Temples of Sri Lanka

ලස්සන වෙන්න සැලොන් යන්නම ඕනද? මෙන්න රහස්…

පිදිය යුත්තන් පිදීම

බොහෝ අය පලතුරු කැවිලි ආදියෙන් පිරුණු පූජා වට්ටි මත සමහරවිට වටිනා මුදල් නොට්ටුවක් ද තබාගෙන දේවාල වෙත ළඟා වන්නේ ඔවුන්ගේ විවිධ බලාපොරොත්තු ඉටු කරගැනීම සඳහාය.

එක්තරා වෙළෙඳ නායකයෙකු විශාල සේවක පිරිසක් සමඟ මුහුදු මඟින් පිටරටකට යද්දී හදිසියේ ම නැව පළුදුවී මුහුදුබත් වන ලකුණු පහල විය .බොහෝ අය බියට පත්ව කන්නලව් කරමින් තම ජීවිත රැක ගැනීමට දෙවියන්ගේ සහාය පැතූහ. මේ අතර මා ඉතා ධාර්මිකව බොහෝ උත්සාහයෙන් කටයුතු කොට සියලු ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. අදත් මා කන්නලව් කරමින් නොසිට, උත්සාහයෙන් ජීවිතය රැකගන්න ඕන.යයි සිතූ වෙළෙඳ නායකයා මුහුදට පැන පිහිනන්නට විය. මේ අවස්ථාවේ කන්නලව් කරමින් සිට අය වෙත නොව, ධාර්මිකව උත්සාහයෙන් කටයුතු කොට දිවි රැක ගැනීමට පිහිනන මනුෂ්‍යයා රැකගතයුතු යැයි සිතා දෙවියන් විසින් වෙළෙඳ නායකයා රැකගත් බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවා. පූජා වට්ටි පිළිගැන්වීමෙන් හෝ කන්නලව් කිරීමෙන් නොව උසස් ගුණධර්ම ක්‍රියාත්මක කිරීම තුළින් දෙවියන්ගේ පවා ආශිර්වාද ලබා ගත හැකි බව ඉහතකතාවෙන් සහ සිදුවීමෙන් පැහැදිලි වෙනවා.

සංයුත්ත නිකායේ සඳහන් වන සත්තවත පදසූත්‍රයෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හතක් පෙන්වා දීලා තියෙනවා

මෙයින් පළමුවන හා දෙවන කරුණ වශයෙන් දැක්වෙන්නේ අවශ්‍ය පරිදි මවුපියන් පෝෂණය කිරීම සහ වැඩිහිටියන්ට පුද සැලකිලි දැක්වීමයි

මෙලොව සහ පරලොව අභිවෘද්ධිය සලසා ගනිමින් සැප ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ගුණ ධර්මධර්ම අටතිසක් ඇති බව මංගල සූත්‍රය පෙන්වා දෙනවා. එහි තෙවන කරුණ වශයෙන් පූජා ච පූජනීයානං යන්නෙන් ද දැක්වෙන්නේ පිදිය යුත්තන්පිදීම අභිවෘද්ධියට මාර්ගයක් බවයි.

වැඩිහිටියන්ට සැලකීම ප්‍රාග් බෞද්ධයන්ගේ සිටම ජනතාවට ඉතා අගය කළ යුතු ධර්මයක් බවට පැහැදිලි කරුණක්. මවුපියන්ට නොසලකන දරුවන් මරා දැමිය යුතුය. යන්න පිළිගත් සමාජ නීතියක් බුද්ධ කාලය වනවිටත් තිබූ බව ධර්ම ග්‍රන්ථ සඳහන් කරයි.කෙසේ වුවත් හැදෙන වැඩෙන දූ දරුවන් ඇතුලු සමාජයට මහත් මෙහෙයක් සිදු කරමින් පසු වූ වැඩිහිටියන් වෙත කාරුණික වීම සදාචාර සම්පන්න සමාජයක හොඳම හොඳ ලක්ෂණයක්.

ලෝකයේ විවිධ රටවල් දෙස බලන විටත් වැඩිහිටියන්ට සැලකිලි දැක්වීම ඉතා උසස් කොට සලකා ඒ සඳහා විවිධ නීති ද පනවා ඇති බව පේනවා . විශේෂයෙන් සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල් senior citizen හෙවත් ජේෂ්ඨ පුරවැසියන් නමින් හඳුන්වා ඔවුන්ට විවිධ පහසුකම් සහ සැලකිලි ලබා දීමට පියවර ගෙන තියෙනවා.අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක්ම පොදු ගොඩනැගිලි සෑදීමේදී විශේෂයෙන් වැඩිහිටි වයස්ගත වූවන්ට පහසුවෙන් යා හැකි මාර්ග ඇතුළු පහසුකම් හරිහැටි නොමැති නම් එවැනි ගොඩනැගිලි ඉදි කිරීමට පවා ඉඩ නොදී තිබුණු තත්වයක් දක්නට ලැබුණා.

එපමණක් නොව මුදල් අයකරන ක්‍රීඩාගාර, උද්‍යාන, කටු ගෙවල් චිත්‍රපට ශාලා සහ ප්‍රදර්ශනාගාර වැනි ස්ථානයන්හි දී මුදල් අය කිරීම් වලින් සෑහෙන සැනසිලිදායක තත්ත්වයක් ඇති කොටගෙන තිබීමත් විශේෂත්වයක්.එසේම දුම්රිය හා බස් රිය වැනි පොදු වාහන වලදී ලැබෙන පහසුකම් හා අය කරන ගාස්තු ද සහනදායක තත්ත්වයක පිහිටා තිබුණා .මහාචාර්යවරයෙකුගේ වයෝවෘද්ධ මවක් නතරකොට තිබූ ජිනීවා නුවර වැඩිහිටියන් නවාතැන් ගත් තැනක එක් අවස්තාවකදී වැඩිහිටියන්ට ලබාදී තිබූ පහසුකම් මේ රටේ තරු පහේ හෝටලයක නොමැති තරම් යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ .

ඈත කාලයේ සිට ශ්‍රී ලංකාවේ පිදිය යුත්තන්ට පිදීමේ උතුම් ගුණය ඉතා ඉහළින්ම ක්‍රියාත්මක වූ බවට දක්නට ලැබෙන සාධක රාශියකි

දෙවන පෑතිස් දුටුගැමුණු සද්ධාතිස්ස සිරිමෙවන් ආදී රජවරුන් මහත් ගෞරවයෙන් සැලකූ තුනුරුවන් උදෙසා මෙය ශ්‍රී ලංකාව පූජා කළ බව වංශ කතාව සඳහන් කරයි.

එපමණක් නොව බොහෝ රජවරු ගම්බිම් කෙත්වතු ආදිය සැදැහැ සිතින් තුණුරුවන්ට පූජා කළා . විශේෂයෙන් සංඝරත්නය කුල දේවතාවුන් සේ සලකා අවශ්‍ය සෑම විටකම අවවාද අනුශාසනා ලබා ගනිමින් ද උන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරමින් ද මහත් සේ ගෞරව කළා .

ලාංකීය සමාජය ඈත කාලයේ ජීවත් වූ වැඩිහිටියන්ට මහත් ඕනෑකමකින් සැලකිලි දැක්වූ බව නිදසුන් රාශියක් දක්නට ලැබෙනවා .අටවැනි අග්‍රබෝධි රජතුමා විශේෂයෙන්ම තම මවගේ උපස්ථාන සදහා උසස් දේ සිදු කළ බව මහාවංශය පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. රොබට් නොක්ස් විසින් ලියන ලද එදාහෙළදිව නම් ග්‍රන්ථය විමසිලිමත්ව බලන විට පෙනී යන්නේ ලාංකීය සමාජයේ බොහෝ අය පිදිය යුත්තන් පුදමින් සැලකිය යුත්තන් ට අවශ්‍ය සැලකිලි දක්වමින් ප්‍රශංසනීය ජීවිතයක් ගත කළ බවයි

බුදු දහමට අනුව ගෞරවය හා වැඳුම් පිදුම් ලැබීමට වයෝවෘද්ධ භාවයට වඩා තිබිය යුතු වෙනත් වෘද කම් කිහිපයකි .

එනම් ශිලා වෘද්ධ ගුණවෘද්ධ තපෝ වෘද්ධ සහ ඥානවෘද්ධ යන උතුම් ගුණයන්ය.

වයස කවර තරමට වුවත් කිසිදු සීලයක් නොරකින තැනැත්තා පන්සිල් රකින්නාට ගෞරව දැක්විය යුතු ය .පන්සිල් රකින්නා අට සිල් රකින්නා ටත් අටසිල් රකින තැනැත්තා දස සිල් රකින අයටත් ගරු සැලකිලි කළ යුතුය. දස සිල් රකින ගිහියා පැවිදිව දස සිල් රකින සාමණේර නමට ගරු කළ යුතුය. සාමණේරනම උපසම්පදා භික්ෂූන් වහන්සේට ගෞරව දැක්විය යුතු ය . මේ අන්දමට වඩාත් සීලවෘද්ධ තත්ත්වයට පත්වීම පිදිය යුතු බවට පත්වීමේ හොඳ ලක්ෂණයකි.

විවිධ ගුණයන්ගෙන් වැඩිවීම ගුණවෘද්ධ භාවයේ ලක්ෂණයයි .
කෙනෙක් මවුපියන්ට පමණක් නොව පවුලේ අන් අයටත් සේවක සෙවිකා දීන්ටත් කළ යුතුකම් නොඅඩුව සිද්ධ කරද්ද අසරණ හා අහිංසක අයට අවශ්‍ය ලෙස පිහිට වෙත් ද සමාජයට කරදරයක් නොවන ලෙස ජීවත් වෙද්ද මෙවැනි දේ උසස් ගුණධර්ම වශයෙන් සැලකේ.

සැකෙවින් සඳහන් කරතොත් කිසිවෙකුට කරදරයක් නොමැති ලෙස පවත්වාගෙන යන තම ජීවිතය නිරන්තරයෙන් අනුන්ගේ යහපත සඳහා යෙදවීම බෙහෙවින් අගනේය .විවිධ වැරදි ක්‍රියාවන් සිදු කිරීම සඳහා නොයෙදවීම බෙහෙවින් අගනේය.

මෙසේ විවිධ වැරදි ක්‍රියාවන් සිදු නොකිරීම සඳහා ඇදී යන සිත දමනය කොට වැඩි දියුණු කිරීම සඳහා යෙදවීම තපෝ වෘද්ධ නමින් හැඳින්වේ

ප්‍රඥාව වැඩි වන විට ඇති ඇතිවන්නේ ඥානවෘද්ධ භාවයයි විද්‍යාව ,ඉංග්‍රීසි ,භූගෝලය ආර්ථික විද්‍යාව ,ආදී කවර විෂයක් හැදෑරුවත් ඒ තුළින් බුද්ධිය වර්ධනය ඇති වුවත්, නියම ප්‍රඥාවන්තයකු බවට පත්විය නොහැකියි.

ප්‍රඥාව යන්නෙහි අර්ථය ඉතා ගැඹුරුයි .එසේම බුද්ධ දේශනාවට අනුව යම් කිසි දෙයක් වැරදිය යම් කිසි දෙයක් හරිය යයි නිවැරැදිව තීරණය කොට සියලු වැරදි වලින් ඉවත්ව නිවැරදි දේ කළ හැකි නම් එය ප්‍රඥාවන්ත ක මේ ලක්ෂණයක් බව සැකෙවින් සැලකීම ඉතා වටී. බාධක හා ගැටලු ඇති වූ විට කම්පාවට පත්ව හිත අවුල් කර ගැනීමකින් තොරව මුහුණ පෑමට ඇති ගැටළුව විසඳාගත හැකි නම් ,එවැනි ප්‍රඥාව බෙහෙවින් අගය කළ යුතු එකකි . ධර්මානුකූලව සලකන විට නිවන් අවබෝධ කිරීමට තුඩුදෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධකර ගැනීමේ ශක්තිය උතුම් වූ ප්‍රඥාවයි. සදාකාලික සැපත වූ නිර්වාණ අවබෝධය මේ විශිෂ්ටතම ප්‍රඥාව තුළින් සිදු වෙයි.

මිනිසකු මනරම් හා වටිනා භාවයට පත් වීමට කළ යුතු දේ තේරුම් ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත්. බොහෝ අය ශරීරය නිතරම සෝදමින් අගනා ඇඳුම් පැළඳුම්වලින් සරසවා උසස් තත්ත්වයක් ලබා ගැනීමට ක්‍රියා කරත්. සුවඳ සබන් ගා සේදුවත් සෙන්ට් පවුඩර් මොනතරම් ඇගේ තැවරු වත් නියම පිරිසිදු භාවය ඒවායින් ඇති නොවන බව හා චිත්තෙ සුද්දේ විසූජ්ජන්ති යනුවෙන් දැක්වෙන අන්දමට අභ්‍යන්තරයේ පවතින සිත පිරිසිදු තාවයට පත් කර ගැනීමට අප වෙහෙස විය යුතුයි .

බුද්ධ දේශනාවට අනුව වයස සීලය ගුණය හා ප්‍රඥාව යන උසස් ගුණ ධර්මයන්ගෙන් යුක්ත වූ අයට යමෙක් ගරු සැලකිලි දක්වත් ද මෙලොවත් පරලොවත් මහත් වූ සැප ලබා ගැනීමට එයම හේතුවක් වෙයි. අඩු ආයුෂයෙන් මරණයට පත්වීම, විරූප වූ ශරීරයක් ඇති වීම, ලෙඩ දුක් වලට භාජනය වීම, අත් පා ඇස් කන් නාසාදී අවයව හා ඉන්ද්‍රිය දුබලවීම සහ ඥානවන්තයන් බවට පත්වීම වැනි දුක්ඛදායී තත්ත්වයන්ට භාජනය නොවී ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංච සම්පත්තියක් ලබා සසර ප්‍රීතිමත් ජීවිතයක් ගෙවීමට පිදිය යුත්තන් පිදීම ඉතා හේතුකාරකයක් වෙයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X