සිලි සිලි නදයි බෝපත් සුළඟයි අතරේ
මේ බැස එන්නෙ පුන්පෝ සිරි සිල් අතරේ
වප් පුන් පෝ දිනේ අසිරිය පා නිතොරේ
සිල් සුවඳින් නැහැ වෙමු පෝදා මිතුරේ
සිල් සුවඳ දසත පැතිරෙන,
බණ පද මිහිර දසතින් හමා යන,
සදහම් අමා දහරින් හදවත් පිනා යන,
උතුම් වප් පුන් පොහෝ දිනක් වේවා !
චීවර මාසයේ දී වප් පවාරණය කරනු ලබන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සිවුරු පිරිකර පිළිගැන්වීමේ උතුම් පුන්‍යකර්මය සිදු කිරීම අතීතයේ සිටම පැවත එන උතුම් වූ සිරිතක් .
බෞද්ධ ගිහි හා පැවිදි දෙපක්ෂය අතරම ඇති සම්බන්ධකම් චීවර මාසයේ දී වර්ධනය වන අතර මෙම වප් මාසය චීවර මාසය වගේම කෘෂිකාර්මික ජීවන රටාවේ “බීජ මාසය”ද ලෙස හඳුන්වයි .ඒ සඳහා අප රටේ පවත්වන අති ප්‍රසිද්ධ ම උත්සවය වන්නේ වප් මංගල්‍යයයි.ගොඩ මඩ ගොවිතැන් දෙකම සරුවට කෙරෙන මාසයක් ලෙස වප් මාසය ඉතා ප්‍රසිද්ධියට පත්ය.
ඔක්තෝම්බරයේ උදාවන වප් පුන් පොහොය ගමත් පන්සලත් යා කෙරෙන කඨින පූජෝත්සව සිදුකරන මහත් ආනිශංස ගෙන දෙන පොහොයක් ලෙසින් සඳහන් කළ හැක .
පොහොය වැදගත් කම පිළිබඳව කතා කරද්දි වප් පුන් පොහෝ දා සිදු වූ ශාසනික වශයෙන් වැදගත් වූ කරුණු රාශියක් පිළිබඳව සඳහන් කළ හැකියි ….
බුදුරජාණන් වහන්සේ මවුපියන්ට කෘතගුණ දැක්වීම ආදර්ශයෙන් පෙන්වා දීම සඳහා, තමාගේ මෑණියන් වූ මහාමායා දේවිය සසරින් එතෙර කිරීමට ධර්මය දේශනා කිරීමට සිතූ සේක. නමුත් එතුමිය මනුෂ්‍ය ආත්මයෙන් මියගොස් මාතෘ දිව්‍යරාජ නමින් පුරුෂ ආත්මයක් ලබා දෙව්ලොව ඉපිද සිටියේය .බුදුරජාණන් වහන්සේ එහි ගොස් එතුමාට ධර්මය දේශනා කොට තව්තිසා දෙව්ලොව සිට ආපසු දඹදිව සංකස්ස නුවරට පැමිණීමත් , උන්වහන්සේගේ පැමිණීම දැකගැනීමට භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා මහ පිරිස් සංකස්ස නුවරට රැස්වීමත් අදවන් උතුම් වප් පෝ දිනක සිදු වූ බව ඉතිහාසගතව ඇත .
ලංකාවේ පිරිසිදු බුදු දහම දිගුකලක් පැවතීම සඳහා, දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කර ථූපාරාමයට භික්ෂූන් කැඳවා විනය සංගායනාවක් පැවැත්වූයේ ද අද වන් වූ උත්තරීතර වප් පුන් පොහොය දිනයකදීය .
අනාගතයේ බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පන්සියයක් පිරිවර සමඟ පැවිදි බිමට ඇතුළත් වීම ද අද වන් වූ උතුම් පෝ දිනක සිදු වූ වග ඉතිහාස කරුණු දක්වයි .
තම නොදුටු විදෙස් මිතුරා වූ ධර්මාශෝක අධිරාජයා වෙත දේවානම්පියතිස්ස රජතුමා තම ඥාතියෙකු වූ මහා අරිට්ඨ ඇමතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් පිටත්කර යවමින් ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන ඒමට සැලසුම් කරන ලද්දේ ද වප් පුන් පොහොය දිනයකදීය .
සංඝමිත්තා තෙරණින් වහන්සේට ලංකාවට පැමිණීමට මාර්ගය සැලසීමට අඩිතාලම වැටුණේ ද මෙම පොහොය දිනයේ දී ය.
දේවානම්පියතිස්ස රජුගේ නෑනන්ඩි ය වූ අනුලා බිසවට භික්ෂුණී ශාසනයට ඇතුළු වීමට තිබූ දැඩි කැමැත්ත සඳහා දඹදිව යන දූත පිරිස අතර එම ඉල්ලීම ධර්මාශෝක අධිරාජයා වෙත යැවීම දේවානම්පියතිස්ස රජු විසින් සිදුකරන ලද්දේ මෙම පොහොය දිනයේ දී ම ය .
වස් කාලය තුළ දී ආරාම තුළට වී කාලය ගත කළ භික්ෂූන් වහන්සේලා ධර්මය දේශනා කිරීමට අමතරව ග්‍රන්ථාරූඪ කිරීමට ද පෙලඹුණේ මෙම කාල වකවානුවේ දී ම ය.
බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ වැදගත් සිදුවීම් රාශියක් සිදු වීම නිසා වප් පොහොය බෞද්ධ ජනයාගේ ශ්‍රද්ධා සම්පන්න ආගමික චින්තනය වැඩි දියුණු කරන්නක් බවට පත්ව ඇත.
උතුම් සදහම් ගුණ පුබුදුවාලන ශාසනික වශයෙන් විශාල වැදගත්කම් රාශියකට මූලාරම්භය සනිටුහන් කළ උතුම් පොහෝ දිනක් වශයෙන් වප් පුන් පෝ දිනය සලකමු .
සියලු සිත් සතන් ධර්මාලෝකයෙන් ආලෝකමත් වන උතුම් වප් පුන් පොහෝ දිනක් වේවායි බෞද්ධ සහෝදරත්වයෙන් ඔබ සැමට ප්‍රාර්ථනය කරමු .
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood