සූර්යයා කන්‍යා රාශිය ගෙවා දමන මාසය හින්දු දහමට අනුව නම් ඉතා සුවිශේෂයි. .
එලෙස සුවිශේෂ වීමට හේතුව වන්නේ එම මාසයේදී නවරාත්‍රි පූජාව පැවැත්වීම හේතුවක්ව ඇති නිසයි.
නවරාත්‍රි යන වදන ඇසූ සැනින් සිත් පහන් වන හැඟීමක් අප තුල ඇති වෙන්නේ ,ඉන්දීය සංස්කෘතික අංගයන් සඳහා අප තුල ඇති සුපහන් හැඟීම.
නවරාත්‍රි සැමරුම් පැවැත්විමට හේතුව වී ඇති ඉතිහාස කතාව මේ ආකර්ශනීය වූ සැමරුම් තරම්ම ඉතා ආකර්ෂණීයයි.
මෙම රාත්‍රීන් නවය වැඳුම් පිදුම් කරනු ලබන
🙏දුර්ගා දේවී
🙏ලක්ෂ්මි දේවී
🙏සරස්වතී දේවී
යන දේවතාවියන් ශක්ති නම් වූ දේවියගේ වේශයන් තුනක් ලෙස සඳහන් වේ. එම දේවතාවියන්ගේ ශක්තීන් සියල්ලේ එකතුව වන ශක්තී දේවිය හා මහීෂාසුර නම් යක්ෂයා සමග ඇති වූ සටනේ දී ශක්ති දේවිය ඔහුව පරාජය කර ජය ලබා ගන්නා කතා වස්තුවක් මෙම පුරාවෘතයේ එයි.
එහිදී ඇය සියලු නරක සහ අයහපත් දෑ පරාජය කළ බවද බව ද හින්දු බැතිමතුන් තුළ විශ්වාසයක් පවතී. එය සනිටුහන් කරමින් දසවන දිනයේදී කෝවිලේ ප්‍රධාන පූජක වරයා විසින් කෙසෙල් ගසක් කපා හෙලනු ලබනවා. එයින් අරුත් ගැන්වෙන්නේ ශක්ති දේවි විසින් මහීෂාසුර යක්ෂයාව පරාජය කිරීමහ් සිදු කළ බවයි.මේ ක්‍රියාදාමය කෙරෙන්නේ බැතිමතුන් විශාල පිරිසක් ගේ සහභාගීත්වයත් සමගයි.
මේ ආකාරයට
නවරාත්‍රි පූජාවේදී
මුල් දින තුන වෙන් වෙන්නේ දුර්ගා දේවිය වෙනුවෙන් .
එහිදී හින්දු බැතිමතුන් වීර්යයට ශක්තියට අධිපතිනිය වශයෙන් සැලකෙන දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වති.
ඉන් අනතුරුව පැමිණෙන තෙදින වෙන් වන්නේ ධනයට සමෘද්ධියට සහ සෞභාග්‍යයට අධිපතිනිය ලෙසින් සලකන ලක්ෂ්මි දේවිය උදෙසායි.
අවසන් තෙදින වෙන්වන්නේ ඥානයට දැනුමට සහ කලාවට අධිපතිනිය වන සරස්වතී දේවිය වෙනුවෙනි.
නවරාත්‍රී පූජා සමයේ පවත්වනු ලබන සුවිශේෂී පිළිවෙත් කිහිපයක් හින්දු සමාජය තුල ඇත.
නවරාත්‍රී පූජා ආරම්භ වන්නේ ගණ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් අනතුරුවය. එය පළමු දිනයේදී සිදු කරයි.
එමෙන්ම නවරාත්‍රි පූජාවේදී පවත්වනු ලබන සුවිශේෂී අංගයක් වන්නේ “කුම්භම්” තැබීමයි. එනම් ලෝහ සෙම්බුව කට ජලය පුරවා, එහි කට වටා අඹ කොළ පහක් හෝ හතක් රඳවා , හොඳින් පිරිසිදු කර කහ වතුරෙන් සෝදා ගත් පොල් ගෙඩියක් ඒ මත තබා ඉන්පසු එය බිමක සහල් හෝ වී
පිර වූ තැටියක මැද තබා එම තැටිය කෙසෙල් කොළයක ඉහළ කොටසක් ගෙන ඒ මත තබයි.
මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එය නව රාත්‍රී දිනය පුරාවට කිසිම හේතුවකට තැබූ ස්ථානය වෙනස් නොකිරීමයි.
මේ ලෙස පුරා දින දහයක් පුරාවට පැවැත්වෙන සුවිශේෂී සැමරුම් කාලය තුළ දී හින්දු බැතිමතුන් සිය නිවෙස් වලදී වගේම කෝවිල් වල දී ද මෙම සැමරුම සඳහා සහභාගි වෙති. එමෙන්ම එම කාලය පුරාවටම සියලු මස්, මාංශයෙන් තොරව ඔවුන් සැලකිලිමත් ලෙස තම ජීවිතය ගත කරති.එපමණක් නොව, සෑම ලෙසින්ම පිරිසිදු භාවයෙන් යුතු, පිළිවෙත් කිරීමට, හින්දු බැතිමතුන් වග බලාගන්නා කරුණකි.
සෑම කෝවිල කම නවරාත්‍රී පූජාවන් පැවැත්වුණ ද ප්‍රධාන වශයෙන් එය අම්මාන් කෝවිල් වල දී පැවැත්වේ.
මෙම නව රාත්‍රී සැමරුම් වල ඇති තවත් විශේෂත්වයක් වන්නේ එම කාල පරාසය පුරාවටම ශක්ති දේවිය උදෙසා ම පුද පූජා පැවැත්වීම මෙන්ම නිවෙස් වල පැවැත්වෙන නවරාත්‍රී සැමරුම් වලත් ඒ සඳහා එක් එක් දිනයට සුවිශේෂී වූ ආහාර පාන වර්ග පූජා කිරීම හා එදිනට සුවිශේෂී වූ භජන් ගීත ද ගායනා කිරීම ඉතා සුවිශේෂී ලෙස සිදු කිරීමයි.
මෙලෙසින් දින නවයක් පුරාවට පැවැත්වෙන නවරාත්‍රී සැමරුම් වල මහත් වූ උත්සව සිරියක් ගනු ලබයි .එනම් හින්දු නිවෙස් අලංකාරවත් කෝලම් රටාවන්ගෙන් අලංකාර ගන්වන අතර අලංකාර ඇඳුම්, පැළඳුම්වලින් සැරසීමට ද හින්දු බැතිමතුන් අමතක නොකරති .
පුරා දින නවයක් පුරාවට පැවැත්වෙන නවරාත්‍රී සැමරුම් වල නව වන දිනයේ දී ආයුධ පූජා නමින් හැඳින්වෙන සුවිශේෂී පූජාවක් ද ඇත. එහිදී සිදුකරන්නේ බැතිමතුන් තම තමන්ගේ වෘත්තියට අදාළ උපකරණ තබා ඒවා වන්දනාමාන කිරීමයි. එහිදී තම වෘත්තියට අදාළ වන උපකරණ ආදිය තම තමන්ගේ වෘත්තීන්ට අදාළ ව වන්දනාමාන කරනු ලබනවා.
නව රාත්‍රියට පසුව පැමිණෙන දස වන දින ඉතාමත් සුවිශේෂී වේ. විජය දසම් ලෙසින් හඳුන්වනු ලබන එම දිනය ඉතාමත් සුබ දිනයක් ලෙසින් හින්දු බැතිමතුන් සලකති. කුඩා දරුවන්ට අකුරු කියවීම , අලුත් වැඩ ආරම්භ කිරීම, අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම, කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතුවලට නිරත වීම, ආදී වූ කටයුතු සඳහා සුභ දිනයක් ලෙසින් එම දිනය සලකනු ලබති.
සෑම ආගමකින්ම බලාපොරොත්තු වන්නේ මිනිසාට යහපත හා සෙත මෙන්ම ශාන්තියක් සැලසීම වන බැවින්, ඒකාකාරීත්වය තුලින් මදකට මිදී මෙවන් වූ වෙනස් වූ සංස්කෘතියක මිහිර සහ විවිධත්වය විඳීමට උත්සාහ කිරීම ඉතා වැදගත්.
ජීවිතයේ විවිධාකාර අරමුණු පසුපස හැල්මේ දිව යන අපට හති ලමින් මූණ දෙන ජීවිත යතාර්ථයට එක් මොහොතකට හෝ ඉන් මිදී සිටීමේ හා මානසික සුව සහනයක් වන අයුරින් යෙදිය හැකි හා විඳිය හැකි උපරිම විඳීම් තරම් තවත් සතුටක් මිනිසා තුළ වේද?
© Buddhist Brotherhood