Temples of Sri Lanka

එකම නිත්‍යය අනිත්‍යයයි

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් මුළුමහත් ලෝකයටම අලුත් දර්ශනයක් ලැබුණා. අලුත් ප්‍රඥාවක් ලැබුණා.

 

දෙසැටක් මිසදිටු අදහස් වලින් අපවිත්‍ර වී තිබූ භාරත සමාජයට හසරක් නො දැක වල්මත් වෙමින් සිටි භාරත සමාජයට අවිඳු අඳුරෙන් මුලාවී සිරුරට දැඩි සේ දුක් දීමෙන් සිරුරට දැඩි සේ සැප සැලසීමෙන් විමුක්තිය සොයමින් සිටි භාරත සමාජයට මැදුම් පිළිවෙත මත සකස් වූ චක්ඛු කරණී ඤාණ කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යනුවෙන් අවධාරණය කළ පරිදි ඇස පාදන ,ඥානය පහළ කරවන ,අවිඥානය නිර්මාණය කරවන, නිර්මාණයට මඟ කියන උතුම් දහමක් ලැබුණා.

 

 

මායාවෙන් ද සත්‍යයේ චායාවෙන් ද මං මුලා වී සිටි ජනතාවකට නිසි මග පාදා දෙනු ලැබුවේ උතුම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින්.

එදා සමාජය හා අද සමාජය අතර සමානකමක් තිබුණාද..

මේ කාරණා නැණින් නුවණින් ගැඹුරින් විමසීමට හොඳම කාලයයි..

 

 

නූතන සමාජය බෙහෙවින් සංකීර්ණයි. සමාජ සම්මත සාරධර්ම විනාශ වී ගොස් තිබෙන අතරම, අවම මනුෂ්‍යත්වය පවා රැකගෙන ජීවත් වීමට මිනිසාට විශාල සටනක් කිරීමට සිදුව ඇති කාලයක්…

මනුෂ්‍යත්වයේ වටිනාකම තුනී වී යටපත් වී ගිහින් රුපියල රජ වූ යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා.

 

 

මහ පොළොව නුහුලන තරමේ අපරාධ මේ ධර්මද්වීපයන් වාර්තා වන්නේත් ඒ නිසාමයි. සමාජය තුළ රැඳී සිටීමට ජීවත්වීමට නොවෙයි හැකිතාක් වේගයෙන් සමාජයෙන් ඈත් වී සිටීමට හිතෙන තරමටම සමාජ අපරාධ බහුල වෙලා තියෙන යුගයක්…

මේ කිසිවක් කම්පා වීමට හෝ අඬා දොඩා වැළපීමට හෝ හේතුවක් කර නො ගැනීම අප සතු විශාල කාර්යයක්..ගමත් පන්සලත් වැවත් දාගැබත් සංස්කෘතියෙන් පණ පෙවුණු රටක් මේ තරම් වේගයෙන් විනාශය කරා ඇදී ගියේ ඇයි දැයි සිතමින් හූල්ලමින් කටයුතු කරනවාට වඩා මෙවැනි සමාජ ක්‍රමයක් තුළ දැහැමිව ජීවත් වන්නේ කෙසේ දැයි කල්පනා කිරීම අතිශය වටිනවා..

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පින් සිරිබර බුදු මුව කමලින් ගලා ගිය බුදු බණට අනුව හේතුඵල න්‍යායෙන් තොරව ලොව කිසිවක් සිදුවන්නේ නැහැ.

එය එසේ නම්, වර්තමාන සංකීර්ණ අඳුරු සමාජයටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව නුවණින් වටහා ගැනීම බෞද්ධයාගේත් මහඟු වගකීමක්.

 

 

ඇතුළෙත් අවුල් පිටතත් අවුල් මේ අවුල් වලට හේතුව කුමක්ද යන්න බුදුරජාණන් වහන්සේ විමර්ශනය කළා. මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන් සරලම කෙටි පිළිතුර වුණේ “තණ්හා ජටා” යන්නය.. එනම් මේ සියලු අවුල් වලට එකම හේතුව “තණ්හාව” බවයි.

තන්හාව යනු කුමක්දැයි ගැඹුරින් විවරණය කිරීමට මෙය අවස්ථාවක් කර නොගන්නා නිසා ම මිනිස් සිත තුළ අතෘප්තිය පදනම් කරගෙන ඇති වෙන අසීමිත ආශාවන් තණ්හාව වශයෙන් සරල ලෙස හඳුන්වන්නම්….

 

 

මිනිස් සිත පහසුවෙන් තෘප්තිමත් වන්නේ නෑ. ඇස නලවන කන පිනවන දිව රස ගන්වන නාසයට සුවඳ රැගෙන එන කයට දැනෙන සුමුදු ස්පර්ශය හරහා එම පංච කාම සම්පත්තියට මිනිසා අසීමිත ලෙස ආදරය කරනවා.

 

 

ලොව තුල ගැටුම් කළකෝළාහල නිර්මාණය වන්නේ මේ සියල්ල හරහායි. කලබැගෑනි වලින් පිරී ගිය මේ සමාජය නිර්මාණය වූයේ එසේ තණ්හාව තිබූ නිසයි.

 

 

මේ තණ්හාව පරාජය කළ නොහැකි ද ..පාලනය කළ නොහැකි ද ..

 

 

තණ්හාව මුලිනුපුටා දැමීමට නම් රහත් විය යුතුයි. එහෙත් එය පාලනය කිරීමට රහත් වීමට අවශ්‍ය නෑ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ සසර තතු පිළිබඳ නියම අවබෝධයක් ලබා ගැනීම පමණයි.

 

 

මේ ලෝකය දුකින් පිරී ඇති බව බුදු පියාණන් වපියාණන් වහන්සේ වදාළා. එහෙත් එය පිළිගැනීමට අපේ සිත් අපට ඉඩ දෙන්නේ නැහැ. එයට හේතුව විවිධ විචිත්‍ර මායාවන් ගෙන් මේ සමාජයේ වැසී තිබීම නිසායි. ඒ මායාවට රැවටෙනවා. තාවකාලික සුන්දරත්වයට බිලි වෙනවා. අවසානයේ දී ගිනි දැල්ලට පනින පළඟැටියා වගේ විනාශයට පත්වෙනවා.

 

 

ලෝකය දුකින් පිරී තියෙනවා කියන එක තේරුම් ගැනීම අසීරු ද…

 

 

ලෝකයේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් සහිත පුද්ගලයෙකුට තේරුම් ගැනීම නම් අසීරු කාරණයක් නොවේ… ලෝකයෙන් නියත ස්වභාවික ලක්ෂණය වන්නේ අනිත්‍ය ස්වභාවය යි .

 

 

න නිච්චං අනිච්චං..යනුවෙන් දක්වා ඇති පරිදි නිත්‍ය නොවන දෙය අනිත්‍ය යැයි දක්වා තියෙනවා

යදනිච්චං තං දුක්ඛං…යනුවෙන් දක්වා තිබෙන්නේ යමක් අනිත්‍ය නම් එය දුකක් බවට පත්වන බවයි

 

 

ඒ අනුව ලෝකයෙහි දුකට හේතුව කුමක්ද යන්න පැහැදිලියි. ලෝකය දුකින් පිරී පවතින්නේ ලෝකයේ ස්වභාවය අනිත්‍ය නිසයි. ලෝකයේ අනිත්‍යතාවය කොතෙක් ද කියතොත් මට මා වත් අයිති නැහැ .මේ සිරුර මාගේ නම්, මේ සිරුර මට වුවමනා පරිදි පැවතිය යුතුයි.

මම මහලු වීමට කැමති නැහැ. මා දිරාපත් වීමට අකමැතියි. මා අබල දුබල අයෙකු බවට පත් වීමට අකමැතියි. මා රෝගී වීමට අකමැතියි. බලාපොරොත්තු කඩවූ පුද්ගලයෙකු වශයෙන් දුකෙන් පීඩිතව කල් ගත කිරීමට මා අකමැතියි. කැමති වන්නේ සියලු බලාපොරොත්තු ඉටු කරගත් වාසනාවන්ත ලෙස ජීවත් වීමටයි.

මහලු නොවී සදාකාලික තාරුණ්‍ය තුල ජීවත් වීමටයි. නිරෝගී ලෙස ජීවත් වීමටයි. පැහැපත්ව සිටීමටයි .එහෙත් ඒ බලාපොරොත්තු වන ආකාරයට ජීවත් වන්නට පුලුවන්ද….

 

 

මේ සිරුර මාගේ නම්, මේ සිරුර පැවැතිය යුත්තේ මට උවමනා පරිද්දෙන් . එහෙත් අප ජීවත් වන්නේ මොහොතින් මොහොත වෙනස් වන ලෝකයක.

 

 

ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන සමාජයක. ඒ වෙනස් වන ස්වභාවය මත මගේ සිරුරත් මොහොතින් මොහොත වෙනස් තත්ත්වයකට පත්වෙනවා. මා මොහොතින් මොහොත දිරාපත් වෙලා මහළු වෙලා මරණයට ලං වෙනවා.

ලෝකයේ යථා ස්වභාවය එය නම්, මේ ලෝකය අයිති කරගැනීම සඳහා මඟ සෙවීමත් මහ පොළොව නුහුළනා අපරාද කිරීමත් සිදු කරන්නේ ඇයි?

 

 

මෙය ගැඹුරින් තේරුම් ගත යුතුයි. එම තේරුම් ගැනීම තමන් තුළ නිර්මාණය කර ගැනීමට ඔබ සමත් වන්නේ නම් ඔබට සැබෑ බෞද්ධයෙකු වීමේ හැකියාව ලැබෙනවා.

 

 

සැබෑ බෞද්ධයකු වීමට නම් සසර තතු මැනවින් වටහාගෙන ඒ අනුව ජීවත් වන්නට අවශ්‍යයි .ඔබේ ජීවිතය අර්ථවත් යහපත් ජීවිතයක් බවට පත් කරගත හැකි වන්නේ වැරදි පව් අකුසල්වලින් දුරු වෙලා ජීවත් වීම තුළයි. එවැනි ජීවිතයක් නිර්මාණය කර ගැනීමට ඔබට අධිෂ්ඨාන කරගත හැකිනම් ඔබේ ජීවිතය වඩාත් සාර්ථක කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවි…

         සහෝදරත්වයෙන් එක්වෙමු!                                                                                                                                                                                                                                                                                                         

©️ Buddhist Brotherhood

You might also like
en English
X
X