Temples of Sri Lanka

බැතියෙන් පුදමු බක් පෝදා අසිරි සඳ

අද උතුම් වූ බක් පෝදායි..🪷🪷🪷

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරී ඉතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත.

හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් පරිවාශිත වූ මනහර පියකරු පියුමෙන් ගැවසීගෙත් විල් පෙළින් සමුපේත වූ, බක් මාසය සත් සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.

වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබා දෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මසකි.

මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවණක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දනා නිවීසැනහී ගියේත් බක් මාසයේ ය.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර – මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ.

උනවහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපති කම් කරමින් සිටියේ ය.

ඔහු ගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්න‍යෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නො දී චූලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ මේ ගමන‍ට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳ වූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි.

බුදුරජාණන් වහන්සේ අද වන් වූ බක් ප‍සළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරි පා කමල් වැන්දාහ.

ලෝක නාථයන් වහන්සේ චූලෝදර – මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති‍ දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ.

පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසනැ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහි‍ටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ. මෙහිදි සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රජ තෙමේත් කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේ ය.

බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනක දී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ‍ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

මේ අනුව ,බක් පුර පසළොස්වක පොහොය දිනට ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී ඇති බැව් පෙනේ..

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වීම, චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කිරීම,එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබීම,වැනි දේ මේ පසලොස්වක පොහෝ දිනට අදාලව වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.

පොහොය දිනය වෙනුවෙන් අද උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙයි.

සම්බුදු පියාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූ මේ පින්බර බක් පොහෝ දිනයේ අපිත් සැදැහැ සිතින් පෙහෙවස් සමාදන් වෙමු. සිත, කය, වචනය සංවර කර ගැනීමට මහන්සි වෙමු. දුර්ලභව ලද මිනිසත් දිවියේ පින් රැස්කර ගැනුමට උත්සාහවත් වෙමු.

ඒ රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන්ගේ උපකාරයෙන් අප සියලු දෙනා ම මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කරන වාසනාවන්තයෝ වන්නට වෙර දරමු…

තෙරුවන් සරණයි!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X