ලෙඩ සුව කරන බෝ සෙවන
බොහෝ බෞද්ධයෝ බෝධි පූජා පවත්වන්නට පුරුදුව සිටිති. බෝධිය වටා පහන් දල්වමින්, බෝ මලුව සුවඳවත් කරමින්, බෝධිය පැනින් නහවමින් පිහිට බොහෝ සේඅපේක්ෂා කරති. බෝධිය යනු බෞද්ධයාගේ සුවිශේෂ, පූජනීය ශාකයකි.
සිද්ධාර්ථ බෝධිසත්වයින්ට බුදු වීමේදී සෙවන සැලසූ බැවින් බෝධිය,බෝ ගස යනාදී වශයෙන් හැඳින්වූවද මෙය ‘ඇසතු වෘක්ෂය’ යි. බුදුන්ට සෙවන දුන් නිසාම බෝ ගස බෞද්ධයන්ට පූජනීය වස්තුවකි. මහත් ගුප්ත බලයක් ඇතැයි විශ්වාස කරමින් බෝධියෙහි කොඩි, පඬුරු ආදිය ගැටගසමින් පිහිට අපේක්ෂා කරන්නෝද බොහෝ ය. විශේෂයෙන් ලෙඩ දුක්වලදී බෝධි පූජා පවත්වමින් සුවය අපේක්ෂා කරන්නෝ බහුල ය.
ලෝකයේ පළමු බෝධි පූජාව ලෙස බුදුරජාණෙන් වහන්සේ කළ අනිමිස ලෝචන පූජාව සැලකිය හැකිය. බෝධි සත්ත්වයන් වහන්සේ ඇසතු බෝධි මූලයේ දී සියලු කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.
බුදු බව ලැබ දෙවන සතියේ දී තමන්ගේ බුද්ධත්වය සඳහා සෙවණ ලබාදී උපකාර කළ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පුද පූජා පැවැත්වූහ. කළගුණ සැලකීම මෙන්ම බෝධි වන්දනාවට මුල් අඩිතාලම වැටෙන්නේද මෙයිනි. පසුව සැවැත්නුවර ආනන්ද බෝධිය රෝපණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධීන් වහන්සේට පූජා පැවැත්වීම ආරම්භ විය.
බෝධියෙන් පිහිට පැතීම වූ කලී හුදු භක්තිය මතම සිදු කරන්නා වූ චිත්තවේගී ක්‍රියාවලියක්ද ?
බෝධිසත්වයන් වහන්සේ හතළිස් තුන් වරක් වෘක්ෂ දේවතාවෙකු ලෙස ඉපදී ඇති බවක් ද සඳහන් වේ. සිද්ධාර්ථ කුමරු උපන්නේ ලුම්බිණි සල් උයනේය.සම්බුධත්වයට පත් වූයේ ඇසතු බෝ රුක මුලෙහිය. පරිනිර්වාණය උපවන්තන සල් උයනේය. බෝසතාණන් වහන්සේලා සියලු කල්හිම බුද්ධත්වය ලැබීම සඳහා තෝරාගත්තේ වෘක්ෂයකි. ඒ, වෘක්ෂ යනු ජීව ලෝකයේ මිනිසා හා සමීප මහත් සම්පතක් වූ බැවින් මෙන්ම මිනිස් අවශ්‍යතා මනාව වටහාගන්නා සියුම් සංවේදීතාවයක් ඇති ජීව පද්ධතතියක් වූ නිසාය.
වෘක්ෂ වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. ක්‍රිස්තු වර්ෂයට පෙර වසර හාරදහසේදීත් බැබිලෝනියාව හා මෙසපොටේමියාව (වර්තමාන ඉරාකය,ඉරානය) තුළ වෘක්ෂ වන්දනාව සිදු කර ඇති බව සර් ජේම්ස් ෆ්‍රෙසර් නම් මානව විද්‍යාඥයා හෙළි කර ඇත. ඇතැම් මිසර හා ග්‍රීක දෙවිවරු වෘක්ෂ දේවතාවන් වූ බව ඔහු තම “ස්වර්ණ ශාකය”කෘතියෙහි සඳහන් කර තිබේ. තවත් බොහෝ රටවල පුරාතනයේ වෘක්ෂ වන්දනාව සිදු කර ඇති බවට සාක්ෂි හමු වෙයි.
භෞතික ලෝකයේ පෙනෙන්නට තිබෙන සියලු ද්‍රව්‍යයන්හි මූලය වන්නේ පදාර්ථය නොව ශක්තියයි. අප සියල්ලෝද, ලොව ඇති සියලු දේද මහා ශක්ති ජාලයක කොටස් ය.එම ශක්තින් විවධ වේගයන්ට අනුව කම්පනය වීම හා විවධ ආකාරයෙන් සංයෝග වීම හේතුවන් විවධ හැඩරුව ගනියි. ගලක් සෑදී ඇත්තේ දැඩි පදාර්ථවලිනි. ජලය තුළ ඇත්තේ දැඩි නොවන ශක්තියකි. මෙම සියලු ශක්ති ආකාරවල අනොන්‍ය සම්බන්ධතවයක් පවතී.
කිසයම් නිශ්චිත ගුණයෙන් හා කම්පනයෙන් යුතු ශක්තියක් ඊට සමාන ගුණයෙන් හා කම්පනයෙන් යුතු ශක්තියක් ආකර්ෂණය කර ගැනීමට නැඹුරු වේ. සිතුවිලි හා හැඟීමද එසේය. වෘක්ෂයෝද යම් ශක්ති දරාවක් දරා සිටිති. වෘක්ෂයෝද ශක්ති දාරාවක් දරා සිටිති. එම ශක්ති දාරාවට කිරණ ද ඇතුළත් ය. වෘක්ෂ මඟින් විශ්ව ශක්තිය සහිත විශේෂ කිරණ නිකුත් කරන බවත්, මිනිස් සිතුවිලි වලට ප්‍රතිචාර දක්වන බවත් ලෝකය පුරා කළ විවිධ පරීක්ෂණ හමුවේ සනාථ වී ඇත. පත්‍ර වලින් ගහන වෘක්ෂයක් අවට මනා වාතාශ්‍රයක් පවතින බව වෘක්ෂ වන්දනාවට විරුද්ධ අය පවා පිළිගන්නා සත්‍යයකි.
මහත් ආදරයෙන් ගෞරවයෙන් පහන් දල්වමින්, සුගන්ධවත් කරමින්, පැන් වත්කරමින්, මල් පුදමින් බෝධියට පුද සත්කාර කරමින් අපේක්ෂා මතු කරන විට බෝධිය අප වෙත යහපත් ශක්ති කිරණ නිකුත් කරයි.
සාමාන්‍යයෙන් බෝධිපූජාවක් පවත්වන දින ගණනක් පවතී. එනම් දින හතක්, විසි එකක් ආදී වශයෙනි. ඒ අනුව නිතර බෝධිය අසළට ගොස් පුද සත්කාර කරන විට බෝධිය අපව හඳුනාගැනීමක් සිදුවේ.
ඒ අනුව යහපත් ශක්ති කිරණ නිකුත් කිරීම ක්‍රියාත්මක වේ. මිනිසා වටා රශ්මි කිරණක් (Aura) පවතින බව බොහෝ දෙනා දන්නා,පිළිගන්නා කාරණයකි. බෝධිය වටාද එවන් රශ්මි කිරණක් පවතී. වෙනත් වෘක්ෂ වටාද එසේය. බෝධිය අසළට නිතර ගොස් ආදර ගෞරවයෙන් යුතුව පුද සත්කාර කරන විට බෝධියේ රශ්මි මාලාව අපගේ ශරීර රශ්මි මාලාව හා මුසු වේ.
රශ්මි මාලාව යනු ශක්ති පද්ධතියක්. දුරක සිටින රෝගියෙකු වෙනුවෙන් බෝධිය ඉදිරියේ සෙත් පැතීමේදී සිදුවන්නේ අපගේ චිත්ත ශක්ති කිරණ හා ශබ්ද තරංග කිරණ බෝධියේ ශක්ති කිරණ හා මුසුව එම රෝගියා වෙත ගමන් ගමන් කිරීමයි. බෝධිය සතු බලවත් ශක්ති කිරණ අප කරා ගෙන්වාගෙන රෝගී බව හේතුවෙන් මිය යමින් පවතින ශක්ති කිරණ පුබුදුවාලීමට බෝධිය අසල සිදු කරන පුද පිළිවෙත් මහත් රුකුලක් ලබා දෙයි.
ජනයාගේ පුද සත්කාර ලබන විට බෝධියක් ශක්තීන්ගෙන් පිරී යයි. දහස් ගණන් ලක්ෂ ගණන් ජන සත්කාරවලින් පුද ලබන බෝධීන් වෙත යොමු වන්නාවූ කිරණ තරංග ප්‍රමාණය අති විශාල ය. මහත් හාස්කම් ඇතැයි පවසමින් ඇතැම් ප්‍රසිද්ධ බෝධීන් වහන්සේලා වෙත බොහෝ දෙනා යොමු වන්නේ එබැවිනි. දවස මුළුල්ලේම ජනයාගෙන් පුද සත්කාර ලබන බෝධීන් වහන්සේලා ද වෙති.
වැඳුම් පිදුම්වලට භාජනය වූ බුදු පිළිමයක් වූවද හුදු මැටි,බදාම ආදියෙන් සැදුනක්ම නොවේ. නොයෙක් ශක්ති කිරණ කැටි වූ වස්තුවකි. සුනාමි ව්‍යසනය අවස්ථාවේදී පමණක් නොව නාය යාම්, ගංවතුර ගැලීම්, සුළි සුළං ආදී අවස්ථාවලදී පවා බුදු පිළිම සුරක්ෂිත වූ බව සියලු දෙනා දන්නා කරණයකි. සාලාව අවි ගබඩාව පුපුරා යාමෙන් අවට ගොඩනැගිලි සුන්බුන් වූ නමුත් කඳවුර භූමියේ පිහිටි බුදු පිළිම වහන්සේ අති විශ්මිත අයුරින් ආරක්ෂා විය.
ජෝන් පියරාකෝස් විසින් රචිත The Energy Field in man and nature ග්‍රන්ථයෙහි සඳහන්ව ඇති ආකාරයට ඇතැම් වෘක්ෂ වටා ඇති ශක්ති පද්ධතිය විනාඩියට දහඅට වාරයක් විසි දෙවාරයක් අතර ස්පන්දන සංඛ්‍යාතයක් පෙන්වයි.
මිනිස් ශරීරය වටා ඇති ශක්ති පද්ධතිය විනාඩියකට පහළොස් වරක් හා විසිපස් වරක් අතර වාර ගණනක් ස්පන්දනය වෙයි. සිතකින් තවත් සිතකට පණිවිඩ ගමන් කිරීමේදී එම පණිවිඩය යවන හා ලබන දෙදෙනාගේ ශක්ති පද්ධති එකම සංඛ්‍යාත ප්‍රමාණයකට ස්පන්දනය වීමට පටන්ගෙන දෙදෙනාම එක් අයෙක් වන ආකාරයට ක්‍රියාකරයි. එසේ නම් ගහකොළ හා අප අතර ශක්ති පද්ධතියේ ස්පන්දනය සමාන වීම ඔවුනොවුන් අතර අධ්‍යාත්මික බැඳීමකට හේතු වෙයි.
පියවි ඇසට නොපෙනෙන බලවේග ලෙඩ රෝග නිර්මාණය කරන අතර එම බලවේගවල පලායාම සිදුවන්නේ බෝධිපූජාව වැනි ආධ්‍යාත්මික ගණුදෙනුවලිනි. සමාධිගත සිතින් යුතුව, යහපත් වූ චේතනාවෙන් කරනු ලබන බෝධිපූජාවකින් ලැබෙන ගුණය, සෙත,ශාන්තිය මෙතැකැයි කිව නොහැක. බෝධිපූජාව පවත්වනු ලබන පුද්ගලයාගේ සිත සහ සිතුවිලි අනුව බෝධිපූජාවෙන් අපේක්ෂා කරන පිහිට,සෙත ලැබීමේ වේගය හා ප්‍රමාණය තීරණය වෙයි.
බෝධිපූජාව යනු ලෙඩ රෝග සුව කරගැනීම සඳහා මෙන්ම මානසික පීඩා, අපල බලපෑම් දුරු කර ගැනීම සඳහා උපකාරී වන්නාවූ මහා ශාන්තිකර්මයකි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood