Temples of Sri Lanka

භාරත මාතාවනි, ඔබට ජයග්‍රාහී සුව සපිරි නිදහස් සැමරුමක්

ප්‍රාග් බෞද්ධ යුගයේ පවා මෙරට සහ භාරතය අතර දියුණු වෙළෙඳාම් ක්‍රමවේදයන් පැවැතුණ බවට සාක්ෂි ඇතත්, මුල්වරට පිළිගත හැකි සාක්ෂි සාධක හමුවේ ශ්‍රී ලංකාවේ සුපැහැදිලි භාරත සම්බන්ධතාවක් පිළිබඳ කියැවෙන්නේ ගෞතම බුදු හිමියන්ගේ පළමු ලංකාගමනයත් සමගිනි.

මහියංගණයේ යක්ෂ ගෝත්‍රික පිරිස් වෙනුවෙන් දහම් දෙසීමට බුදු හිමියන් පළමුවර වැඩමවූවා යැයි පොත පත තොරතුරු ගෙනෙයි. දෙවැනිවර චූලෝදර මහෝදර නා සොයුරන්ගේ ආරවුල විසඳීම සඳහා ද නාගදීපය වෙත ද වැඩම කළ බව වංශකතා සාහිත්‍ය සාක්ෂි දරයි.

තෙවන ලංකාගමනය මුල්වරට බුදු හිමියන් හට සිදුකෙරෙන ඇරයුමක් මත වැඩමවන අවස්ථාව වන අතර මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් තෙවන වරට භාරතයෙන් මෙරටට වැඩමවන බුදු හිමියන් එම අවස්ථාවේ කැලණිය, ශ්‍රී පාදස්ථානය ප්‍රමුඛ ස්ථානයන් රැසකට මෙරටදී වැඩම කළ බව ද වංශකතාවන්හි මෙන්ම බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වේ.

සම්බුද්ධ පිරිනිවනට පෙරාතුව ද උන්වහන්සේ, ලක්දිවට සේන්දු වෙමින් සිටි විජය කුමරුන් ඇතුළු පිරිසට සක් දෙවිඳුන් හරහා ආශිර්වාද පැතූ බව ද මුලාශ්‍රගත ඉතිහාසයේ සඳහන් වන අතර එම යුගයේ ධර්මද්වීපය ලෙස හැඳින්වීමට තරම් මෙරට ශිෂ්ට සම්පන්න සභ්‍යත්වයට බුදු දහමේ මුල් ආභාෂ ලැබී ඇත. එනිසා විජයාවතරණයටත් පෙර සිටම භාරතය සහ මෙරට අතර පැවතුණු ශක්තිමත් බන්ධනය බන්ධනය එකලදී ම බුදු දහමෙන් ද පෝෂණය ලබා ඇත.

කෙසේ නමුදු භාරතය සහ ලක්දිව අතර ප්‍රකටම සබැඳියාව මෙන්ම මුල්වරට භාරතයෙන් අප ලද වටිනාම දායාදය ද සනිටුහන් කෙරෙනුයේ දෙවන පෑතිස් රජ දවසේ දී ය. භාරතයේ අභිනන්දනීය චක්‍රවර්තී අධිරාජයා වූ අශෝක රජු සමගින් පෑනේ මිතුරු බැඳීමක් පවත්වාගෙන යෑමට තරම් ලක්දිව රජු වූ තිස්ස රජු සමතෙක් වී ඇති අතරම, එම මිත්‍රත්වයේ සංකේතයක් ලෙස එරට අබිසෙස් ක්‍රමවේදයෙන්ම පංචමයක් වූ රාජ කකුධ භාණ්ඩයන් ද සමග තිස්ස රජු, ‘දෙවනප්‍රිය’ යන අශෝක රජුගේ ගෞරව නාමයක් ද සහිතව විධිමත් දෙවන අභිෂේකය ලද බව මහාවංශයේ පවා සඳහන් ය.

එවැනි ප්‍රබල මිතුදමක ආශිර්වාදයෙන් අශෝක අධිරාජයා තම පුත්‍ර රත්නය වූ මහා මහින්ද තෙරුන් වහන්සේම ධූත මෙහෙවරෙහි ලංකාව වෙනුවෙන් වරණය කරන අතරම එනිසාම මහින්දාගමනයත් සමග ශ්‍රී ලංකාව එදාමෙදාතුර ඉන්දියාවෙන් ලද විසල්ම මෙන්ම තුන්කාලීනව වටිනාම ත්‍යාගයද දිනුවේය. එනම් නිර්මල වූ බුදු දහම ය.

1947 අගෝස්තු 15 වන දින බ්‍රිතාන්‍යය පාලනයෙන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, නිදහස් දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයකි. ඉන්දීය ජාතික කොන්ග්‍රසය මගින් ගෙන ගිය අවිහිංසාවාදී විරෝධතා සහ මහජන කෝලහාල ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.

නිදහසට සමගාමීව බ්‍රිතාන්‍යය – ඉන්දීය අධිරාජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන ඉන්දියාව සහ පාකිස්තානය වශයෙන් බෙදීමකට ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට ද පත්විය.

මෙම ජාතික නිවාඩු දිනයේ පොදු සහ පෞද්ගලික ගොඩනැගිලි වල ජාතික ධජය සුලභ දසුනක් ලෙස දෘශ්‍යමානය.

ධජය එසවීම, පෙළපාළි, දේශානුරාගී ගී සහ ජාතික ගීය ගැයීම , ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දියාවේ ජනාධිපතිවරයා විසින් කථා පැවැත්වීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික කොඩිය ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලැබීමදක්නට ලැබෙන විශේෂත්වයන් වේ…

මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත ඇසීමෙන් සහ තම නෑදෑ හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි.

ඉන්දියාවේ නිදහසේ කතාව හෙවත් නිදහසේ ප්‍රීතිය සහ බෙදීමේ වේදනාව 2017 අගෝස්තු 20 ඉන්දියාවට ලඟා වුණේ ලෝක සිතියමට තවත් රාජ්‍යයක් එක් කරමින්

1947 අවුරුද්දේ ලන්ඩනයේ යටත් විජිත ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉන්දීය උප මහාද්වීපයේ සිතියම බෙදා ඒ මත අලුතින් අඳින ලද රේඛා කීපය වසර හැත්තෑවක් අවෑමෙන් ද නොනිවෙන යුද ගින්නක් බවට පත්වනු ඇතැයි එදා එම කාර්යයට දායක වූ කිසිවෙකුත් නොසිතන්නට ඇත.

උප මහාද්වීපයේ විශාල රාජ්‍යයන් තුන වන ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළත් මහා දේශය 1947 තෙක් බ්‍රිතාන්‍යය සතු තනි පාලනයකට යටත් විශාලතම යටත් විජිතය විය.

එහෙත් එම මහා දේශය අද ලෝක සිතියමේ බෙදී ගිය හෝ ‘බෙදා වෙන් කරන ලද’ රාජ්‍යයන් තුනක් ලෙස දැක්වෙයි.

සෑම වසරකම අගෝස්තු මාසයේ 14 වෙනිදා පකිස්තානය රාජ්‍යයක් වශයෙන් සිය ජන්ම සංවත්සරය සමරද්දී එයින් දිනකට පසුව අගෝස්තු 15 වෙනිදා ඉන්දියාව සිය නිදහස් දිනය සමරයි.

ලෝකයේ ලොකු ම යටත් විජිතය යටත් විජිතකරණයේ දී තමන් ලද දැවැන්ත ම ජයග්‍රහණය ඉන්දියාව යටත් කර ගැනීම බව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයේ නිසැක විශ්වාසය වී තිබුණි.

බ්‍රිතාන්‍ය කිරුළේ මුදුන් මිණ ලෙස සලකන ලද්දේ ඉන්දියාවයි.

එහි තේරුම මහා බ්‍රිතාන්‍යයට සිය යටත් විජිත අතරින් වැදගත්ම විජිතය වූයේ ඉන්දියාවය යන්නයි.

එම යටත් විජිත පාලනයෙන් මිදීමට සංවිධානය වීමේ ඉන්දියානු ඉතිහාසය දහනව වැනි සියවසේ මැද භාගය තෙක් දිව යයි.

ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් මිදීමේ එම අරගලය පෙරදිග ලෝකයේ පමණක් නොව ලොව වෙනත් කලාපයන්හි ද නිදහස් සටනේ ගිනි පුලිඟු දැල්වීමට හේතු විය.

ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් නිදහස් වීම සඳහා ගෙනගිය අරගලයේ ඓතිහාසික සන්ධිස්ථානය 1885 දී ඉන්දියානු ජාතික කොංග්‍රසය පිහිටුවනු ලැබීමයි.

එය ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියානු සහ අප්‍රිකානු බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් බිහි වූ පළමු නිදහස් සංවිධානය ලෙස ඉතිහාසයට එක්වෙයි.

ජාතික කොංග්‍රසය පිහිටුවනු ලැබීමෙන් අවුරුදු විසි එකකට පසුව 1906 දී සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය බිහි විය.

ඉන්දියාව බෙදී රාජ්‍යයන් තුනක් බවට පත්වීමේ කතාව එරට ජාතික නිදහස් අරගලයේ කතන්දරය තුළම හුයක් මෙන් පෙරට යමින් ඇත.

හින්දු මුස්ලිම් එකමුතුවක්
මුස්ලිම් ලීගය ආරම්භ කරන ලද්දේ ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීම වෙනුවෙන් වූ නමුත් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් අරගලයේ දී මුස්ලිම් නායකයෝ හින්දු සහ සෙසු ජාතික නායකයන් සමඟ එකමුතු අරගලයක නිරත වූහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී අරගලයේ දී හින්දු ජනයා මුස්ලිම් පල්ලි තුළත් මුස්ලිම් ජනයා හින්දු කෝවිල් තුළත් නිදහස උදෙසා එක්ව යාඥා කිරීම අපූරු දසුනක් විය.

මහත්මා ගාන්ධි නායකත්වය දුන් නිදහස් අරගලයේ දී ජවහර්ලාල් නේරු සහ මුස්ලිම් ලීග් නායක මොහොමඩ් අලි ජින්නා ප්‍රමුඛ ජාතික මට්ටමේ හින්දු සහ මුස්ලිම් නායකයෝ නිදහස් සටනේ පෙරමුණ ගත්හ.

නීතිවේදියකු වූ මහත්මා ගාන්ධි 1915 වසරේ දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට ලඟා වූ අතර ඔහුගේ ප්‍රයත්නය වුණේ සමස්ත ඉන්දීය ප්‍රජා සමූහ එක්කර ගත් ජාතික සංවිධානයක් ගොඩනැගීමයි.

ඉදියානු ජාතික කොංග්‍රසය තුළ බහුතරය හින්දූන් වූ නමුත් එය මුස්ලිම් ඇතුළු සියලු වාර්ගික සහ ආගමික ජනකොටස් ලද ,ධනවතුන්ගෙන් පටන් නිර්ධනීන් ද ඇතුළත් විවධ සමාජ පන්තීන් ද, කුලීනයන්ගේ පටන් පීඩිත කුලවලට අයත් ජනතාව ද ඒකරාශී කර ගත් දැවැන්ත ජනතා බලවේගයක් බවට පත් විය.

ගාන්ධිගේ ඉලක්කය වුණේ එම ජාතික බලවේගයේ බලය පාවිච්චි කරමින් ඉන්දියාවට ස්වරාජ්‍යය තත්වය දිනා ගැනීමයි.

ඉන්දියානු මුස්ලිම් ප්‍රජාව සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අදහස 1906 දී මුස්ලිම් ලීගය ආරම්භයේ පටන්ම දැකිය හැකි වූ අතර, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය තුළ උඩ යට යමින් පැවති එම අදහස ජය ගනිමින් ඉන්දියාවෙන් වෙන් වූ ‘මුස්ලිම් රාජ්‍යයක්’ බිහි කර ගැනීම සිය ඉලක්කය බව සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය 1940 දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් කියා සිටියේය.

මේ අනුව සමස්ත ඉන්දියානුවන්ගේ සටන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදීම වුවත් එම අරමුණ අනුව ජාතික නිදහස් සටනට එක්වූ මුස්ලිම් ලීගයට නිදහසත් සමඟ තවත් අභිප්‍රායක් විය.

එනම් ඉන්දියානු මුස්ලිම් ජනයා සඳහා ඉන්දියානු භූමියෙන් භූමියක් ලබා ගැනීමයි.

එම ද්විත්ව අරමුණු මත පෙරට ගිය දිගුකාලීන නිදහස් අරගලයෙන් ඉන්දියාව ජයගත් නමුත් දකුණු ආසියාවේ මහා දේශය නිදහස දිනා ගත්තේ රාජ්‍යයන් දෙකක් හැටියට දෙකඩ වීමෙනි.

ඒ ඉන්දියාව සහ පාකිස්තානයයි.

රටවල් දෙකක්
ඉන්දියානු මුස්ලිම් ප්‍රජාව ඇතුළත් කරමින් බිහි වූ නව රාජ්‍යයට වයඹ දිගින් සහ නැගෙනහිරින් භූමිය වෙන් කරනු ලැබුණි.

ඒ අනුව 1940 දශකයේ අග භාගයේ ලෝක සිතියමට එකතු වූ නව රට වූ පකිස්තානය භෞතික වශයෙන් එකිනෙකින් වෙන්ව පිහිටි භූමීන් දෙකක් එක් කරමින් නිර්මාණය කරන ලද රාජ්‍යයක් විය.

පකිස්තානය සංයුක්ත වූ එම භූමීන් දෙක හඳුන්වන ලද්දේ බටහිර පකිස්තානය සහ නැගෙනහිර පකිස්තානය යනුවෙනි. (නැගෙනහිර පකිස්තානය අද බංග්ලාදේශයයි)

1947 අගෝස්තු 14 වෙනිදා පකිස්තානය නිදහස් රටක් හැටියට ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන්දියානු මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් අලි ජින්නා නිදහස් පකිස්තානයේ පළමු අගමැතිවරයා හැටියට පත් කරනු ලැබුණි.

ඉන්දියානු භූමියේ මුස්ලිම් රාජ්‍යයක් ප්‍රාර්ථනා කළ මුස්ලිම් ප්‍රජාව දශ ලක්ෂ ගණනින් නව පකිස්තාන් රාජ්‍යයේ පදිංචිය බලා ගමන් ආරම්භ කළහ.

ඒ සමඟ පැතිර ගිය වර්ගවාදී සහ ආගම්වාදී ගැටුම විසින් වග කියන ලද ලක්ෂ සංඛ්‍යාත ජීවිත හානිය සහ සමාජ අලාභය ඉන්දියාවට දරාගත නොහැකි විය

යුද්ධ හෝ සාගින්දර නිසා සිදු වූ මිනිස් විතැන්වීම් හැරුණ විට ලෝක ඉතිහාසයේ වාර්තා වූ මහා මිනිස් විතැන් වීම සිදු වන්නේ ඉන්දියාව දෙකඩ කිරීමත් සමගය.

බෙදුම්වාදය සමඟ උත්සන්න වූ ආගමික කැරලි කෝලාහල වලින් පන් ලක්ෂයත් දස ලක්ෂයත් අතර ජනකායකට ඔවුන්ගේ ජීවිත අහිමි වූ අතර එක්කෝටි විසි ලක්ෂයක් පමණ ජනතාව අනාථභාවයට පත් වූහ.

දස දහස් ගණනක් කාන්තාවෝ පැහැර ගනු ලැබීමට ලක් වූහ. රටවල් දෙකක් අතර මාරුවීමේ දී ඇතැම් පවුල් දෙකඩ විය.

ඉන්දියාව බෙදී වෙන්වීමේ කතාන්දරයේ ඛේදජනක පරිච්ඡේදය එම ක්‍රියාවලිය තුළ සිදු වූ මානව ව්‍යසනයයි.

දේශය රටවල් දෙකක් බවට පත්වීමත් සමඟ ඉන්දියාවෙන් පකිස්තානයටත් පකිස්තානයෙන් ඉන්දියාවටත් ගමන් ගත් ජනතාව මුහුණ දුන් සත්‍යය අත්දැකීම් සමුදාය පසුබිම් කර ගත් සාහිත්‍යයක් පවා බිහිව ඇත.

ඇතැමෙක් මහමඟ විඩාවෙන් පිපාසයෙන් මරණයට පත් අතර දෙමව්පියන් අහිමි වූ දරුවෝ සදාකාලික අනාථයන් බවට පත්වූහ.

ජාතීන් දෙකක් සාමාන්‍ය ‘ප්‍රතිවාදීන් නොව’ සදාකාලික සතුරන්ගේ තත්වයට පත් වූ අතර එම විරසකභාවය ක්‍රීඩාව තෙක් සමාජ ජීවිතයේ සියලු පැතිකඩ ආක්‍රමණය කරනු ලැබ ඇත.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අසල්වැසි බංග්ලාදේශයේ දී හෝ ශ්‍රී ලංකාවේ දී මුණගැසී ක්‍රීඩා කළත් ඔවුන්ගේ පොළොවේ මුණ ගැසී ක්‍රීඩා කිරීමේ වරම ඔවුන් සතු නොවේ.

‘එයාර් ඉන්දියා’ සහ ‘පකිස්තාන් ගුවන් සේවයේ’ යානා ලෝකය පුරා සැරිසරන නමුත් නවදිල්ලිය සහ ඉස්ලාමාබාද් අතර ගුවන් ගමන් තහනම්ය.

පසු කාලයෙහි (1971) නැගෙනහිර පකිස්තානය සිය නිදහස් අරගලය ජයගනිමින් බංග්ලාදේශය බිහි කිරීමත් සමඟ ඉන්දියාව බෙදීයාමෙන් බිහි වූ රාජ්‍යයන්ගේ සංඛ්‍යාව තුනක් බවට පත් වූ අතර එක් රටක් එලෙස රාජ්‍යයන් තුනකට බෙදී යාමේ වෘත්තාන්තයත් එරට ජාතික නිදහස් අරගලයේ කතන්දරය තුළම හුයක් මෙන් ඇමිණී පෙරට යමින් තිබුණි.

ශ්‍රී ලංකාවට, ඉන්දියාව සමග ඇත්තේ ඓතිහාසික වූ ශක්තිමත් ලේ බැඳීමකි..ඒ මන්ද යත්,
දේශපාලනික, ආගමික, සංස්කෘතිකමය මෙන්ම තවත් නේකවිධ හේතු සාධක නිසාවෙනි . එය මෙරට විජයාවතරණයටත් පෙර අප්‍රකට ඉතිහාස යුග දක්වාම දිවෙන ඥාතිවර සබැඳියාවකි.

එතැන් පටන් අනුබුදු මිහිඳු හිමියන් බුදු දහමෙන් මෙරට ශිෂ්ටාචාරගත සභ්‍යත්වය පෝෂණය කළ අතරම සිය නැගණිය වූ, එනම් අශෝක අධිරාජයාගේ දෙටු දියණිය වූ සඝමිත් තෙරණින් වහන්සේ ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ නමක් සමග මෙරටට වැඩමවා මෙරට ආරාම කලාව, සිද්ධස්ථාන පිහිටුවීම මෙන්ම ශාසනික ප්‍රතිස්ථාපනය ද සනිටුහන් කළ සේක. එමෙන්ම දුමින්දාගමනය සමග මෙරට බොහෝමයක් වෘත්තීය වපසරීන් පෝෂණය ලද සූ සැටක් ශිල්ප ශ්‍රේණීන් ද භාරතයෙන් මෙරටට තිළිණ වූ අතර අදටත් අපට මාහැඟි නිර්මාණ බීජයන් වන කලා සම්ප්‍රදායන් මෙන්ම සාහිත්‍ය ආඛ්‍යානයන් ද මේ හරහා භාරතයෙන් අප ලද දායාදයන් ය.

විවිධ යුධමය වාතාවරණයන් සමගින් බොහෝ විට දක්ෂිත භාරතයේ නියෝජනයන් මෙරට කිහිපවරක්ම ආක්‍රමණය කළ ද ශිෂ්ටාචාරගත ඉන්දියාව, එනම් උත්තර භාරතය සමග එකල පටන්ම ලක්දිව රාජ්‍යත්වය බොහෝ ශ්‍රේෂ්ඨ ගණුදෙණු පවත්වාගෙන ගියේය. කිත්සිරි මෙවන් රජ දවස ලාංකිකයන්ට මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ අවතංස ශ්‍රී දළඳාවහන්සේ හිමි වන්නේ ද දෙරට අතර පැවැති පාරිශුද්ධ වූ අන්‍යෝන්‍ය සුහදත්වයේ නාමයෙන් ම ය.

විජය කුමරුන්ගේ සිට පසුකාලීන පණ්ඩුවාසදේව, භද්දකච්චායනා රාජ්‍ය ධාතූන් පවා භාරතයෙන් මෙරටට සංක්‍රමණික ප්‍රවිශ්ටයක් ලබන කළ අනුරාධපුර යුගයේ පමණක් නොව පොළොන්නරු යුවයේ සිට මහනුවර, කෝට්ටේ වැනි අවදීන් දක්වාම භාරතය සමග මෙරට රාජ්‍යත්වය ආවාහ විවාහ සබඳකම් පැවැත්වූ බවට ද සාහිත්‍යත්මක මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පවා සාක්ෂි දරන්නේය.

ගෘහ නිර්මාණවේදය, යුධ තාක්ෂණය, චිත්‍ර සහ මූර්ති වැනි කලා මාධ්‍යයන්, වාස්තුවේදය, ජෝතිෂ්‍යය, ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම, වෙළෙඳ අධිකාරි බල පවත්වාගැනීම මෙන්ම පසුකාලීනව කෘෂිකර්මය සහ වාරි තාක්ෂණය සඳහා පවා ශ්‍රී ලංකාව, සහෝදරය භාරතයෙන් යම් යම් පුනරුද ආභාෂයන් ලබා ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් ප්‍රතිමා, කැටයම්, චිත්‍ර සහ මූර්ති වැනි නිර්මාණ කලාව ගත් කළ ගුප්ත, අමරාවතී සහ පල්ලව යන භාරත කලා ගුරුකුලයන්හි නියත ආභාෂයක් ලද බව මෙරට අව්කන පිළිමය, පොළොන්නරු රාජධානී අවශේෂ, ඉසුරුමුණි විහාරය සහ රන්මසු උයන වැනි කැපීපෙනෙන නිර්මාණ නෂ්ටාවශේෂ ඔස්සේ සනාථ වන්නේය.

මේසා විශාලා කාලයක් මුළුල්ලේ ඓතිහාසික ලෙසින් සවිමත් වූ ඉන්දු – ලංකා සහෝදරත්වය යටත් විජිත පරිචයේ දී පවා ලංකාව හා තදින් බැඳී සිටි ආසියානු රාජ්‍යයක් වීය. දේශීය නිදහස් ව්‍යාපාරයට මෙන්ම අධ්‍යාපනික, ශාස්ත්‍රීය සහ දේශපාලනිකව මෙරට හටගත් නවෝදය විෂයෙහි ද බොහෝමයක් ශ්‍රී ලාංකේය ප්‍රාමාණික වියත්හු ඉන්දියානු සහය සමග ශක්තිමත් වූහ.

අවිහිංසාවේ පීතෘවර මහත්මා ගාන්ධිතුමන්ගේ සිට නව භාරත පාලන තන්ත්‍රයේ කැපීපෙනෙන පාලකයන් රැසක්ම මෙරට සමග සම්මුතිගතව, එමෙන්ම විවිධ වූ එකඟතාවන් සහ ගිවිසුම්ප්‍රකාරව අනේකවිධ වූ බාධක අවස්ථාවන්හි මෙරට පාර්ශවයේ සිට ගත්හ. අත්‍යුදාර ජාතික නායකයෙකු වූ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී රජිව් ගාන්ධි මැතිතුමා විසින් 1987 අග භාගයේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ඉන්දු ගිවිසුම ඇති කිරීම නිසා 1919 මැයි 21 වන දින එතුමා කෲර ලෙස ඝාතනය කරනු ලැබීය. 1987 දී ශ්‍රී ලංකාවේ ‘ඉන්දු – ලංකා සාම ගිවිසුම’ ස්ථාපනය වීම මගින් අප රට තුළ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කිරීමට හේතු භාරතයෙන් ලද පන්නරය හේතු වූ බව පෙනේ. එමෙන්ම පළාත් සභා කටයුතු මෙහෙයවීම පවා නිර්මාණය වූයේ මෙමගින් බව අතීතය දෙස හැරී බැලීමේ දී පැහැදිලි ය.

තවද ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රුපියල් බිලියන විසිපහක පමණ මුදලක් ද ඉන්දියානු ආණ්ඩුව විසින් කැපකරමින්, වටිනා හමුදා ජීවිත දහස් ගණනක් ද අහිමි කර ගත් අනුවේදනීය පරිත්‍යාගය අදටත් අපට ප්‍රත්‍යවේක්ෂා කළ හැකිය. වර්තමානයේ පවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යාබධ “අපේගම” සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍ර පිවිසුම පසුකරමින් යනෙන විට භාරත සෙබළුන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරකය දැකීමෙන් පවා අපේ සිතේ උපදිනුයේ ඒ අනුවේදනීය අතීතයේ රුදුරු මතක සටහන් ය. අපගේ මාතෘ භූමියේ ස්වාධිපත්‍ය හා නිදහස වෙනුවෙන් දිවිපිදූ භාරත වීරෝදාර සෙබලුන් අනුස්මරණය වෙනුවෙන් ඉදිකළ එම ස්මාරකයන් ද සදාකල් ජීවමානව පවතිමින් දෙරට අතර වූ රුධිරගත බැඳීමක යටගියාව පසක් කරදෙන්නේය.

1974 වසරේ ජූනි මාසය වන තෙක් ම ඉන්දියාව සතුව තිබූ “කච්චතිවු දූපත” ශ්‍රී ලංකාව වෙත නැවත නෛතිකවම පවරාදෙන ලද්දේ ද තමිල්නාඩු ප්‍රාන්තයෙන් පැනනැගි තද බල විරෝධය පවා නොසලකා හරිමිනි.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම, ත්‍රස්ත චූදිතයන් පුනරුත්ථාපනය කිරීම, කැඩී බිඳීගිය ස්ථානය නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය, පරිහරණය කළ නොහැකි තත්ත්වයේ වූ මහා මාර්ග හා දුම්රිය මාර්ග අළුත්වැඩියාව, නව යටිතල පහසුකම් සහ නිවාස පහසුකම් සැපයීම, ජීවනාධාර ප්‍රදානය යනාදීන් සඳහා මෙලෙසින් භාරතය, ලක්දිවට අනුපමේය සහයෝගයක් ලබා දී ඇත.

දේශපාලනික, සංස්කෘතිකමය සහ ආර්ථික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් වූ ඉතිහාසගත සබැඳියාවන් පිළිබඳ මතකය ද එතුමන් නිරන්තරයෙන් සිහිපත් කිරීමට අමතක නොකරමු.

එනිසා මෙලෙසින් දෙරට අතර පවත්නා සහෝදරත්වයේ බන්ධනය අදින් මතු තවත් සියවස් ගණනාවක් ගතවුණ ද තව තවත් තීව්‍ර වනු විනා අංශුමාත්‍රයකුදු පළඳුවීමක් නොවිය යුතු යැයි ලාංකිකයන් ලෙස අප දැඩිව විශ්වාස කරන අතරම අදට යෙදෙන භාරතීය නිදහස් දිනය වෙනුවෙන් පවා මෙලෙසින් සහෝදරත්වයේ සෙනෙහස ද කැටිකරගත් සුබ පැතුම් සමගින් භාරතීය දේශය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා ගෙන එමු.

භාරතයට නිදහස් සුව සහිත ජයග්‍රාහි අනාවක් වේවා !

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X