විවිධත්වයේ දේශයාණෙනි, නිදහස් බිමට අසල්වැසියාගෙන් සුබ පැතුම්
ඉන්දියානු සාගරයෙහි පිහිටි මුතු ඇටය ලෙස හඳුන්වන අප රටෙහි අසල්වැසියා වන්නේ ඉන්දු මාතාවයි. විද්‍යාඥයින් පවසන අන්දමට වසර දහස් ගණනකට පෙර අප රට ඉන්දියානු අර්ධද්වීපයේ ඩෙකෑන් සානුවට සම්බන්ධ වී තිබී ඇත. පසුව ක්‍රමයෙන් වෙන් ව දූපතක් වූ අප රට හා ඉන්දියාව අතර ඇත්තේ කිලෝ මීටර් 32 ක් පමණි.
අප දෙරට අතර සබඳතා දිව යන්නේ සියවස් ගණනාවක් ඈතට ය. ක්‍රි. පූ. 26 වන සියවසේ දී පමණ රාවණා රජු විසින් සීතා කුමරිය මෙරටට කැඳවාගෙන ආ කළ රාම කුමරු ලංකාවට පැමිණියේ එවකට දෙරට යා කර පිහිටා තිබූ ආදම්ගේ පාලමෙන් බව රාමායනයේ කියවේ. තවමත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ මහා වැලි පරයක් පිහිටා ඇත.
ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා පහල වූයේ ද පුණ්‍ය භූමියක් වන භාරතයේ දී ය. හෙතෙම ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ ද ක්‍රි. පූ. 06 වන සියවසේ දී ලංකාවට තෙවරක් වැඩම කළ බව සඳහන් ය.
එමෙන් ම ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙනස්ම මානයකට හැර වු ඉන්දියාවේ ආර්යයන්ගේ පැමිණීම ද සිදු වූයේ ක්‍රි. පූ. 06 වන සියවසේ දී ය. එලෙස පැමිණි විජය රජු ලංකාවේ රාජ වංශ කතාවේ පළමු රජු ලෙස කිරුළු පළඳින ලදී. එමෙන් ම මෙරට ගංගා නිම්න ආශ්‍රිතව ඔවුන් ජනපද සකස් කරගන්නා ලදී.
එමෙන් ම බෞද්ධ රටක් වන අප රටට උතුම් වූ ථෙරවාද බුදු දහම තිළිණ කළේ ද ඉන්දියාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ පාලකයා ධර්මාශෝක අධිරජුගේ මෙහෙයවීමෙන් එතුමාගේ ගිහි කළ පුතු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ය.
මෙරට කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍ය, සංගීතය ආදී ක්ෂේත්‍රවලට පදනම සකස් කරන ලද්දේ ද ඉන්දියාවයි. උතුම් සංඝමිත්තා තෙරණිය ලොව පැරණිම වෘක්ෂය වන ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ද ගෙන නොයෙක් කලා ශිල්පවලට අයත් ප්‍රවීණයන් ද කැඳවාගෙන මෙරටට වැඩම කරන ලද්දේ මෙරට වාසනාවට ම ය.
ආගමිකව පමණක් නොව දේශපාලනිකව ද අප පත් වූ අසීරු අවස්ථාවල දී අපට සහයට සිටියේ ඉන්දියාවයි.
එමෙන් ම දේශාටකයෙක් වන හියුන්සෑන් භික්ෂුව ද, මූලාශ්‍රයක් වන දිව්‍යාවදානය ද සඳහන් කරන පරිදි මෙරට දේශපාලන නායකත්වය ආරම්භ වූයේ ඉන්දියාවේ සිට පැමිණි වෙළඳ කණ්ඩායම් හේතුවෙනි.
අනුරාධපුර යුගයේ දී මුහුණ දුන් නොයෙක් ආක්‍රමණවලට එරෙහිව සටන් කිරීමට මෙරට ඉළනාග රජු, පළමු මුගලන් රජු ආදී රජවරු ඉන්දීය හමුදාවල සහය ලබා ගත් බව වංශ කථාවල සඳහන් වේ.
එමෙන් ම මෙරට රජවරු සිය පරිපාලන කාර්යයන් සාර්ථක කරගැනීමට ඉන්දීය පරිපාලක නිලධාරීන් ද යොදා ගෙන ඇත.
එපමණක් නොව ඉන්දීය රජවරු පත් වූ අසීරු අවස්ථාවලදී ද ලංකාවේ රජවරු සහය දක්වා ඇත. ඉන්දියාවේ දෙවන වරගුණවර්මන් රජුට යුද්ධ සහය පිණිස මෙරට දෙවන සේන රජු එරටට ගිය බව පැවසේ.
මෙලෙස එතෙර, මෙතෙර සබඳතා තවත් ශක්තිමත් කිරීමට දෙරට අතර ගිවිසුම් පවා ඇති විය.
1977 දී ඇති කරගත් සංස්කෘතික සහයෝගීතා ගිවිසුම මඟින් දෙරට අතර සංස්කෘතික සබඳතා වර්ධනය කරගැනීම ද, 1987 දී ඇති කරගත් ඉන්දු – ලංකා ගිවිසුම මඟින් සාමය වර්ධනය කිරීම ද, 1998 ඉන්දු – ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මඟින් තීරුබදු රහිතව දෙරට අතර නිෂ්පාදන හුවමාරු කිරීම ආදිය සිදු විය.
එපමණක් නොව, සුනාමි, ගංවතුර, නාය ආදී ස්වාභාවික විපත් අවස්ථාවලදී, කොරෝනා වසංගතයේ දී, ආර්ථික අර්බුදවලදී අපට සැමදා සහයට සිටියේ ඉන්දියාවයි.
“අසල්වැසියාට ප්‍රථමයෙන්” යන උදාර සංකල්පයට අනුව ක්‍රියාත්මක වෙන ඉන්දියාව එවන් අසීරු අවස්ථාවලදී ණය පහසුකම්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ ආදී වශයෙන් විශාල ආධාර අප වෙත ලබා දුණි. අපට සවියක් වුණි.
අප දෙරටම පුණ්‍ය භූමි වන හෙයින් දෙරටටම එල්ල වූ බටහිර ආක්‍රමණවලින් මිදීමට අප හෙලූ රුධිරය, දහඩිය, කඳුලු ගංගා අපමණ ය.
එහෙත් අප ආශිර්වාද ලත් භූමි එම විලංගුවලින් මිදී නිදහසේ සුවය අප වෙත් ලබා දුණි.
1947 අගෝස්තු 15 නිදහස් රාජ්‍යයක් වූ ඉන්දියාවෙහි රාජ්‍ය ලාංඡනයෙහි අන්තර්ගත වන්නේ ධර්මාශෝක අධිරජු නිර්මාණ කළ සිංහ හිස් තුන, ධර්ම චක්‍රය හා ශෛලමය කුළුණුවල හිසෙහි ප්‍රතිරූපයකි.
එබැවින් ඉන්දීය මාතාවට තිසරණ සරණ සදාකල් ලැබිය යුතු ය.
එමෙන් ම වත්මන් ඉන්දියාව නම් වූ නෞකාවේ නියමුවා නරේන්ද්‍ර මෝදි අගමැති තුමා ද ඉටු කරන්නේ විසල් කාර්යයකි. පෙර ධර්මපාලතුමා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට කළ මෙහෙවර වර්තමානයේ ඉටු කරන්නේ මෝදි තුමා ය. එමෙන් ම අප රටට අවශ්‍ය සහය ලබා දීමට වහා කටයුතු සලසන්නේ ද එතුමා ය.
ඉතින්, අසල්වැසියාණෙනි, පතන්නම් ඔබේ සහෘදයා ලෙස මෙලෙස..
භාරතා මාතා දිගුකල් දිනේවා!
නිදහස් සුළඟින් දද අඹර ලෙලදේවා!
මෝදි තුමනි ඔබට තවත් දිරි ලැබේවා!
යෙහෙන් වැජඹේවා!