Temples of Sri Lanka

වේදනානුපස්සනාව සිහි කරමින් භාවනාව වඩමු

 

අපි බලමු වේදනානුපස්සනා භාවනාව වඩන්නේ කොහොමද කියල…

වේදනානුපස්සනා භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ කොටස අපි හොඳින් ඉගෙන ගන්න ඕනෑ.

සාමාන්‍යයෙන් වේදනාව කියන වචනය අපි පාවිච්චි කරන්නේ රිදෙන කොට, දුකක් ඇතිවුණහම, විඩාවක් ඇතිවුණහම, කැක්කුමක් ඇතිවුණහම ඒක ප‍්‍රකාශ කරන්නයි. අපේ හිතේ සතුටක් ඇතිවුණොත් අපි කවදාවත් කියන්නේ නෑ ‘‘මට මේ සැප සහගත වේදනාවක් තියෙනවා” කියා. වේදනාව කියා භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නේ දුකට ම යි. ‘‘මම හරි වේදනාවෙන් ඉන්නේ.”, ‘‘ඇඟපත හරි ම වේදනාවයි” කියා කියන්නේ දුක් සහගත විඳීම්වල දී ම යි.

නමුත් බුදුරජාණන් වහන්සේ වේදනාව කියන වචනය පාවිච්චි කළේ ‘‘විඳීම” කියන පොදු අර්ථයෙන්. අපි තුන් ආකාරයක විඳීමක් විඳිනවා. අපි සැපත් විඳිනවා. දුකත් විඳිනවා. දුක් සැප රහිත බවත් විඳිනවා. මේ විඳීම ඇතිවන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියා කියන්නේ මේ ආයතන හය තුළ ම ඇතිවන දෙයක්. ඇස, කන, නාසය, දිව, කය, මනස, කියන ආයතන හයේ ම ඇතිවන දෙයක් ස්පර්ශය.

ස්පර්ශය යම් තැනක හටගන්නවා ද අන්න එතැන තමයි විඳීම හටගන්නේ. එහෙම නම් ආයතනයන් හය තුළ ම සැප, දුක්, උපේක්ෂා කියන විඳීම හටගන්නවා. එතකොට මේ ස්පර්ශය සැප සහගත වෙනකොට, විඳීම සැප සහගත වෙනවා. ස්පර්ශය දුක් සහගත වෙනකොට විඳීම දුක් සහගත වෙනවා. ස්පර්ශය මධ්‍යස්ථ වෙනකොට විඳීම මධ්‍යස්ථ වෙනවා.

වේදනා කොටස් දෙකක්…

එතකොට මේ සැප, දුක්, උපේක්ෂා කියන විඳීම් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත‍්‍රයේ දී සාමිස වේදනා, නිරාමිස වේදනා කියා කොටස් දෙකකට බෙදා වදාළා. බුදුරජාණන් වහන්සේ මේ සාමිස විඳීම ගැනත්, නිරාමිස විඳීම ගැනත් සිහිය පිහිටුවා ගන්න කියා දේශනා කොට වදාළා. (සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාතී.)

පංච කාමය නිසා ඇතිවෙන විඳීම…

සාමිස විඳීම කියන්නේ ඇහෙන් රූප දැක්කා ම, කනෙන් ශබ්ද ඇහුවා ම, නාසයෙන් ගඳ සුවඳ ආඝ‍්‍රාණය කළා ම, දිවෙන් රස වින්දා ම, කයෙන් පහස දැණුනා ම ඇතිවෙන විඳීමට කියනවා සාමිස කියා. ඒ කියන්නේ පංච කාම අරමුණු මුල්කරගෙන සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත මධ්‍යස්ථ බවක් හෝ ඇතිවෙනවා නම් අන්න ඒකට කියනවා සාමිස වේදනා කියා.

පංච කාමයෙන් බැහැර ව ඇතිවන විඳීම…

අපි හිතමු භාවනාවක් කරගෙන යද්දී, භාවනාව අපිට ඕනෑ හැටියට වැඩෙන්නේ නෑ. එතකොට අපට ඇතිවෙනවා දුකක්. එ්ක එතකොට පංච කාමයන් මුල් කරගෙන ඇති වෙච්ච දුකක් නො වෙයි. නිරාමිස දෙයක් මුල් කරගෙන ඇතිවෙච්ච දුකක්. එ්කට කියනවා නිරාමිස දුක් වේදනා කියා. ඒවගේ ම භාවනා කරගෙන යනකොට සිත සමාධිගත වුණා ම කෙනෙකුට ඇතිවෙනවා සැපයක්. ඒක නිරාමිස සැප වේදනාවක්. ඊ ළඟට කෙනෙකුට සැප වේදනාවක් නැති, මනසිකාර කරගෙන යන අවස්ථා තියෙනවා. සැපක් තේරෙන්නෙත් නැති, දුකක් තේරෙන්නෙත් නැති භාවනා අරමුණක් තියෙනවා. ඒකට කියනවා නිරාමිස උපේක්ෂා වේදනා කියලා. එතකොට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා සාමිස කියා කොටසකට බෙදනවා. නිරාමිස කියා කොටසකට බෙදනවා. මේක අපි හොඳින් සිහිකරලා, නුවණින් තේරුම් ගන්නට ඕනෑ විඳීම මේ ආකාරයි කියා.

දිය බුබුළක් බඳු විඳීමක්…

බුදුරජාණන් වහන්සේ වදාළා, මේ විඳීම්වල ස්වභාවය දිය බුබුළක් වගේ කියා. එසේ කියන්නේ වැස්ස වැහැපු වෙලාවක එමවතුරට ලොකු දිය බින්දු වැටෙනවා. ඒ දිය බින්දු අර වතුරට වැටෙනකොට ම එ් වතුරෙන් දිය බුබුළක් ඇතිවෙනවා අර ඝට්ඨනයත් එක්ක ම. ඊ ළඟ දිය බුබුළ ඇති වෙනකොට අර දිය බුබුළ නැතිවෙනවා. වෙන එකක් හටගන්නවා. මේ වගේ තමයි විඳීමත්.

වේදනානුපස්සනාව වඩන හැටි…

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඳීමට සිහිය යොමු කරන්න කියා. විඳීමට සිහිය යොමු කරන ශ‍්‍රාවකයා හොඳ සිහියෙන් ඉන්නට ඕනෑ. සාමිස හෙවත් පංචකාම අරමුණු මුල්කර ගත්තු සැප විඳීමක් ද සාමිස දුක් විඳීමක් ද සාමිස උපේක්ෂා විඳීමක් ද කියා නුවණින් විමසා බලන්න. එ්කට හොඳින් සිහිනුවණ පිහිටුවනවා. එතකොට තේරෙනවා මේ මම විඳින්නා වූ දුක් විඳීම පංච කාම අරමුණු මුල්කර ගත්තු විඳීමක්. සැප විඳිනකොට තේරෙනවා මම මේ විඳින්නා වූ සැප විඳීම පංච කාම අරමුණු මුල්කර ගත්තු සාමිස සැප විඳීමක්. මධ්‍යස්ථ විඳීම විඳින කොට ශ‍්‍රාවකයා තේරුම් ගන්නවා මම මේ විඳින්නා වූ මධ්‍යස්ථ විඳීම පංච කාම අරමුණු මුල්කර ගත්තු සාමිස උපේක්ෂා විඳීමක් කියා. මේ විදිහට සාමිස වේදනා ගැන සිහිය පිහිටුවා ගන්නවා.

ඊළඟට නිරාමිස විඳීම

භාවනා කරන කෙනෙකුට භාවනාව වැඩෙන්නේ නැත්නම්, සමාධිය වැඩෙන්නේ නැත්නම්, යම් කිසි දුකක් තියෙන්න පුළුවනි. එතකොට එයා තේරුම් ගන්න ඕනෑ මේක තමයි නිරාමිස දුක් විඳීම. භාවනාව දියුණු කරගෙන යද්දි එයාට සනීපයක්, සැපයක් දැනෙනවා. එතකොට එ් කෙනා දැනගන්නට ඕනෑ මේක තමයි නිරාමිස සැප විඳීම. භාවනාව තවදුරටත් ඉහළට දියුණු කරගෙන යාමේ දී සැපක් නැති, දුකත් නැති මධ්‍යස්ථ විඳීම් විඳින්නට ලැබෙනවා. එයා සිහි කරනවා මේක තමයි මධ්‍යස්ථ විඳීම කියා.

සියලූ දෙනා තුළ ම වේදනාව සමානයි…

මේ විදිහට වේදනානුපස්සනා භාවනාවේ සිහිය පිහිටුවන්න පිහිටුවන්න ශ‍්‍රාවකයා නුවණින් තේරුම් ගන්නවා, මේ විඳීම් තුන ම තමයි අනිත් අයටත් තියෙන්නේ කියා. අන්න තමාට යම් කිසි සැප විඳීමක්, දුක් විඳීමක්, උපේක්ෂා විඳීමක්, සාමිස ව හෝ නිරාමිස ව ඇති වෙනවා ද, මෙවැනි විඳීම් තුනක් තමයි තමා තුළත්, අනිත් අය තුළත් තියෙන්නේ කියා සිහි කරනවා.

ස්පර්ශය නිසයි විඳීම…

මෙහෙම සිහි කරලා ශ‍්‍රාවකයා නුවණින් බලනවා, ස්පර්ශය වෙනස් වීමෙන් විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය කියන්නේ කරුණු තුනක එකතු වීම යි (තිණ්ණං සංගති ඵස්සෝ). ඇසයි, රූපය යි, විඤ්ඤාණය යි එකතු වීම තමයි ඇසේ ස්පර්ශය. කනයි, ශබ්දය යි, විඤ්ඤාණය යි එකතු වීම කනේ ස්පර්ශය යි. නාසය යි, ගඳ සුවඳ යි, විඤ්ඤාණය යි එකතු වීම නාසයේ ස්පර්ශය යි. දිව යි රසය යි, විඤ්ඤාණය යි එකතුවීම දිවේ ස්පර්ශය යි. කය යි, පහස යි, විඤ්ඤාණය යි එකතු වීම කයේ ස්පර්ශය යි. මනස යි, අරමුණු යි, විඤ්ඤාණය යි එකතු වීම මනසේ ස්පර්ශය යි.

මනස – අරමුණු – විඤ්ඤාණය

ඔබ හොඳින් තේරුම් ගන්න මනස කියන්නේ එකක්. අරමුණ කියන්නේ තවත් එකක්. විඤ්ඤාණය කියන්නේ තව එකක්. මනස යි, අරමුණු යි, විඤ්ඤාණය යි (තිණ්ණං) තුන (සංගති) එකතු වීම (ඵස්සෝ) ස්පර්ශය යි. එ්ක තේරුම් ගන්නේ මෙහෙමයි. දැන් මනසට අරමුණක් ආවා ම එ්ක මනසින් ම දැන ගන්නවා. මේ දැනීම තමයි මෙතන තියෙන විඤ්ඤාණය. මේ මනස යි, අරමුණ යි එකක් නෙවෙයි; දෙකක්. දැන් අපි හිතමු මනසට අරමුණක් මතක් වෙනවා කියා. මතක් වුණා ම අපට පුළුවන් මේක හොඳ අරමුණක් නෙවෙයි කියලා තේරුම්ගෙන ඒක බැහැර කරලා හොඳ අරමුණක් සිතේ පිහිටුවා ගන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ මනස යි, අරමුණ යි දෙකක් නිසා. ඒක එකක් වුණා නම් අපට එහෙම කරන්න පුළුවන්කමක් නෑ. මනස වෙන එකක්, අරමුණ වෙන එකක් නිසා මනසට අරමුණක් ආවාට පස්සේ ඒක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකෙන් තේරුම් ගන්න මනස යි, අරමුණ යි, විඤ්ඤාණය යි කියන එකේ වෙනස්කම. එතකොට මනස යි, අරමුණ යි, විඤ්ඤාණය යි එකතු වීම මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ.

වේදනාවේ හටගැනීම හා නැති වීම…

දැන් හොඳට වේදනානුපස්සනා සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගත්තු ශ‍්‍රාවකයා ස්පර්ශය වෙනස් වීමෙන් විඳීම වෙනස් වන බවත්, ස්පර්ශය නැති වීමෙන් විඳීම නැති වන බවත් දකිනවා. ඒකට කියනවා විඳීම් ගැන හටගන්නා ආකාරයත් දකිමින් වාසය කරනවා, නැසී යන ආකාරයත් දකිමින් වාසය කරනවා (සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහරති. වයධම්මානුපස්සීවා වේදනාසු විහරති)

විඳීම ගැන යථාර්ථය මේ ලෙසට අවබෝධ වෙනවා…
තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X