Temples of Sri Lanka

තරගය… ජය සහ පරාජය..

තරගයකදී ජයග්‍රහකයින් දෙදෙනකු බිහි වන්නේ නැත.

එක් අයෙක්, එක් කණ්ඩායමක්, හෝ එක් පාර්ශවයක්, ජය ලබන අතර අනෙක් තරඟකරුවන් පරාජිතයන් බවට පත්වෙයි.

ජයග්‍රාහකයෙකු නොමැති පරාජයක් හෝ පරාජිතයෙකු නොමැති ජයග්‍රහණයක් අපට මුණ ගැසෙන්නේ නැත.

අප අවට පවතින්නේ තරගකාරී ස්වභාවයන් වන නිසා, ජය පරාජය යන දෙකම වරින්වර අපගේ ජීවිත තුළ දෝලනය වේ. විටෙක අප සෘජුවම ජය හෝ පරාජය හෝ ලබන අතර තවත් විටෙක අපේ හිතවාදීන්ගේ ජය පරාජය අනුව වක්‍රව ද අප ජයග්‍රහකයන් හෝ පරාජිතයන් බවට පත්වේ .

ඒ නිසාම උද්දාමයෙන් ඉපිලීයන ජයග්‍රහණයන් ද, කම්පිතව හද සසල කරවන පරාජයන් ද, අප හමුවේ සුලභය .ජයග්‍රහණ තුළ ප්‍රීති ප්‍රමෝදයට පත් වුවද, අප අතින් පරාජයට පත්වූවන් අප ලද ජය ප්‍රීති ප්‍රමෝදයෙන් පිළිගන්නේ නැත .

ජයග්‍රහකයා හමුවේ පරාජිතයන් තුළ ඇති වන්නේ නොසන්සිඳීම කි. ඒ තුළ වෛරය ඊර්ෂ්‍යාව එකට එක කිරීමේ උවමනාව යටපත් කොට, මැඬලීමේ අවශ්‍යතාවය උපත ලබයි. මේ නිසා තරඟයක අවසාන ප්‍රතිඵලය ජය හෝ පරාජය පමණක් නොවේ… ජය හමුවේ ඇතිවන වෛරය ද ඒ තුළ ඉස්මතු ය .

එසේ ම පරාජිතයන් තුළ වෛරය උපදවන ජය අභියස සතුටින් සසැලෙන සිත පරාජය හමුවේ දුක උපදවයි.ජය පරාජය දෙපසට දෝලනය වෙමින් ආයුෂය ගෙවී එන නිසා වෛරය ද දුක ද තරග වැදෙමින් වරින්වර මිනිස් ජීවිත තුළ ඉස්මතු වේ.

වෛරයෙන්, දුකින් පිරී ගත් සිත කවර නම් සංසිඳීමක් ඇතිකරගන්න ද?

සිතේ සංසිඳීමක් නොලද කවරෙකු නම් කායික මානසික සැහැල්ලුව අත්විඳින්න ද ?

එය කිසි කලෙකත් සිදු නොවන නිසා තරග වැදීම හා තරගකාරීත්වය හමුවේ පිල් බෙදීම ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගත් සියල්ලන්ම ජීවත් වන්නේ කායික මානසික පීඩාවන් සහිතව ය.

ජයත්,පරාජයත් යන දෙකම දැඩිව ග්‍රහණය කොටගෙන සිටින නිසාම, සුවපහසු දිවිපෙවෙත අපට අහිමි වූ බව අප තේරුම් ගන්නේ කවදාද?

දුක උපදවන පරාජය අත්හළ යුතුය.

වෛරයද අප අත්හළ යුතුය.

ජයට හෝ පරාජයට ග්‍රහණය නොවන සිත, කෙලෙස් පහසින් බැඳී යන්නේ නැත.

එවන් සිතක් උපදවා ගැනීම යනු, ආපසු හැරවිය නොහැකි විජයග්‍රහණයකි. කෙළවරක් නොපෙනෙන සසර ගමනක කෙලෙස් කදමලු බැඳගෙන අප මෙතෙක් දුර ඇවිද ආවේ, ජය ද පරාජය ද අත්හරින්නට අපට නොහැකි වූ නිසාවෙනි.

තවත් දුර යන්නට පෙර මේ ද්විත්වයෙන්ම අත් මිදෙන්නට අපට හැකි නම්, ඒ වෙනුවෙන් වෑයම් කරන්නට අපට හැකි නම්, ඒ සම්මා වායාමය තුළ බිහි කෙරෙන්නේ කායික මානසික සුව පහසුව අත්විඳිමින් සංසිඳුණු සිතින් යුතුව වාසය කරන මුනිවරයෙක් වේ.

“ජයං වේරං පසවති
දුක්ඛං සෙති පරාජිතෝ
උපසන්තෝ සුඛං සෙති
හිත්වා ජය පරාජයං”

තරඟ කරන්නට ගිහින් ජය ගත්තොත් වෛරය තමයි ඇති වෙන්නේ. පැරදිච්ච කෙනා දුකින් ඉන්නවා. නමුත් ඔය ජය පරාජය දෙකම අත්හැරිය මුනිවරයා තමයි සැපසේ ජීවත් වන්නේ …
(ධම්මපදය -සුඛ වර්ගය )

ජයෙන් ද පරාජයෙන් ද නිදහස් වූ මුනිවර සමවත ක දැහැන් ගත වන්නට අපටත් භාග්‍යය උදා වේවා !!!

මේ බෞද්ධ සහෝදරත්වයෙන් ඔබ වෙත ගෙන එන ප්‍රාර්ථනයකි…


 

You might also like
en English
X
X