Temples of Sri Lanka

සුගත මග සරන පුණ්‍යවන්තයෝ

වැස්ස හොදටම. ධාරානිපාත වර්ෂාවක් නොවුනට, එක සීරුවට දිග වෙලාවක් මේ වැස්ස පතිත වෙනවා. හාත්පසම හරිම සීතලයි .හරිම අදුරුයි .හරියටම මැදියම් රැයක් වගේ .කිලෝමීටර දෙසියකට තුන්සියයකට එහා දුරක ඉඳන් ඇවිත් ගමනාන්තයට තව කිලෝමීටර 5 ක විතර දුරක් ඉතිරි වෙලා. වැස්ස නිසා ඇතිවුණ තදබදයක් නිසා නැවතුන බස් රථයක ජනේලයක් ලඟ වාඩි වෙලා… වෙලාව බලපු මගේ හිත හරිම නොසන්සුන් .පැය හතක් අටක් ම ගමනේ යෙදීමෙන් ඇති වුණ වෙහෙසටත් වඩා හිත නොසන්සුන් කළේ, මේ අවසාන කිලෝමීටර කිහිපයක් යන්නට ගත වෙන දිගු වෙලාවයි .එකෙනෙහිම ජනේලයෙන් එළිය බැලූ මා දුටුවේ කාන්තාවක්.

පහන් කණුවේ ආලෝකය අඳුර කපාගෙන ඇය හිටි තැන එළිය කළා .වයස අවුරුදු 45 ක පමණ පෙනුමක් තිබුණු ඇය ඇද හිටියා අදුරු පැහැති සායක් සහ හැට්ටයක්. එයා අතේ තිබුණ ටියුලිප් මලු හතර, කඩ කාමරයේ දොරට හේත්තු කළා .එක ගමන් මල්ලක් විවෘත කරලා ඇතුළේ තිබුණු දේ එලියට ගත්ත .ඒක කහ පාට ඉටිකොලයක්. ඒක පැත්තකින් තියලා තවත් බෑග් එකකින් පත්තර කෑලි ටිකක් අරන් බිම ඇතිරුවා. ආයෙමත් කහ පාට ඉටිකොලයක් අතට අරගෙන කෙළවරක තිබුන නූලකින් ඉටි කොළය , වසා දමා තිබුණු තැනක ගැට ගැහුවා.මීටර් තුනක් විතර දිග ඉටිකොලේ අනිත් කෙලවරේ ගැටගැහුවා. ටියුලිප් බෑග් දෙක නැමුවා .තුන්වෙනි ටියුලිප් බෑගයත් දිග ඇරලා බෙඩ් ශීට් එකක් එලියට ගත්තා. ඒ බෑග් නම නමා බෑග් තුනම අනෙක් බෑගයට දැම්මා. ඉටිකොළ එක ලොකු දෙකෙළවර කඩේට ගොඩ වෙන්නට සැකසූ පඩි පෙළේ පඩි තුනක් පහලට වනසේ ඇදලා දෙපසින් ගල් කැට දෙකක් එල්ලුවා. නැවත වරක් හතරවෙනි ටියුලිප් මල්ල අතින් අරගෙන තමන් සකසා ගත් නිවහනට ඇතුලු වුණා.පොලිස් නිලධාරි මහතාගේ සංඥාවෙන් වාහනය ගමන් කිරීම ඇරඹුනා. එක්තරා ශ්‍රී ලාංකීය කාන්තාවකගේ රාත්‍රී නවාතැන සැකසෙන ආකාරය කුතුහලයෙන් බලා සිටි මගේ හිතේ පිරී තිබුණු සංවේගය නිසා වාහන ගමනා ගමන ඇරඹීම ගැන කිසිම සතුටක් ඇතිවුනේ නෑ.

සුව පහසුව ඇති යහනක එදා රෑ මම නිදා ගතිමි. මදුරුවන්ගෙන් වෙන හිරිහැරය නවත්වන්නට මදුරු දැලක් තිබුනත් බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය නිසා ඇතිවුණ මහා වැසි වල සීතල නසන්නට ඕනෑ තරම් දේවල් ද තිබුනි. නවාතැනට ආවා කියා අසන්නට සමීපතමයන් මට සිටියහ. එදා ඒ නින්ද කිසිසේත්ම ඇයගේ නින්ද තරම් වූයේ නැතුව ඇති.

එහෙත් මිනිසුන් අතර ඇති මේ සා වෙනස්කම් වලට හේතුව සම්බුදු නුවණින් පහදා නොදෙන්නට අපට කිසි දිනක එයට සාධාරණ පිළිතුරක් සොයා ගන්නට ලැබෙන්නේ නැහැ

මේ මිනිස් ලෝකයේ ඉපදුනු මිනිසුන් අතර සමහරුන් උසස්, සමහරුන් හීනයි . සමහර අයට දීර්ඝායුෂ තියනවා. සමහරු අඩු වයසින් මැරෙනවා. බොහෝ ආබාධ තියෙන අයත් ඉන්නවා. අඩුවෙන් ආබාධ තියන උදවියත් ඉන්නවා. ලස්සන ,විරූපී ,ආනුභාව අඩු අය මහේශාක්‍ය අයත් ඉන්නවා .සැප ,සම්පත් අඩු බොහෝ සැප සම්පත් තියෙන නීච කුල වල උපන් උසස් කුලවල උපන් නුවණැති මෝඩ මේ විදිහට මිනිස්සු වෙලා ඉපදුණු අය අතරේ උසස් භාවය හීන ස්වභාවයකුත් දක්නට ලැබෙනවා . මේ වෙනසට හේතුව සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා

පින්වත් සුභ, සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගෙ දෙය කරගෙන. කර්මය දායාදය කරගෙන කර්මය උප්පත්ති ස්ථානය කරගෙන ඥාතියා කරගෙන පිළිසරණ කරගෙන, මේ හීන, උසස් දේවල්වලට, සත්ත්වයන්ව බෙදන්නේ කර්මයයි
(චූල කම්ම විභංග සූත්‍රය)

ආනුභාව සම්පන්න ජීවිතයක් ලැබෙන්නට කර්ම විපාක රැස් වන ආකාරය සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පහදා දුන්නා.

යම් කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැතිනම් අනුන්ගේ ලාභ සත්කාර වලට ගරු නම්බුවට ඊර්ෂ්‍යා බැඳ ගන්නේ නැතිනම්, ද්වේෂය ඇති කර ගන්නේ නැතිනම්, අන්න ඒ කෙනා කර්මය නිසා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. ආයෙමත් මනුස්ස ලෝකෙට ආවොත් ඔය කර්මය නිසා මහානුභාව සම්පන්න මහේ ශාක්‍ය කෙනෙක් බවට පත් වෙනවා. යම් කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා ,නම් අනුන්ගේ ලාභ සත්කාරවලට ගරු නම්බු වලට ඊර්ෂ්‍යා බැඳ ගන්නවා නම්, ද්වේෂය ඇති කර ගන්නවා නම්, අනේ ඒ කෙනා මරණින් මත්තේ නිරයේ උපදිනවා ආයෙමත් මනුෂ්‍ය ලෝකෙට ආවොත් ඒ නිසා කිසිම ආනුභාවයක් අඩු භාවයක් නැති කෙනෙක් වෙනවා.
(චූල කම්ම විභංග සූත්‍රය)

ඒ වගේමයි කෙනෙක් භවභෝග සම්පත් බොහෝ කොට ලබන්නත් තව කෙනෙක් එවැනි සම්පත් නො ලබන්නත් කර්ම විපාක සකසන ආකාරය දෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා

යම් කෙනෙක් දන් දෙනවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආහාර, පාන ,වස්ත්‍ර, යාන ,මල්, සුවඳ ආලේපන, සයනාසන, ආවාස, තෙල් පහන් පූජා කර ගන්නවා නම්, ඒ කර්මය නිසා මරණින් මතු දෙව්ලොව උපදිනවා.

ආයෙමත් මනුස්ස ලෝකෙට ආවත් බොහෝ භෝග සම්පත් ලබනවා .

යම් කෙනෙක් දන්දෙන්නේ නැති නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ ආලේපන සයනාසන ආවාස තෙල් පහන් පූජා කර ගන්නේ නැති නම් ඒ කර්මය නිසා මරණින් මතු නිරයේ උපදිනවා ආයෙමත් මනුස්ස ලෝකයට ආවොත් භෝග සම්පත් අල්ප ව තමයි ලබන්නේ
(චූල කම්ම විභංග සූත්‍රය)

දැන් අපි බලමු …මේ කිසිවක් මැවුම් කාරයකු කළ දේවල් නොවෙයි .ඉබේම හටගත් දේවලුත් නොවෙයි .හේතුවකින්මයි ඒ දේවල් සැකසුණේ. හේතු වෙනස් කිරීමෙන්මයි ඒ දේවල් වෙනස් කළ හැක්කේ .අපේ රටේ මෙවැනි දුර්භාග්‍ය සම්පන්න ඉරණම් වලට ගොදුරු බවට පත්වී සිටින්නේ බොහොම ටික දෙනයි. ඒ ටික දෙනත්, නිතර දන් පැන් පුදන සමාජය නිසාවෙන් යම් හෝ සුව සුවපහසුවක් අත්විඳිනවා. දානය ගැන නොදන්න ඒ ගැන කතා නොකරන මීටත් වඩා දුකක් දුප්පත් කම් වලට මුහුණ දෙන අති මහත් ජනතාවක් සිටින රටවල් ලෝකෙ තිබෙනවා .

දානය ගැන පරිපූර්ණ වශයෙන් දේශනා කොට වදාළ සම්බුදු රජාණන් වහන්සේ පහළ වූ දඹදිව පවා භෞතික විද්‍යාව මාන වන අන්ත දිළිදුකම දකින්නට පුළුවන්. කළ හේතුන්ගෙන් හටගත් මේ කර්මඵල ස්වභාවය ඉක්මවා යන අධ්‍යාත්මික පොහොසත් බව උරුම කර ගන්නට ඔවුන් අති බහුතරය වාසනාවන්ත නොවීම කණගාටුවට කරුණක් නම් තමයි.

නමුත් ඒ වාසනාව අපට අහිමි වී නැහැ ඇයගේ කතාව සහ ලෝකය බොහෝ ජනයාගේ කතාව අපේ කතාව නොවන්නට හේතු සකසා ගන්නට අපට අවස්ථාව තිබෙනවා. ඒ අවස්ථාව අපට ලැබුණේ සත්පුරුෂ උතුමන් මේ උත්තුංග ධර්මය අපට අවබෝධ වන අයුරින්, පහදා දුන් නිසා. ඒ ධර්මය සවනත වැකෙන්න ට අප වාසනාවන්ත වූ නිසා.

දැන් සිතා බලමු අප අවට සිටින මේ අසරණ ජනයාට පිහිටක් වීමක් යුතුකමක් නොවේද…

ඒ වගේමයි මේ කතාව අපේ ද කතාව වීමේ අවදානමෙන් අප සහමුලින්ම නිදහස් වී නැති බවත්, මතක තබා ගත යුතුයි. චක්‍රවර්ති රාජ්‍යය දිනාගෙන, සක්විති රජුන් ව දැහැමින් සිව් දිසා පාලනය කළ පුණ්‍යවන්තයින් පවා සුගති සැප කෙළවර කුරා කුහුඹුවන් වීලා ඉපිද අපා ගත වූවා නම්, මේ අල්ප වූ පුණ්‍ය සම්පත්තිය අනුභව කරමින් කලින් කලට පලින් පල ට කුසලයේ හැසිරෙන අපේ පුන්‍ය විපාකයන්ගේ ආයුෂ ගැන කවර කතාද…

අප රැස් කරන පින ඒකාන්තයෙන් ම විපාක දී ගෙවී යනවා. මේ කතාව ඔබේ ද මගේ ද කතාවලෙස තිබුන අතීතයක් වූ වග නම් නිසැකයි. එහෙත් මේ කතාව අප කිසිවෙකුගේ අනාගත කතාව වීම සහමුළින්ම අපට වලකාලන්නට හැකියාව ඇත.

පින ගෙවී යන්නට පෙර එය කළ යුතුමයි. මුං ඇට ප්‍රමාණයේ කුඩා ගල් කැට 7ක ප්‍රමාණ ඇති දුකක් පමණක් ශේෂ ව උතුම් තෙරුවන කෙරෙහි අචල පැහැදීමෙන්,ආර්ය කාන්ත සීලයෙන් යුතු ව මේ නිවන් මගේ හික්මෙන්න ට , අප වාසනාවන්ත වුවහොත්… මේ කතාව මතු කිසි කලෙකවත් අපේ කතාව නොවී තියේවි.

සුගත මග හික්මෙන පුණ්‍යවන්තයින් විසින් පමණක් ම අත්පත් කරගන්නා ඒ වාසනාව අපට මඟ නොහැරේවා..

බෞද්ධ සහෝදරත්ව සිතින් ඔබට ගෙනා දහම් මග උපදෙසක්.

You might also like
en English
X
X