භව සසරෙන් එතෙර වන්නට නම්…
භව සසරෙන් එතෙර වන්නට නම්…
සතිපට්ඨාන සූත්රයේත් වෙනත් බොහෝ සූත්‍ර ධර්ම වලත් දුක කියන එක බුදුහාමුදුරුවො බොහොම පැහැදිලිව දේශනා කරල තිබෙනවා. අප මේ ලෝකය අත්විඳින්නේ ඇස කන නාසය දිව කන මන යන ඉන්ද්‍රියන්ගෙන් ලබන අරමුණු ඔස්සේ ඇසූ දුටු විඳි දේ අර ගවයෙක් දවල් කෑ තණකොල රෑ තිස්සේ වමාරා කන්නා වගේ.
නැවත නැවතත් මෙනෙහි කරමින් මනසින් විඳිමින් අසන දකින විඳින දේ හා ඒ තුලින් ගොඩ ගසා ගත් පොකුරු ගසන සංකල්පනා තමයි අපේ ලෝකය ගොඩ නගන්නේ. ඊට පිටින් ලෝකයක් අපට නැහැ. අපි අපේ ලෝකය ගොඩ නගා ගැනීමේදී ගත් අරමුණුම උපයෝගී කරගෙන, වෙනත් කෙනෙක් හදා ගන්නේ ඔහුට ආවේනික වෙනම ලෝකයක්. අපි අප හදා ගත් ලෝකය කේන්ද්‍ර කොට ගෙන අනෙක් අයගේ ලෝක අපගේ ලෝකය සමඟ සසඳනවා. සසඳන්නේ මැනීමෙන්.
ඉන්ද්රිය ඇසුරින් ගන්නා හැම අත්දැකීමක්ම අපේ ලෝකය පුලුල් කරනවා. අප අන් අය හදා ගත් ලෝක අප හදා ගත් ලෝකය සමග සසඳලා ඒ ලෝක සමග ඇලීම් හා ගැටීම් ඇති කර ගන්නවා. මෙසේ අප අපේ ලෝකය හදා ගන්නා අතර හැම අත්දැකීමක්ම අපව කයෙන් වචනයෙන් හෝ මනසෙන් කරන ක්‍රියාකාරකමකට පොළඹවනවා. බාහිර අරමුණු ඔස්සේ අප අත්දැකීම් ලබා ගන්නේ ඒවා අපේ අභ්‍යන්තර ලෝකයට ගැලපෙන පරිදි කරගත් සංස්කරණය කිරීම් සමූහයකින් යුක්තවයි. මේ සංස්කරණය කිරීම් අප මනසින් කයින් වචනයෙන් කරන ක්‍රියාකාරනම් වලින්ද පිළිබිඹු වෙනවා. අපගේ මේ ක්‍රියාකාරකම් මගින් අප අන් අය හදා ගත් ලෝක වලට බලපෑම් එල්ල කරනවා. අපගේ මේ ක්‍රියාකාරකම් නිසා අපගේ ලෝකය ‘යමෙක්’ විලස සෙසු ලෝකයා ඒ අයගේ ඉන්ද්රිය ඔස්සේ ලබන අත්දැකීම් ජාලයට, අරමුණු ලෙස හසු කර ගන්නවා.
බුදුහාමුදුරුවො හේතුපල දහමින් දේශනා කල ආකාරයට යම් ධර්මතාවයකට අනුව සැකසුනු හේතුපල දහමක් අපගේ මේ නිරන්තර ක්‍රියාකාරීත්වයට හේතු වෙනවා. අප දකින්නේ අහන්නේ විඳින්නේ අපගේ ඉන්ද්රිය ඒ ඒ ඉන්ද්‍රියන්ට අදාල බාහිර අරමුණු හා ස්පර්ශයෙන්. ඒ ස්පර්ශය ආශ්රයෙන් ලබා ගන්නා සංවේදන විඳීම් නිසා අපගේ මනස සංකල්පනා පොදි ගහනවා. ඇසීම ඇසීමක්ම පමණක් නොවී දැකීම දැකීමක්ම පමණක් නොවී විඳීම විඳීමක්ම පමණක් නොවන තාක්, ඒ ඇසුරින් අප ගොඩ නගා ගන්නා පොකුරු ගසන සංකල්පනා හදන ලෝකය තනිකරම දුකක්. මෙසේ අප හදාගත් ලෝකයයි පංචඋපාදානස්කන්ධය කියලා කියන්නේ. අන්න ඒ පංචඋපාදානස්කන්ධය තනිකරම දුකක් බව බුදු හාමුදුරුවො දේශනා කලා.
බුදුහාමුදුරුවො මේ කාරණය තේරුම් කලේ:ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, මරණය දුකක්, ශොකයන්, පරිදේවයන්, දුක්ඛයන්, දොමනස්සයන් උපායාසයන් කෙටියෙන් කිවහොත් පංච උපාදානස්කන්ධයමත් දුකක් කියලයි.
අප හදා ගත් ලෝකවල තියෙන්නේ තනිකරම දුක ඇතිවීමක් හා නැති වීමක් පමණයි. එහෙත් ලෝකයා මේක ගන්නේ සැප ඇති වීමක් හා නැති වීමක් ලෙසයි. දුක නැතිවීම සැප ඇති වීමක් ලෙසයි ලෝකයා ගන්නේ. ඒ ඇතිවූ සැප පවත්වා ගැනීමටත් නැතිව යා නොදීමටත් විවිධ සංකල්පනා ඔස්සේ ලෝකයා ක්‍රියාත්මක වෙනවා. දුටු දේ දුටු මතින් නතර වීමත්, ඇසු දේ ඇසු මතින් නතර වීමත් විඳි දේ විඳි මතින් නකර වීමත් ලෝකයාට මහත් බිය ගෙන දෙන කාරණයක්. ඊට හිත හදා ගැනීම කොහොමටවත් කිරීමට නොහැකි අසීරු දෙයක් ලෙසයි පෙනෙන්නේ. ඉතින් දුකින් මිදීමට හිතා තනිකරම දුකක් වූ මේ ලෝකයමයි ගොඩ නගන්නේ.
කොයි කවුරුත් මේක තේරුම් නොගන්නා තාක් ඔසවා ගෙන යන්නේ මහත් බරක්. බොහෝ දෙනාට වැටහෙන්නේ ගොරෝසු යයි හැඳින්විය හැකි ආකාරයේ දුක් පමණයි. එදිනෙදා ජීවිතයේ ලෝකයා අත් දකින මරණයේ දුක, ලෙඩ රෝග නිසා ඇති වන දුක, ජරාවට පත් වීමේ දුක, වෙන් වීම් හමු වීම් නිසා ඇති වන දුක, නොයෙකුත් සිත් තැවුල් ආදිය නිසා ඇති වන ද්රක, කැපීම් කෙටීම් පහරදීම් ආදියට ලක්වීමේ දුක ආදී මේ නා නා ප්‍රකාර දුක් කන්දරාව මේ ගොරෝසු දුක ලෙස මා දකිනවා.
සාමාන්‍යයෙන් ලෝකයා හුරු වෙලා ඉන්නවා, මේ ගොරෝසු දුක අමතක කරලා ඒ ඒ තැන සතුටු වෙමින් ජීවත් වන්න. දුක වහලා ජීවත්වන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක තනිකරම තමාටම කර ගන්නා වංචාවක්. මේක තනිකරම දුකක් බව පිළිගන්නා තාක් දුකින් මිදීමට යයි සංකල්පනා ඇසුරින් හදා ගන්නා හැම පිළියමක්ම දුකෙන්මයි කෙලවර වෙන්නේ.
මුවහත් ප්‍රඥාව සහිත සිතකට මේ ගොරෝසු දුක් කන්දරාව යටින් දිවෙන සියුම් යයි කිව හැකි දුකක්ද අත් විඳින්න පුලුවන්. එය අර ගොරෝසු දුක වගේ නොවේ. හැමවිටම හෙවනැල්ල වගේ අපේ ලෝකයේ පසුබිමේ තියෙන බව ඔහු තේරුම් ගන්නවා. ඔහුට නිබ්බිදාව ඇති වීමට හේතු වන්නේ දුක පිළිබඳ මේ සියුම් තත්ත්වයයි. නිබ්බිදාව ඇති වූ විට ඔහු වහා දුකින් මිදීමට අප්‍රමාදීව මාර්ගයක් හෙවීමේ වැදගත්කම තේරුම් ගන්නවා. දුකින් සම්පූර්ණයෙන් මිදීමක අවශ්‍යතාවය ඔහුට ප්රත්යක්ෂ වෙනවා.
මතුපිටින් පෙනෙන දුකට ප්‍රතිකර්ම යෙදීම මගින් ජීවිතය අර්ථවත් කිරීමට වෑයමක් ලෝකයාගේ හැම ක්‍රියාකාරකමකින්ම දක්නට ලැබෙනවා. ජීවිතය පහසු කිරීමට බිහිවූ හැම විද්‍යාවක්ම, ශාස්ත්රයක්ම මේ ක්රියාකාරීත්වයේ ප්‍රතිළුලයක් විදියටයි මා දකින්නේ.
සැරියුත් හාමුදුරුවෝ නොයෙක් ආකාරයෙන් තමාගේ ශරීරයේම පිළිකුල් බව දකිමින් එය දරා ගෙන සිටීම කුණු වී වැගිරෙන මස් හැලියක් දරා ගෙන යාමට උපමා කලා. මේකෙන් පේනවා මේ අපේ ලෝකයේ තියෙන හරයක් නැති බව. මේක තනිකරම දුක් ගොඩක් නම් ඒකෙ ගත යුතු හරයක් නැහැ.
නිබ්බිදාව තුලින් ඇති වන කලකිරීම නිසා කෙනෙකු දැඩි ප්‍රවේගයකින් යුතුව දුකින් මිදීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙළඹෙනවා. බුදු දහම අසන්නට ලැබෙන විට මිදීම පිළිබඳව ඇති වන ප්රබෝධයකින් බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ පුහුණුවේ ඔහු වඩාත් හොඳින් නිරත වෙනවා.
මුලදී අර ඔහුට දැනුන මහා දුක් ස්කන්ධයේ බර දරණු නොහැකිව ඔහු හැඩ පහරට හසු වුනු අයෙක් කුමක හෝ එල්ලී දිවි ගලවා ගැනීමට උත්සාහ දරනවා වගේ නොයෙකුත් දෘඨි මති මතාන්තර වල එල්ලී ගැලවීමට මං හොයනවා. ඒත් ඒ හැම දෘෂ්ඨි මති මතාන්තරයක්ම ගැලවී වැටෙන පරඩැල් බව ඔහු තේරුම් ගන්නවා. ඒත් බුදුහාමුදුරුවන් දේශනා කල දහමේ එල්ලී ගත් ඔහුට ගැලවීමේ ඡායාවක් පෙනෙනවා. මුලදී ඔහු විශ්වාසයකින් එහි එල්ලී ගත්නේ. ඒ විශ්වාසයට සරිලන ප්රතිලාභ නිසා ඔහුට දුකින් මිදීම පිළිබඳ කෙමෙන් ශක්තිමත් වන ප්රත්යක්ෂයක් ලැබෙනවා. ඔහුගේ විශ්වාසය දැන් පෙරට වඩා ශක්තිමත්. ඒ වුනාට ඒක ගැලවීම පිළිබඳ අන්ධ විශ්වාසයක් නොවේ. අනුපූර්ව ප්‍රතිපදාවක් තුලින් ප්‍රතිපල සමගම ක්‍රමයෙන් ශක්තිමත් වන විශ්වාසයක් ඒක. බුදු දහමේ මේකට ශ්‍රද්ධාව කියලා කියනවා.
මතු පිටින් රැලි නගන ගොරෝසු දුක් තවමත් ඔහුව පෙළනවා. ඒත් ඔහු දැන් ඒ පිළිබඳව ගැඹුරු උපේක්ෂාවකට පත් වෙලා. ඔහුට තවමත් මරණය ලෝකයා හඳුන්වන මරණයම වුවත් ඔහුට දැන් යම් වැටහීමක් තියෙනවා ..
මේ ගැඹුර ඔබට වහවහා වැටහේවා..හිත සවි වැඩේවා…
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood