අනුන් සිතට දුක් නොම වී කල් යන්න.. මෙත් සිත් වඩා සුබ පැතුමින් සරසන්න
අන්‍යයන්ට දුක් නොවී සැප ඇති වී යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වී අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රි සිතක ස්වභාවයයි. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍රමයකින් කිවුවොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධ්‍යානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවෙකි.
අන්‍යයන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඊර්ෂ්‍යාව උත්පත්තියෙන් ම පිහිටා තිබෙන්නා වූ මේ සත්ත්වයෝ ස්වභාවයෙන් ම අනුන්ගේ යහපතට නො කැමැත්තෝ ය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇති කර ගැනීම පහසු නො වේ. තමන්ගේ අඹුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේ ය. එය මෛත්‍රිය නොව මෛත්‍රියේ මුහුණුවර ඇති රාගය ය. එය මෛත්‍රියට සතුරු ධර්මයෙකි. වැඩිය යුත්තක් නො ව දුරු කළ යුත්තකි. “අපේ කෙනක් අපට හොඳ කෙනක්” යන ඇල්ම වූ හිතවත් බව රාගය ය. අල්පමාත්‍ර ඇල්මකුදු නැති ව අනුන්ගේ යහපත කැමති බව ම සැබෑ මෛත්‍රිය ය. මෛත්‍රිය යි වරදවා ගෙන තමාගේ අඹු දරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නො යනු. සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැති ව “සත්ත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා” යි කොතෙක් කීව්ත සිතුවත් එයින් ඵලයක් නො දැකිය හැකිය. මෛත්‍රිය වනාහි වඩන තැනැත්තා ය, මෙත් කරනු ලබන සත්ත්වයෝ ය, යන දෙපක්ෂයට ම ලැබෙන ඵල ඇති භාවනාවෙකි. දෙපක්ෂයට ම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියෙනි. සත්‍ය වූ මෛත්‍රිය වැඩිය යුතු සැටි:
“මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බ භූතේසු
මානසං භාවයේ අපරිමාණං”
යනුවෙන් මෛත්‍රී සූත්‍රයෙහි වදාරා තිබේ. “දරුවාගේ යහපත පිණිස තමාගේ ජීවිතය වුව ද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්ත්වයන් කෙරෙහි පැවැත්විය යුතු බව එයින් දක්වන ලදි. එක දරුවකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන් ම ඇති අවංක හිතවත් බවෙකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩතහොත් එයට ලක් වන සත්ත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලය ය. “සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා”යි කීමෙන් හා සිතීමෙන් අන්‍යයන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන් ම එයින් අන්‍යයන්ට සුවයක් ලැබිය යුතු ම ය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරත හොත් එයින් අන්‍යයන්ට සුවයක් ලැබේ. බොහෝ සතුන් ලක් කොට කරන මෛත්‍රියෙන් ඒ සත්ත්වයනට ලැබෙන සුවය අත්‍යල්ප බැවින් එය නො දත හැකි ය. එක් පුද්ගලයකුට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් ඒ පුද්ගලයාට ප්‍රකට වන තරමට සුවයක් ලැබේ. හොඳට ම ප්‍රකට ව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ට ය. යම් කිසි රෝගියකුට වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් එයින් ඔහුට ගුණ ලැබේ. සමහර රෝගියෝ එයින් ම සුව වෙති. එක් සත්ත්වයකුට මෙත් වැඩූ කල්හි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්ත්වයන්ට මෙත් කිරීමෙන් ද මෛත්‍රී චිත්ත ශක්තියේ සැටියට මඳ වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතු ය. එය එසේ ම පිළිගනෙ සත්ත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතු ය.
මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝ ය. ඒවායින් එක් වචනයක් හෝ කීපයක් හෝ බොහෝ ගණනක් හෝ ගෙන තමාගේ කැමැත්තේ සැටියට මෙත් වැඩීම කළ හැකිය. එහෙත් තමාට නො තේරෙන වචන එයට සුදුසු නැත.
වෛර නැත්තෝ වෙත් වා!
දොම්නස් නැත්තෝ වෙත් වා!
නිදුක් වෙත් වා!
සුවපත් වෙත් වා!
යන වචනවලින් මෙහි භාවනා ක්‍රමය දක්වනු ලැබේ. පියදාස නමැත්තා හට මෙත් කරනවා නම් “පියදාස වෛර නැත්තේ වේවා. දොම්නස් නැත්තේ වේවා. නිදුක් වේවා. සුවපත් වේවා” යි මෙත් කරනු. “පියදාස වෛර නැත්තේ වේවා” යන්නෙන් අදහස් කළ යුත්තේ අන්‍යයන් නිසා පියදාසගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද, පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද නැති වී, අලුත් වෛර ද ඇති නො වී පියදාස සම්පූර්ණයෙන් වෛරයන් ගෙන් මිදුනෙක් වේවා කියා ය.
පුද්ගලයකුගේ සිත්හි අන්‍යයන් ගැන වෛර ඇති නම් ඒ අය දකින සිහි වන අවස්ථාවල ඔහුට ඇති වන්නේ දොම්නසකි. නො සතුටකි. එසේ ම ඔහුට වෛර කරන අන්‍යයන් නිසා ද ඔහුට ඇති වන්නේ දොම්නස් ය. “ඔහු දොම්නස් නැත්තේ වේවා” යනුවෙන් අදහස් කළ යුත්තේ තමාගේ හා අන්‍යයන්ගේ වෛර නිසා ඇති විය හැකි වූ ද අන් කරුණු නිසා ඇති විය හැකි වූ ද දොම්නස්වලින් මිදී හෙතෙම සතුටින් වාසය කරන්නෙක් වේවා කියා ය.
සමූහයකට මෙත් කිරීමේ දී වෛර නැත්තෝ වෙත් වා යනුනේ අදහස් කරනුයේ ඒ සමූහයට අයත් එක් එක් පුද්ගලයකුගේ සිත්හි අන්‍යයන් ගැන ඇති වූ ද ඇති වන්නා වූ ද ඒ එක් එක් අයකු ගැන අන්‍යයන්ගේ සිත්වල ඇති වූ ද ඇති වන්නා වූ ද වෛරවලින් ඒ සෑම දෙනාම මිදෙත් වා කියා ය.
මෙසේ මෙත් පැතිරවීම සඳහා භාවිත කරන වචන වල වගන්තිවල අර්ථය හොඳින් තේරුම් ගෙන සිය බසින් ම භාවනා කළ යුතු ය. මේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන් ම පහසුවෙන් කළ හැකි භාවනාවෙකි. එය කරන කල්හි ද්වේෂයේ හා නො ඉවසීමේ ද වෛරයේ ද ආදීනව හා මෛත්‍රියෙහි අනුසස් ද සලකා පළමු කොට තමාට ම මෛත්‍රිය කරගත යුතු ය. සෑම දෙන ම තමන්ගේ සැපයට තමන්ගේ යහපතට කැමතියන් වන බැවින් පහසුවෙන් තමාට මෛත්‍රිය කරගත හැකිය.
“මම වෛර නැත්තේ වෙම්වා!
දොම්නස් නැත්තේ වෙම් වා!
නිදුක් වෙම්වා!
සුවපත් වෙම්වා!” යි
කීප වාරයක් තමාට ම මෛත්‍රිය කර ගෙන, තමා මෙන් ම අන්‍යයන් ද සැපයට කැමති බව හා දුකට නො කැමති බව ද තමා කෙරෙහි මෙන් ම අන්‍ය සත්ත්වයන් කෙරෙහි ද මෛත්‍රී පතුරුවන්නට පටන් ගත යුතු ය. ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුව ඇතිව මෙත් වඩන්නවුන් විසින් පටන් ගැන්මේ දී හැමට ම මෙත් වඩන්නට නො ගොස් පහසුවෙන් මෛත්‍රිය කළ හැකලි එක් යහපත් පුද්ගලයකු තෝරා ගෙන ඒ තැනැත්තාට ම මෛත්‍රිය කළ යුතු ය. සාමාන්‍යයෙන් මෙත් වඩන්නවුන් විසින් ද එක්වරට ම සැම සතුන්ට මෙත් කරන්නට නො ගොස් සත්ත්වයන් කොටස් වලට බෙදා ගෙන මෙත් වැඩිය යුතුය.
සහෝදරත්වයෙන් එක්වෙමු! ©️ Buddhist Brotherhood