සංසාරය නම් වූ අති දීර්ඝ ගමන නිරතව සිටින අප, මේ ගමනෙහි මුලක් හෝ අවසානයක් පෙනෙනතෙක් මානයකවත් නැති බව මේ ජීවිතය එහි පුංචි නවාතැන්පළක් බව අමතකව ඇති තරමක මහත …
නිරයෙහි ප්‍රේත ලෝකයෙහි අනේක වාරයක් දුක් විඳිමින් පැමිණි අපිට මේ මිනිසත් බව ගමන් වෙහෙස නිවා ගනිමින් සහනයක් ලබාගන්නට මුණගැසුනු පැන් තොටක් සේය .
බොහෝ කාලයකින් දිය බිඳක්වත් නොලැබීමෙන් දුෂ්කර ගමනක යෙදී අතරමඟ හමුවන පැන් පොකුණෙන් පිපාසය සංසිඳුවා ගන්නවා වෙනුවට අප කරන්නේ වෙනත් ම දෙයකි .
ඇතැමෙක් පොකුණ වටේ කැරකෙමින් සිටිති .තව එකෙක් කැරකෙමින් සිරි නරඹමින් සිටිති .තව එකෙක් එහි ඇති මාළුන් අල්ලන්නට පෙළඹෙති .තවත් අය එහි ගැඹුර පර්යේෂණ කිරීමට කැමැත්තෙන් සිටිති .සමහරු එහි දිය කෙලියේ යෙදෙති .මේ පොකුණ මීට වඩා වෙනස් විය යුතු එකක් යැයි සිතමින් සමහරුන් එහි නිර්මාණශීලී බව වැඩි කරන්නට වෙහෙසෙති .
අවසානයේ සිදුවන්නේ පිපාසය සංසිඳුවා ගන්නට කිසිවකුටත් සිහිපත් නොවීමයි .
තමාට රිසි වූ පරිද්දෙන් තමා නියැලෙන කාර්ය තමාගේ මූලික කර්තව්‍යය කර ගත් කල, පිපාසයක් ඇති බව ද අමතක වී යයි. පවස නිවාගන්නට පැන් බිඳක් පානය කර,පැන් පොකුණ අත්හැර යන්නේ ඉතාමත් කලාතුරකින් පැමිණෙන ප්‍රඥාවන්ත පුද්ගලයෙක් පමණයි .
අපි ලද මනුෂ්‍ය ජීවිතය ද එසේ ම ය .කරන්නට ඇති දේ පසෙක දමා ජීවත්වන්නට ලැබුණු සමාජ වටපිටාව මුළු මහත් ලෝකය ම යැයි සලකමින් අප ඒ තුළ අපට තැනක් සොයන අරගලයේ අප යෙදී සිටිමු .
ඔබේ නිවාසය ,ඔබේ වටපිටාව සුපිරි නිවාස සංකීර්ණයක් ..ග්‍රාමීය පැල්පතක්.. මුඩුක්කු පරිසරයක්.. මේ කුමන පරිසර පද්ධතියක් තුළ වුවත් අපට හිමි තැන ආරක්ෂා කරගන්නට ජීවිතයේ බොහෝ දේ අප කැප කළා නොවේද …
ගම, පාසල ,විශ්වවිද්‍යාලය, රාජකාරි කරන ස්ථානය, හෝ ගමේ සමිතියක, හෝ කැපී පෙනෙන පුද්ගලයෙකු ලෙස මුදුනෙහි සිටීමට බොහෝ දෙනකු අසා කරයි .නොයෙක් ප්‍රතිපත්තීන් වෙනුවෙන් ජීවිතයම කැප කරයි.
කුමන පසුබිමක හිඳ ආරක්ෂා කලත් එම ප්‍රතිපත්ති ඕනෙම පුද්ගලයෙක් අපේක්ෂා කරන්නේ තමාට හිමි තැන ආරක්ෂා කර ගැනීමයි .දේශපාලන අධිකාරිය තුළ දැඩි පිළිවෙත් රකිමින් තමාගේ අනන්‍යතාවයන් රැක ගැනීමට වෙහෙසෙති. සම්ප්‍රදායික ප්‍රතිපත්ති රකිමින් ජාතියේ කුලයේ පැවැත්මේ පුරෝගාමියා වෙන්නට උත්සුක වෙති. සංස්කෘතිකමය ප්‍රතිපත්ති රකිමින් පරමාදර්ශී පුද්ගලයකු වීමට තවත් අය පෙලඹෙති .
දේශපාලනික සංස්කෘතික හෝ ආගමික වශයෙන් යම්කිසි කොටුවකට සීමා වී ජීවිතය පුරාවට රකින ප්‍රතිපත්තිය නිසාම ඔබ ප්‍රතිපත්තිගරුක පුද්ගලයකු ලෙස සමාජය විසින් ඉහළ තැනකට ඔසවා තබයි. නමුත් මෙම ස්ථානයේ හිමිකම තණ අග රැඳි පිනි බිඳක් මෙන් වියැකී යන තරම් කාලයකට සමාන වූ අප හට මිනිස්ලොව ගතකරන්නට ලැබී ඇති ආයු කාලය තුළට සීමා වී ඇත .ඉන් එහා අපට ගමන් කිරීමට ඇති දීර්ඝ සංසාරය තුළ රැකවරණය උදෙසා මේ ප්‍රතිපත්තිවලට යමක් ලබාදීමට නොහැකිය.
කවර ප්‍රතිපත්තියක් වුවත් එය ඔබව අවසානයේ රැගෙන යන්නේ නිරයට නම් ප්‍රේත ලෝකයට නම් තිරිසන් ලෝකයට නම් ඔබ අසරණ වන එම දිනයේ දී ඔබව රකින්නට එම ප්‍රතිපත්ති ඉදිරිපත් නොවෙයි .ඔබ විසින්ම රකින ලද ප්‍රතිපත්ති එදිනට ඔබ විසින්ම නිශ්ප්‍රභා කර දමනු ඇත .
ඓතිහාසික විස්තර පිළිබඳව සොයා බැලීමේදී විවිධ නම් ඇති පුද්ගලයින් තම තමන්ට හිමි ක්ෂේත්‍රයන් තුළ සම්පූර්ණ කොට නමක් ඉතිරි කොට ජීවිතයෙන් සමුගෙන ඇති බව පෙනී ගිය ද ඒ පුද්ගලයන්ගේ ප්‍රතිපදාවන් ඉතා ඉහළින් වර්ණනා කර සිටියද ප්‍රතිපදාව තුළ නියැළීමෙන් ඔහුට මරණින් මතු හිමි වූයේ කවර ජීවිතයක් ද යන්න අද සමාජය තුළ අසන්ට නැත .
කුමන පිළිවෙතක් හරහා හෝ අප තුළ වැඩෙන්නේ රාග ද්වේෂ මෝහය නම් ,ඒ තුළින් අපට ඉතිරි වන්නේ අකුසලයකි. මරණින් මතු අපට රැගෙන යන්නට වන්නේ ඒ ඉතිරි වූ අකුසලයයි. අපේ උපත තීරණය වන්නේ ද මෙම අකුසලයට අනුවයි .
එදා ලුම්බිණියේ සිදුහත් කුමරුන් ගේ පියවර පොළොවෙහි ස්පර්ශ වන්නට නොදී පොළොවෙන් නෙලුම් මල් මතුවුණා . පා යුගවල දුහුවිලි නොතැවරෙන්න ට සත්මහල් ප්‍රාසාද ඉදි වුනා.ඔබත් මමත් ඝෝර සසර ක වැටී විඳින දුකෙන් අපව නිදහස් කරන්නට ඒ උත්තමයාණන් වහන්සේ ප්‍රතිපදාවක් සොයමින් වෙහෙසුණු තරමක්…
අනේක දුක් ගැහැට විඳිමින් අවසානයේ සොයා ගත් ප්‍රතිපදාව මෙලොව ඇති එකම ආර්ය වූ පිළිවෙතයි .එකම සුන්දර මගයි. ඒකායන නිවීම පිණිස ඇති මාවතයි. අවබෝධය පිණිස හේතු වන අංග අටකින් සමන්විත වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවසානයේ ඒකාන්ත වූ නිර්වාණය… යම් දිනෙක අප එතෙක් පිය නොතැබූ සොඳුරු බිම මුණගැසෙන්නේ ය.
සියල්ල කැටිකොට එකට හකුළුවා ගත්තොත් මුනි දහම නම් , මේ ඇසෙන් ,කනෙන්, නාසයෙන්, දිවෙන් ,කයෙන්, මනසෙන් ,නිදහස් වීමයි.
මෙතුවක් කල් මේ ක්‍රියාවන් සිදුවන්නේ මේ හය තැන අල්ලා ගනිමින්. භාග්‍යවතුන් වහන්සේ වදාළ , සතර සතිපට්ඨානය නැමැති පිළිවෙත සම්පූර්ණ කිරීම අපට ඇති එකම පිළිසරණ ලෙස දක්වමු.එය අපට ඇති එකම මගයි. මරණය කරා ගෙන යන ගවයා තබන පියවරක් පියවරක් පාසා මරණයට ළං වන්නා සේ ඔරලෝසුවෙන් නැගෙන සෑම තත්පරයක් පාසාම අප ළං වන්නේ ද මරණයට මයි .
ඉහලට ගන්නා හැම හුස්මක්ම පහලට හෙලන හැම හුස්මක්ම අනතුරු අඟවන්නේ මනුෂ්‍යයකු වශයෙන් මිහිපිට ජීවත්ව හෙළන්නට ඇති හුස්ම රැලි එකින් එක අඩු වන බවටයි .
දවසට කී වරක් ඇසි පිය හෙලුවත් ඊළඟ ඇහි පිල්ලම අප සුගතියකට වී හෙලන අවසන් ඇහි පිල්ලම වේ දැයි බියක් කිසි දිනක අපට දැනී තිබේද ?
භාග්‍යවතුන් වහන්සේ හැරෙන්නට කර්ම ක්ෂය වන ප්‍රතිපදාවක් දේශනා කළ ශාස්තෘන් වහන්සේ නමක් මේ ධරණී තලය මත නැති තරම්… උන්වහන්සේ දේශනා කොට වදාළ දහමට අනුව ජීවිතය නුවණින් විමසන විට කර්ම ක්ෂය වන ප්‍රතිපදාවේ යෙදුන විට අපගේ කර්මයන් ගෙවී යයි .අපට ඇති එකම රැකවරණය නම් බුදු සමිඳුන් ගේ ප්‍රතිපදාව තුළ හික්මී යළි පෘථග්ජන පිළිවෙත් තුළ අසරණ වන්නන් බවට පත් නොවන්නට ස්ථිර පදනමක් සහිතව ගොඩ නැගී සිටීමයි .
තෙරුවන් සරණයි…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood