අපට කළ හැකි අවමය වන්නේ ඔවුන්ට හිංසා නොකිරීමයි. “
ටිබෙට් බුදුදහම යනු ථෙරවාදය, මහායානය සහ හින්දු ධර්මයේ සම්මිශ්‍රණයක්. බොහෝ දෙනා දලයි ලාමාගේ අදහස් සමඟ ගැටෙන්නේ මෙම සංකල්ප පිළිබඳව තිබෙන නොදැනුවත්කම නිසායි. කිසිම හේතුවක් නිසාවත් බලහත්කාරයෙන් ආගම ප්‍රචාරය නොකරන දලයි ලාමා හිමියන් ටිබෙට් බුදු දහම අදහන්නන්ට පමණක් නොවෙයි අන්‍යාගමිකයන්ට ද සිය දැනුම බෙදා දෙනවා. මනස මූලික කරගත් ධර්මයක් ලෙස බුදු දහම හඳුන්වන උන්වහන්සේ අන්‍යාගමිකයන්ට දේශනා කරන්නේ එදිනෙදා ජීවිතයට අවශ්‍යය සරල ජීවන රටාවක් පිළිබඳවයි.
“ බෞද්ධයෙක් වෙන්න උත්සාහ නොකරන්න. මේ ලෝකයට බෞද්ධයන්ගේ හිඟයක් නැහැ. කරුණාවන්ත වීමට නිතරම උත්සාහ කරන්න. මොකද ලෝකයට කරුණාව කියන ගුණාංගය ඉතාම අවශ්‍යයයි.”
දලයි ලාමා හිමියන්ගේ ඉගැන්වීම් අතර සිත් ගත් කාරණා රාශියක් තිබෙනවා. පුද්ගලයෙක් අධ්‍යාත්මික ගුණය මුලින්ම තමා තුළ ඇති කර ගත යුතු අතර ඉන් පසුව තමන්ගේ පවුලේ අය තුළ ඇති කිරිම මගින් බුදු දහමේ දියුණුව සළසා ගත හැකි බව උන්වහන්සේ පවසනවා.
ටිබෙට් කියන්නේ දලයි ලාමාගේ රට. එය හරියට පාප් වහන්සේගේ වතිකානය හා සමානයි. දලයි ලාමා හිමියන් විසින් පත් කළ අගමැති සහ ඇමති මණ්ඩලයක් මගින් තමයි චීන ආක්‍රමණවලට පෙර ටිබෙටය පාලනය වුණේ. කෙසේ වෙතත් 1959දි තමන්ගේ රට අතහැර යාමට සිදු වුණ මේ අසාමාන්‍ය මනුෂ්‍යත්වයක් හිමි දලයි ලාමාවරයා 2011 වසරේ මාර්තුවේදී ටිබෙටයේ දේශපාලන නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරනවා. එසේම ටිබෙට් බුදු දහමේ සංස්කෘතිය තමන්ගේ මරණයත් සමඟම අවසන් විය යුතු බවට උන්වහන්සේ යෝජනා කරනවා. ටිබෙට් වැසියන් ලෝකයේ කොතැනක සිටියත් දලයි ලාමාවරයෙක් උපත ලබන්නේ ටිබෙටයේමයි. මේ නිසා චීන ග්‍රහණයේ පවතින ටිබෙට් රාජ්‍යයක පැරණි චාරිත්‍ර අනුව නිවැරදි දලයි ලාමාවරයෙක් පත් වෙතැයි සිතිය නොහැකියි. මේ හේතුවෙන් අනාගතයේදී චීනය අතින් විකෘති විය හැකි ටිබෙට් දර්ශනය තමා සමඟම අවසන් වීම දැකීම තම අදහස බව උන්වහන්සේ පවසනවා.
“මගේ ධර්මය හරිම සරලයි. මා අදහන ධර්මය වන්නේ කාරුණික බවයි.”
දලයි ලාමා හිමියන්ගේ ඡායාරූපයක් රැගෙන යාම පවා චීනය තුළ තහනම් වන නමුත් උන්වහන්සේ සෑම දිනකම ටිබෙට් වැසියන් ට මෙන්ම චීන වැසියන්ට ද ආශිර්වාද කරනු ලබනවා. එතුමන්ගේ ධර්මය කෙතරම් සුන්දරද කිවහොත් ඒ උතුම් මනසින් පවසන හා වෑහෙන කරුණාවට හොදම නිදසුන වන්නේ උන්වහන්සේ ටිබෙට් වැසියන්ට ලබා දෙන පණිවුඩයයි. එනම් ” ඔබට බුදු දහම ඉගෙන ගැනීමට ඇත්තේ චීන වැසියන්ගෙන් වුවද එය ඉගෙනීම නතර නොකරන්න” යැයි දලයි ලාමා හිමියන් ටිබෙට් වැසියන්ට පවසනවා.
“ඔබේ ජීවිතය සැබෑ ලෙසම ඛේදවාචකයන්ට මුහුණ දෙනකොට ජීවිතය ඔබට තෝරා ගැනීම් දෙකක් ලබා දෙනවා. පළමුවැන්න බලාපොරොත්තු අතහැර ගනිමින් තමන්ගේ මුළු ආත්මයම විනාශය කරා ගෙන යාමයි. දෙවැන්න අභියෝගය භාර ගනිමින් ඊට මුහුණ දීමට ඔබ තුළ ඇති ශක්තිය උරගා බැලීමයි. ”
පරිසරය,ආදරය, ලිංගිකත්වය, ගබ්සාව, ස්ත්‍රීවාදය, නිර්මාංශ වීම වැනි මාතෘකා මෙන්ම විද්‍යාව කලාව පිළිබඳව ද දලයි ලාමා හිමියන්ගේ අදහස් ඉතාම සිත් ගන්නාසුළු වීම විශේෂත්වයක්. කෘති 100 ට අධික ප්‍රමාණයක් රචනා කර ඇති දලයි ලාමා හිමියන් 1989 දී ලෝක සාමය වෙනුවෙන් ගෙන ගිය අවිහිංසාවාදී ප්‍රතිපත්තිය හේතුවෙන් නොබෙල් සාම ත්‍යාගය ද, 1969 දී පිලිපීනයේ රමෝන් මැග්සෙයිසේ සම්මානය ද, ඇතුළුව සම්මාන 150 ට අධික ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.
“සියලු බෙදීම්වලට මත්තෙන් අපි මනුෂ්‍යයෝ වීමු….”
ආරක්ෂාව හා විදෙස් කටයුතු චීනයට පාලනය කර ටිබෙට් වැසියන්ට අනෙක් සියලු බලතල සමඟ ස්වෛරී පාලනයක් ලබා දෙන ලෙස දලයි ලාමා හිමියන්ගේ ඉල්ලීම වුවත් චීනය එයට එකඟ වූයේ නැහැ. චීන කොමියුනිස්ට් පාලනය හමුවේ තර්ජනයට ලක්වන ටිබෙට් බුදු දහම සහ ජන ජීවිතය වෙනුවෙන් කතා කිරීමට චීන විරෝධී රටවල් එක් වුණත් බොහෝ රටවල් මුනිවත රකින්නේ චීනය සතු දැවැන්ත ආර්ථික ශක්තිය හේතුවෙන් බව කාටත් තේරෙන ප්‍රසිද්ධ රහසක්.
ලෝකයම දුක සතුට මැද ජීවිතය ඉදිරියට ගෙන යන කාල සමයක අපි හැම කෙනෙකුටම අත්‍යවශ්‍යය දෙයක් වන ධනාත්මකව ජීවිතය දෙස බැලීමේ කලාව ටිබෙට් බුදු දහම තුළින් ලොවටම බෙදා දෙන දලයි ලාමා හිමියන්ගේ 85 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. තමන් වසර 113ක් ජීවත් වීමට බලාපොරොත්තු වන බව පවසන උන්වහන්සේ මොලොවින් සමුගැනීමට පෙර යළිත් වරක් ටිබෙට් දේශය දැකබලා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා
“ලෝකය වෙනස් කිරීමට තරම් ඔබ කුඩා වැඩියි කියලා ඔබට හිතෙනවා නම් මදුරුවෙකු සමඟ නිදා ගැනීමට උත්සාහ කර බලන්න.”
ඉතාම කුඩා වයසකදී දෛවය විසින් නියම කළ භාරදූර කාර්යයකට කැප වුණ ට්යෙන්සින් ග්යත්සෝ දලයි ලාමා හිමියන් 1959න් පසු සිය මව්බිමට පැමිණ නැහැ. නමුත් තමන්ගගේ දේශයේ වැසියන් වෙනුවෙන් ලොව පුරා සංචාරය කරමින් සිය දර්ශනය ප්‍රචලිත කරවීමට උන්වහන්සේ ගන්නා උත්සාහය සහ ඒකාධිපති චීනයේ ද්වේශය නම් යක්ෂයාට මෛත්‍රියේ දෑත දිගු කරන ටිබෙට් වැසියන්ගේ අධ්‍යාත්මික නායකයා ගේ අසිරිමත් ජීවිතය සෑම මනුෂ්‍යයෙක්ම කියවීම වැදගත් බව මතක් කළ යුතුයි.
“ ඉවසීම ප්‍රගුණ කිරීමට ඔබට අවැසි නම් ඔබේ සතුරා තරම් හොඳ ගුරුවරයෙක් තවත් නැත . ”
දලයි ලාමා හිමියන්ගේ කරුණා ගුණය මනාව පෙන්නුම් කරන පුංචි කතාවකින් ලියමන අවසන් කරනවා.
වරක් කෙනෙක් දලයි ලාමා හිමියන්ගෙන් “ඔබ වහන්සේට මා – ඕ- සේදොං ගැන මොකද හිතෙන්නේ?” කියලා විමසනවා. ඒ මොහොතේ මද සිනාවක් මුවට නංවමින් මේ සොඳුරු මුණිවරයා සිය අත්දෙක එකට එකතු කරමින් මෙහෙම කියනවා.
“ එතුමාට මම අදටත් ගරු කරනවා. එතුමා තමයි මගේ ගුරුතුමා. ඒ වගේම එතුමා පන්සල් ගිනි තියලා හැමදෙයක්ම විනාශ කරපු විප්ලවවාදියෙක්. එතුමා මේ තරම් දේවල් කරලත් මට එතුමා ගැන තරහක් නැහැ. එතුමා මගේ මෛත්‍රිය, ඉවසීම කොයිතරම්ද කියලා දැන ගන්න මට උදව් කරපු මගේ ගුරුවරයා..“
මෙහෙම හිතෙන්න තරම් නිවීමක් තියෙන , තමන්ට අයිති නැති රටක තමන්ගේම ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වන බව දැන දැනත් සතුරා දෙසට මෛත්‍රියම පතුරන දලයි ලාමා හිමියන්ගේ ජීවිතය විස්මිත ගුණාංගවලින් පිරී පැවතුණක්. සියල්ල අවසානයේ හැර යාමට සිදුවන මේ ජීවිතයේ පණ නළ රැඳී තිබෙනතුරු මිනිසුන් නොමිනිසුන් වී ක්‍රියා කරන සංකීර්ණ ජීවන රටාවක් තුළ අනෙකා ද නිවමින් තමා නිවෙන ආකාරය ඉගෙන ගැනීමට නම් දලයි ලාමා චරිතය අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වනවා.
“මේ ලෝකයට පූජා ස්ථානවල කිසිදු අවශ්‍යතාවක් නැහැ. සංකීර්ණ සහගත ආගම් ද අවශ්‍යය නැහැ. මගේ හදවත සහ මනස මගේ දෙවොලයි. කාරුණිකත්වය මගේ දර්ශනයයි.”
මේ උදාවන 85 වන උපන් දිනය දලයි ලාමා හිමියන්ට නිදුක් නිරෝගී වූ ද ලෝකය නිවමින් නිවෙන ගමන තුළ තව තවත් ගමන් කරන්නට හැකි වේවායි පැතීම සිය දේශය හා උරුමය අහිමි වූ ටිබෙට් වැසියන් වෙනුවෙන් බෞද්ධ අප ද ප්‍රාර්ථනා කළ යුතු වෙනවා.
ලොවට සාමය ගෙනෙන ලාමා.. ඒ තමයි දලයි ලාමා..
ඔබවහන්සේට සුබ උපන්දිනයක් වේවා!!!