කිළුට අතරින් පිරිසිදු බව දකිමු
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන් වහන්සේ රාග අධික චරිතයක් .දීර්ඝ කාලයක් දීර්ඝ කාලයක් භාවනා කරන්න උත්සාහ කළත් හැමවිටම රාග සිතුවිලි නිසා ම උන්වහන්සේට හරිහැටි භාවනා කරන්නට බැරි වුණා. අඩුම තරමින් මනසේ යම් කිසි සන්සුන් බවක් ඇති කරගන්න වත් උත්සාහයක් දරා ගන්නට බැරි වුණා.
උන්වහන්සේ පිළිකුල් භාවනාව ,අසුභ භාවනාව කරන්න උත්සාහ කළා. ඒත් ඒ පිළිකුල් භාවනාව අතරින් පවා සරාගී සිතුවිලි මතු වෙන්නට පටන් ගත්තා. අවසානයේ උන් වහන්සේට තමන් ගැනම ලොකු කලකිරීමක් ඇති වුණා .මෙහෙම පැවිදි වෙලා ඉඳලා වැඩක් නැහැයි කියලා උන්වහන්සේට වැටහුනා .රාග සිතුවිලි වලින් දූෂිත ව පිහිටා විඳිනවා විනා අන් කිසි දියුණුවක් මම ලබලා නැහැ .නමුත් සිවුරු හැරලා යන්නත් බැහැ .එකම විසඳුම සියදිවි නසාගැනීම කියලා හිතලා උන්වහන්සේ දිගින් දිගටම තමන්ගේ උත්සාහය අසාර්ථක වෙන කොට තමන් ගැනම කලකිරුනා.
එතකොට ප්‍රශ්න දෙකයි එකක් රාග සිත අනික තමන් ගැනම ඇතිවන කළ කිරීමේ සිත. නමුත් කොතරම් රාග සිතුවිලි වලින් පීඩා වින්දත් උන්වහන්සේ කිසිදාක ඒවාට යටවෙලා සීලය බිඳ ගත්තේ නැහැ.
මේ නිසාම අවසානයේ තීරණය කළා තව එක පාරක් හරි උත්සාහ කරල බලනවා කියලා. අමු සොහොනකට ගිහිල්ලා මළමිනියක් දිහා බලාගෙන අසුභ සංඥාව සිතට මතුකර ගන්න උත්සාහ කළ යුතුයි කියලා උන්වහන්සේ තීරණය කළා.
පසුව උන්වහන්සේ එම ප්‍රදේශයේ තිබුණු අමු සොහොනකට ගිහිල්ලා කිට්ටු වෙන්න බැරි තරමට දුගඳ හමන පිළිකුල් සහගත මළමිනියක් වෙත ගියා.සියල්ල විඳ දරාගෙන ටිකෙන් ටික කිට්ටුවට ගොස් තැන තැන කුණු වෙච්ච මිනී කුණු හිස්කබල් ඇටසැකිලි මලමිණී බාගෙට සත්තු කාල එහෙම බලාගෙන යනකොට එක මළමිනියක් හොඳටම ඉදිමිලා තියෙනවා දැක්කා.
කුණුවෙලා ඕජස් වැක්කෙරෙනවා දැක්කා. මැස්සෝ පණුවෝ නළියනවා උන්වහන්සේ කල්පනා කළා මේක හොඳයි මට ශරීරයෙන් පිළිකුල් බව මෙනෙහි කරන්න කියලා. ටික වෙලාවක් ඕනෑකමකින් ඒ දිහා බලාගෙන අසුභ සංඥාව මතු කරගන්න උත්සාහ කළා.
හදිසියේ ම උන් වහන්සේ දුටුවා දිගු දිගුකෙස් තියන බව එයින් උන්වහන්සේ වටහා ගත්තා මේක ස්ත්‍රියකගේ මළසිරුරක් බව. ඒ ස්ත්‍රි සංඥාව ඇති වෙනවත් සමඟම ගත සිත යට කරගෙන රාග සිත මතු වුණා. දැන් කරන්න ආවේ වෙන දෙයක් සිද්ධ වුණේ වෙනත් දෙයක්.උන්වහන්සේට කොහොමවත් ඉන් එහාට ඒ රාග සිත යටපත් කරලා අසුභය වඩන්න ට බැරි වුණා.
නැවතත් උන්වහන්සේ ළඟ තිබුණු ගහක් යට වාඩිවෙලා ටිකක් කල්පනා කරලා බැලුවා. මොකක්ද මේ සිද්ධ උනේ කියලා . ඇත්තටම මේ කුණු වෙලා තියෙන මළකුණ පිළිබඳව සරාගී සිතක් ඇති වෙන්නට පුළුවන් ද. එහෙම වෙන්න විදිහක් නෑ. එහෙනම් මොකක්ද මේ සිද්ධ වුණේ .
බොහොම සිහිකල්පනාවෙන් ඒ ගැන හිතා බලන කොට උන්වහන්සේට කාරණාව වැටහුනේ අර කෙස් ටික දැකලා මේ ස්ත්‍රී මළසිරුරක් කියලා ස්ත්‍රී සංඥාව ඇති වෙන කොටම ඒ තුළින් තමන් කැමති ස්ත්‍රී රූපය කුයි මැවෙන්නේ. එහෙනම් මේ වගේ මුසපත් වුණේ මෙම මළකඳ පිළිබඳව නෙමෙයි ඒ මනසින්ම වූ ස්ත්‍රිය පිළිබඳවයි.
එතනදි තමයි උන්වහන්සේට වැටහුණේ මේ රාග සිත මොනතරම් මායාකාරී ද කියලා. පවතින දුකක්ද පිළිකුල අප්පිරියාව සියල්ල යටපත් කරලා මොනතරම් මායාවක් තුල මනස හිර කරනවද කියලා.
මේ අනන්ත සංසාරය තුළ මෙහෙම නේද රාග සිත විසින් අප මුලා කරලා තියෙන්නෙ කියලා හැබෑව පෙනි පෙනීත් ඒක යටපත් කරලා මුලාව ම තහවුරු කරන්නේ මෙන්න මේ කාරණාව නිසයි මේ තරම් දුක ද වහනය වන පිළිකුල් සහගත මළකුණක් ඉදිරියේදී පවා මනස මුලා කරන මේ රාගය මොනතරම් මායාවක් ද කියලා උන්වහන්සේට වැටහෙන්නට පටන් ගත්තා මෙය මොන තරම් මොන තරම් නින්දිත ද
මෙබඳු මායාවක් නේද මෙපමණ කාලයක් ආශ්වාදනය කළේ කියලා රාගයේ ස්වභාවය ලක්ෂණ හරියටම දකිනකොට රාගය ප්‍රහීණ වුණා. මුළාව විද්‍යාව අතුරුදන් වුණා උන්වහන්සේත් අර්හත් භාවයට පත් වුණා…🙏🙏🙏
උක්ත සඳහන් කතාව හරහා අප යම් කිසි දෙයක් වටහා ගන්නට උත්සාහ ගනිමු…..
මෙපමණ කාලයක් මේ සොබාවය උන්වහන්සේට දකින්නට බැරිවුනේ කුමක් හේතු කරගෙන ද ඒ මනෝභාවය දෙස සිහියෙන් බලා වටහා ගන්නවා වෙනුවට උන්වහන්සේ එතෙක් කළේ ඒක ප්‍රතික්ෂේප කිරීම ඒ සමග පොරබැදීම ඉක්මනින් ඇදලා විසි කරල දාන්න දැඟලීම
එහෙනම් දකින්න පොර බදලා හරියන්නේ නැහැ ඒ මනෝභාවයට වහල් වෙලා හරියන්නේ නැහැ ද්වේෂයට රාගයට වහල් වුනොත් සීලය බිඳෙන තැනටයි ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතික්ෂේප කරලා ඇදලා දාන්න දඟලලා හරියන්නෙත් නෑ
එය අපි නොදන්නා දේ කරන්න හදන්නේ ඒ නිසා හරියට සිහිකල්පනාවෙන් ඒ දිහා බලන්න පුළුවන් නම් ඒ අනන්‍ය වූ ලක්ෂණ අපට පෙනෙන්නට පටන් ගන්නවා කොපමණ රළු ද කොපමන හානියක් කරනවද මොනතරම් ගින්නක් ද මොකක්ද මේකෙන් සිදුවන අර්ථය මේ ටික හදුනගන්න අපි නිදහස්ව ඒ දිහා පැත්තක තියලා බලන්නට පුරුදු වෙන්න ඕනේ.
එහෙම සිහි කල්පනාවෙන් බැලුවොත් විතරයි ඒ අනන්‍ය වූ ලක්ෂණ පෙනෙන්නට පටන් ගන්නේ හැබැයි වෙනත් අවස්ථාවක ඇතිවනමනෝභාවයන් ඊට වඩා වෙනස් වන්නටත් පුළුවන් .
එක මොහොතක ඇතිවන ද්වේෂය එක් ආකාරයකින් දැනුනට වෙනත් මොහොතක ඇතිවන ද්වේෂය වෙනත් ආකාරයකින් දැනෙන්නට පුලුවන් මේ නිසා අපට සිහි කල්පනාවෙන් දකිමින් හේතුඵල වශයෙන් ස්ත්‍රී ලක්ෂණ වශයෙන් සහ අනන්‍ය ලක්ෂණ වශයෙන් යම් ධර්මතාවයක් ප්‍රකට කර ගන්නට පුළුවන් නම් ඒ මානසික ආලෝකයට කියනවා අපි ප්‍රඥාව කියලා.
ප්‍රඥාවෙන් අපට සෘජුවම යමක් දිහා බලන්නට පුළුවන් නම් නිවැරදිව දුටු සැණින් ඒ පාප ධර්මය ප්රහාණය වෙනවා අහෝසි වෙලා යනවා ඒ නිසාම බුදුහාමුදුරුවෝ දේශනා කළා “මහණෙනි යම් කෙනෙකුගේ මනසේ ප්‍රඥාව පහළ වෙනවද එකල්හි අකුසල පාප ධර්මයන් ට සම වඳින්නට ඉඩක් නැහැ .යම් මොහොතක ප්‍රඥාව ගිලිහිලා දුෂ් ප්‍රඥාව අවදි වෙනවා ද එකල්හි අකුසලයට සමවදින්නට ඉඩක් තියෙනවා.”කියලා…
ඉතින් මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන අකුසල සමාපත්ති සූත්‍රය මූලික කරගෙනයි මේ කතා වස්තුව බවට ඉදිරිපත් කළේ. මේ කරුණු පහක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීර්ය, ප්‍රඥා ,කියලා මේ කුසල මූලයන් යම් මනසක ජනිත වෙනවා නම් එහි අකුසලයට සමවදින ඉඩක් නැහැ මේවායින් තොර වෙනවා නම් එකල්හි ඒ පුද්ගලයාගේ මනස අකුසලයට බර වෙනවා අකුසලයට සම වදිනවා. එනිසාම අකුසලයෙන් මනස ආවරණය වූ මොහොතක අපට ඉන් ගලවා ගන්නට ඕනෑ නම් එක්කෝ ශ්‍රද්ධාව භාවිතා කරන්නට පුළුවන් නැතිනම් හිරි ඔත්තප්ප භාවිත කරන්න පුළුවන්.
නැතිනම් වීර්ය භාවිතා කරන්න පුළුවන් නැතිනම් ප්‍රඥාව භාවිතා කරන්නට පුලුවන් මේ හැම ධර්මතාවයක් ම උදව් කරගෙන අපට උපන්නාවූ පාප ධර්මය ප්රහාණය කරන්නට පුළුවන් නැවත නැවත ඒ කුසල ධර්මයන් පවත්වාගන්නට පුලුවන්නම් නූපන් අකුසල ධර්මයන් නූපදීම යටපත් කරන්නට පුළුවන් උපන්නාවූ අකුසල් ධර්ම දුරු කරන්න පුළුවන් උපන්නාවූකුසල් දහම් වඩවන්න පුළුවන් ඒ වගේම නූපන්නා වූ කුසල් දහම් අවදි අවදිකරන්න මතු කරන්න පුළුවන්.
කුසල භාවනාව හැටියට අපට කරන්න තියෙන්නේ මෙන්න මේවා ගැන නිතර නිතර හිතලා නුවණින් කල්පනා කරලා එදිනෙදා ජීවිතය තුළ පුහුණු වෙන්න උත්සහ කරන එකයි.
මේ තුල නිරන්තර අභ්‍යාසයක නිරත වන්නට හැම දෙනාටම මෛත්‍රි සිතින් යෝජනා කරනවා. ඔබට තෙරුවන් සරණයි…🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood