Temples of Sri Lanka

ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගත යුත්තේ කෙසේද

වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ එය කෙසේ සිදුකළ යුතුද?

 

භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පොදුවේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා ආකාරය පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.

“ඔබ ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් රැකගන්න ඕනෑ. ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ ඇස අසංවර වෙලා තිබුණොත් ආශාව, තරහ ආදී ලාමක අකුසල ධර්ම ඇතිවෙනවා. අන්න එබඳු අකුසල් ඇතිවෙන කිසි සටහනක් ගන්න එපා. අකුසල් ධර්ම ඇති වෙන්ට නොදී ඇස රැක ගන්න. ඇස හොඳින් සංවර කරගන්න. කනින් ශබ්දයක් ඇසුවට පස්සේ…, නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කළාට පස්සේ…, දිවෙන් රස වින්දට පස්සේ.., කයින් පහසක් ලැබුවට පස්සේ…, මනසින් අරමුණක් සිතුවට පස්සේ මනස අසංවර වෙලා නම් ආශාව, තරහ ආදී ලාමක අකුසල් ඇතිවෙනවා. එවැනි අකුසල ධර්ම හටගන්නා කිසිම සටහනක් ගන්න එපා. එවැනි සටහනක කොටසක්වත් ගන්න එපා. අකුසල් ධර්මයන් ඇතුළුවෙන්න නොදී මනස රැක ගන්න. මනස හොඳින් සංවර කරගන්න” කියාය.

විශේෂයෙන් ම වර්තමානයේදී ඉන්ද්‍රිය සංවර කරගැනීමට නම් අසභ්‍ය චිත්‍රපටි, සටන් චිත්‍රපටි ආදිය නැරඹීමෙන් වැළකීම, කාම සඟරා කියවීමෙන් වැළකීම ඉතාම වැදගත්. කාමය අවුස්සන ලාමක ගීත ශ්‍රවණයෙන් ද වැළකිය යුතු වෙනවා. ඒ සඳහා යහපත් ආදේශකයක් ලෙස බෞද්ධ තේමා ඇතුලත් අර්ථවත් චිත්‍රපටි නැරඹීම, බුදු ගුණ ගීත, මව්ගුණ ගීත වැනි සිත සංසිඳුවන ගීත ශ්‍රවණය කිරීම ගිහි පින්වතුන්ට සිදුකළ හැකිය. පොතපත කියවීමේදී ද සම්බුද්ධ චරිතාපදානය, අරහත් චරිතාපදාන ආදී කෙලෙස් සංසිඳුවා ශ්‍රද්ධාදී කුසල ධර්ම වැඩෙන දහම් පොත් පත් ඇසුරු කළ හැකිය. මේ සඳහා ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන් විදුලියත්, බෞද්ධ පුවත්පතත් මහානීය වූ අනුග්‍රහයක් සිදු කරනවා.

ඉන්ද්‍රිය සංවරයට උපකාරී ධර්ම ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සති සම්පජඤ්ඤය හෙවත් සිහි නුවණ දියුණු කර ගැනීමයි.

මිනිසා පි‍්‍රයජනක අරමුණු කෙරෙහි දක්වන ඇලීම තුළින් අසීමිතව ඉඳුරන් පිනවීමට වෙහෙසෙති. ඒ අන්දමට ඉන් විපතට පත්වන ආකාරය අවබෝධ කර ගනිමින් ඉඳුරන් පිනවීම පාලනය කර ගැනීම ඉන්ද්‍රිය සංවරය යනුවෙන් බුදු දහමේ දැක්වේ.

භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවන සමයේ මහා භාරතය පුරා සත්‍යය සොයා ගිය ආගමික ශාස්තෘවරු විශාල ප්‍රමාණයක් වූ බව දැක්වේ. සත්‍යාවබෝධය පිණිස ඉන්ද්‍රිය සංවරය අත්‍යාවශ්‍ය බව ඔව්හු අවබෝධ කර ගෙන සිටියහ.

ඒ සඳහා ඇතැම්හු ශරීරයට අපමණ දුක්වේදනා දෙමින්, අත්තකිලමථානුයෝගී පිළිවෙත ඔස්සේ ඉන්ද්‍රිය සංවරයට වෙහෙසුනහ. තවත් පිරිසක් අසීමිතව ඉන්ද්‍රිය පිනවමින් කාමසුඛල්ලිකානුයෝගීව ඉන්ද්‍රිය සංවරය අපේක්ෂා කළහ. මේ මාර්ග දෙකම ප්‍රතික්ෂේප කළ භාග්‍යවතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා සීලය මගින් ඉන්ද්‍රිය හික්මවා ගැනීමේ ක්‍රමවේදය පෙන්වා වදාළහ.

මේ පිළිබඳව නිවැරදි ක්‍රමය මජ්ඣිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රදේශනාව තුළින් පහදාදුන් භාග්‍යවතුන් වහන්සේ අරමුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගෙන, අන්තයට නොයා, මධ්‍යස්තව ක්‍රියාකිරීම මගින් ඉන්ද්‍රිය සංවරය කර ගත හැකි අන්දම පහදා වදාළ සේක.

පෘථග්ජන මිනිසා ස්වකීය ඉන්ද්‍රියයන්ට පි‍්‍රයජනක අරමුණු ලද විට ඒ පිළිබඳ ආශාවෙන් ඇලී ගැලී වාසයටත්, අපි‍්‍රයජනක අරමුණු එළඹුනවිට දුක, දොම්නස, උපදවා ගෙන ගැටුම් ඇතිකර ගැනීමටත් යොමුවීම, ස්වභාවිකය. ඉන් මිනිසා විපතට පත්කරවන කල කෝලාහල, සාහසික මිනීමැරුම්, සියදිවි නසා ගැනීම් ආදිය ඇතිවන අවස්ථා පවා අද්‍යතන සමාජයේ දක්නට ලැබේ.

තමා මෙලොවට බිහිකොට කවා පොවා ඇති දැඩි කල ආදරණීය මව්පියන් මරා දමන තත්ත්වයට පත්ව ඇත. නමුත් සිතට ඇතිවන අරමුණු ගැන ඇලීමෙන් හා දොම්නසින් තොරව උපේක්ෂාවෙන් සිතීමට තරම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවීනම් එම දුර්දාන්ත විපත්ති පහසුවෙන් වළක්වා ගත හැකි වනු ඇත.

මේ අනුව බලන කල මනාව පැහැදිලි වන්නේ මිනිසා සතු ඉන්ද්‍රිය ඔහුට ස්වකීය හිතවැඩ පිණිස මෙන්ම අහිත පිණිස යොදා ගත හැකි බවය. සංවර ඉන්ද්‍රිය හිතවැඩ සලසයි. අසංවර ඉන්ද්‍රිය අහිත අවැඩ පිණිස යෙදෙයි.

සංවරය සමාජ ජීවිතයේදි අත්‍යවශ්‍යය. ඉන්ද්‍රිය සංවරය නැති නොහික්මුණු තැනැත්තා සමාජයේ පිළිකුලට භාජනය වේ.

අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ හික්මුනු මිනිසකු ගොඩනැගීමයි. (විද්‍යා දදාති විනයං) සංවර මිනිසුන්ගෙන් පිරි සමාජය මොනතරම් සිත් ගන්නා සුලු තැනක් වේද? ඉන්ද්‍රිය සංවරවූවෝ අර්ථවත්වූත්, සමාජ හිතකාමීවූත් දෙයක්ම සඳහා තම ඉන්ද්‍රියයන් යොදවති. එසේ ඉන්ද්‍රිය සංවරයෙන් යුත් පුද්ගලයාට සමාජයේ කවුරුත් කැමැති වෙති.

එවැනි පුද්ගලයන්ගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කරනු ලැබ ඇත්තේ මෙලෙසිනි.

(දැමුණාවූ අශ්වතරයෝත්, ආජානීය අශ්වයෝත්, සෛන්ධවරයෝත් මහා ඇත්තුන් උතුම්ය. එහෙත් ඒ සියල්ලන්ටම වඩා ආත්මය දමනය කර ගත් සංවර පුද්ගලයා උතුම් වේ)

වර්තමානයේ සමාජ වටපිටාව ඇතැම් විට සැකසී ඇත්තේ ඉන්ද්‍රිය අසංවරයට දිරි දෙන, මෙන්ම ඊට පොළඹවන අන්දමිනි.

ඒ මැනවින් තේරුම් ගෙන ක්‍රියාකිරීමට ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් පුද්ගලයා සමත්වෙයි. සමාජයේ අසංවර බව දුරු කොට, ඉන්ද්‍රිය සංවරයෙන් යුතු මිනිසුන් පිරිසක් බිහිකිරීමට ,සෑම වීර්යයක්ම ගනියි. එවැනි, බෞද්ධාගමික සංවරශීලිත්වයෙන් අපේක්ෂා කරනුයේ මිනිසා අක්‍රීයභාවයට පත්කිරීම නොව, මෙලොව පරලොව අභිවෘද්ධියට හේතුවන සක්‍රීයභාවයක් ඇති කිරීමයි. නිවැරදි ජීවන දර්ශනයක් ගොඩනගා ගැනීමයි.

ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමත් මිනිසා ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ආදර්ශමත්ව ක්‍රියා කරයි. ජීවිතය අර්ථවත්ව ගත කරමින් මෙලොව පරලොව යහපත උදාකර ගනියි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X