Temples of Sri Lanka

ඇයි මේ මමත්වය

බුදු දහම යනු සියලු සත්ත්වයාට සියලු සසර දුකින් මිදීමට මඟ පෙන්වන පරම විද්‍යාවයි. සත්ත්වයාගේ දුක නමැති සංසිද්ධිය පසුපස මහා ප්‍රඥාවෙන් හඹා යන භාග්‍යවතුන් වහන්සේ ඊට හේතු දැන-දැක, එය නැති කිරීමක් ඇති බව ද දැක, ඒ නැති කිරීම සඳහා අදාළ මාර්ගය පෙන්වා වදාළ සේක.

මෙය අනෙක් දර්ශන, මතවාද, දහම් විද්‍යා මෙන් නො ව තම තමන්ගේ චිත්තාභ්‍යන්තරයට කිමිද දැන-දැක ගත යුත්තකි. එය තමා තුළින් ම විශද කර ගත යුත්තකි. එයයි දහමේ ඕපනයික ගුණය. දහමේ මූලික හරය දැන ගත් කෙනා එය භාවනාමය ප්‍රඥාව ඔස්සේ ප්‍රගුණ කරමින් තමන් තුළින් ම මේ දුක හා ඊට හේතුව මතු කර ගත යුතු ය. මෙසේ හේතුව මතු කර ගත් විට එය වියැකී යනු ඇත්තේ ඉබේට ම ය. එහෙත් ධර්මය ඉදිරි පරම්පරා සඳහා ද රැක ගැනීම සඳහා ත්‍රිපිටකය ශාස්ත්‍රීය ව නිවැරදි අර්ථ නිරූපණ තුළ ආරක්ෂා විය යුතු ය. මේ සඳහා ශාස්ත්‍රීයත්වය මෙන්ම මේ ත්‍රිපිටක ධර්මය වැඩූ ස්වාමින් වහන්සේගේ දායකත්වය ද ඉතා වැදගත් ය. පාලි ත්‍රිපිටකයට කෙනෙකුගේ දුක නිවාලමින් නියමිත මඟ වැඩෙන පරිදි අර්ථ නිරූපණ දිය හැක්කේ උන්වහන්සේට ය. පාලිය ධර්මයට ම සුවිශේෂි වූ භාෂාවකි. සිංහලෙන් පාලි ඉගෙනගත්තත් ඒ පාලිය ඔස්සේ ධර්මය වඩන උන්වහන්සේට නැවත සිංහලෙන් විස්තර කළ නොහැකි අරුත් පාලි වදන්වල ඇති බව ඒ මඟ වැඩූ උතුමන් බොහෝ දෙනාගේ අදහස ය.

පාලිය මැනැවින් දැනගෙන ත්‍රිපිටකය වනපොත් කරගෙන පාලි වදන්වල අරුත් විවිධාකාරයට ගෙනහැර දැක්වීමට හැකි වීම තුළ අනිවාර්යයෙන් ම දහමේ දැක්වෙන නිවී සැනසීම ලැබෙන්නේ නැත. එවිට එය තවත් ශාස්ත්‍රයක ප්‍රවීණයකු වීමට නොදෙවෙනි ය. ඒ ප්‍රවීණත්වය තුළ යම් සතුටක් ලැබීම වෙන ම කතාවකි.

මේ පසුබිමේ දැන් අපි දහමේ දැක්වෙන මම, මගේ, මගේ ආත්මය යන සංකල්ප ඔස්සේ අපගේ ම චිත්තාභ්‍යන්තරයට පිවිසීමට උත්සාහ ගමු.
සත්ත්ව-පුද්ගලත්වය යනු නාම-රූප ක්‍රියාවලියයි. පංචස්කන්ධ ක්‍රියාවලිය යනු ද එයයි. මෙහි දී සිතේ හට ගන්නා වූ චෛතසිකවල ඇති ලෝභ-දෝස-මෝහ නිසා ය දුක නමැති සංසිද්ධිය ඇති වන්නේ. එවිට හුදු පංචස්කන්ධ ක්‍රියාවලිය පංචඋපාදානස්කන්ධයක් බවට පත් වේ. මෙසේ වන්නේ මේ පංචස්කන්ධ ක්‍රියාවලියේ උපදින චෛතසිකවල හට ගන්නා මම, මගේ, මගේ ආත්මය යන හැඟීම් නිසා ය. මෝහය යනු අවිද්‍යාව ය. එනම් සැබෑ සත්‍යය නො දැකීම ය. මේ නිසා අපේ සිත්වල (චෛතසිකවල) මම නැමැති දිට්ඨියක් (සක්කාය දිට්ඨිය) හටගැනී ඇති අතර එය පිනවීමට විවිධ කැමැති-අකැමැතිකම් අරුත් ගැන්වෙන කතා-සංස්කාර-දිට්ඨි පොදියක් අපේ සිත්වල සසර පුරා එක්රැස් වී පැළපදියම් වී ඇත. මේ දිට්ඨි පොදිය අප එක් එක් කෙනාට වෙනස් වේ. අප එක් එක්කෙනා මේ තම තමන්ගේ දිට්ඨිවලට අනුව බාහිරය ද ඇසුරු කරගෙන තම තමන්ව ගොඩනඟා ගෙන ඇත. තමාගේ රැකියාව, සමාජ තත්ත්වය, දරුවන්, ගෙවල් දොරවල් යාන වාහන හා තමා තුළ ඇති විවිධ දෑ මත පදනම් ව අප සියලු දෙනා අපේ ‘ආත්ම’ ගොඩනඟා ගෙන ඇත. මේ ආත්මවලට අප ලබා දී ඇති තත්ත්වයන්, වෙනස් වනවාට අප කැමැති නැත. එය දුකකි. මේ ආත්මවල වෙනස්වීම, ඒවා ඇසුරු කරගත් බාහිර සංසිද්ධිවල වෙනස්වීම් නිසා පමණක් නො ව ඒ ආත්ම ගොඩනඟා ගැනීමට උපයෝගි වූ දිට්ඨි-සංස්කාර වල වෙනස්වීම නිසා ද සිදු වේ. මේ දිට්ඨි පොදිය ‘මම’ වන අතර මේ දිට්ඨි පොදියේ ඇති මගේ කැමැති-අකැමැති කම් ඇසුරු කරගත් ජාලය මගේ ආත්මය වේ. ඒවා මගේ ය, එනම් ඒවා මා කැමැති පරිදි තබා ගත හැකි ය, වැනි හැඟීම් රාශියක් අපේ චෛතසිකවල ගොඩනැඟී ඇත. තණ්හා (මගේ) දිට්ඨි (මගේ ආත්මය) මාන (මම) ලෙස දැක්වෙන්නේ ද මෙයයි. ප්‍රපංචකරණය සිදු වන්නේ මේ නිසා ය. ‘මම’ තණ්හාවෙන් මගේ කැමැති අකැමැතිකම් අනුව විවිධ දිට්ඨි තුළ හිඳිමින් මගේ ආත්මය වඩා ගැනීම සිදු වේ. මෙලෙස මේ දිට්ඨි-සංස්කාර ඔස්සේ තම ආත්මය ගොඩනඟාගෙන එය තම කැමැත්ත පරිදි ම තබා ගැනීමට කරන පොරකෑම ය සැබැවින් ම දුක. කෙනකු මේ දුක විඳින්නේ මේ සංස්කාර-දිට්ඨි-ආත්මයේ ඇති අනිත්‍යය නො දන්නා නිසා ය. එයා සිතන්නේ මේ සියල්ල ගලේ කෙටූ පිඹුරුපත් ලෙස ය. මේ සියලු සංස්කාර-දිට්ඨි-ආත්ම යනු වැල්ලේ තැනූ මාළිගා මෙන් ය. එසේ නොමැතිනම් පරඬැල්වලින් සැදූ ව්‍යුහයන් බඳු ය. පෙර නො තිබී හටගෙන ඉතිරි නැති ව නැති වන දෑ ය. මෙවැනි අනිත්‍ය ජාලයක විවිධ කැමැති-අකැමැතිකම් දිට්ඨි සහිත ආත්ම ගොඩනඟාගැනීම ය ඇත්තට ම ගැටලුව.

විවිධ කැමැති-අකැමැතිකම් සහිත දිට්ඨි සංස්කාර චිත්තාභ්‍යන්තරයේ ඇති විට විවිධ මනෝධර්ම (මනීන්ද්‍රියට ගෝචර ධර්ම, අපට සිතෙන දෑ) ඒවා සමග ගැටීම නිසා හටගන්නා මනෝසම්ඵස්ස නිසා ය මනෝ වේදනා ඇති වන්නේ. මේ මනෝ ධර්ම අදාළ දිට්ඨි සංස්කාර සමඟ නො පෑහෙන විට දුක් වේදනා හටගනී. පෑහෙන විට සුඛ වේදනා හටගනී. එහෙත් මේ සුඛ වේදනා අදාළ සම්ඵස්සය නැති වීමත් සමඟ නැති වී යයි. එවිට දුක ඇති වේ. මේ අනුව දිට්ඨි-සංස්කාර සහ මනෝ ධර්මවල ඇති-නැති වීම තුළ සුඛ-දුක්ඛ (සෝමනස්ස-දෝමනස්ස) වේදනා ඇති වේ. මෙයයි අප විඳිනා සැබෑ දුක. චිත්තාභ්‍යන්තරයේ දිට්ඨි-සංස්කාර (කැමැති-අකැමැතිකම් සහිත) ඇති තාක් ඒවා සමඟ මනෝ ධර්මවල සම්ඵස්සය නිසා දුක හටගනී. අනිත්‍යය දැනගැනීමට තරම් වැඩූ ප්‍රඥාවන් නොමැති කෙනා ආස්වාදය ලබන්නේ අනිත්‍ය සංස්කාරවලින් තම කැමැති-අකැමැති කම් ඉටු කරගැනීමට උත්සාහ ගැනීමෙනි. ඇත්තට ම එය දුකට වැඩි දෙයක් නො වන බව ඔහු නො දනී. අනිත්‍යය දැක ගත හැකි කෙනා ‘ආස්වාදය’ ලබන්නේ අනිත්‍ය වූ සංස්කාර ඔස්සේ කැමැති-අකැමැතිකම් ඉටු කර ගැනීමට උත්සාහ කෙරුමෙන් නො ව ඍජු ව අනිත්‍යය අත්වීඳීමෙනි. එය උත්තරීතර ආස්වාදයකි. එය නික්ලේශී ය.

අපේ චිත්තාභ්‍යන්තර දිට්ඨි-සංස්කාර-ආත්මවල අනිත්‍යය නො දැනීම තරම් දුකට හේතු වන තවත් දෙයක් නොමැති තරම් ය. අනිත්‍යය යනු යමක වෙනස්වීම නො ව යමක් පෙර නො තිබී හටගෙන ඉතුරු නොමැති ව නැති වීම ය. අපට දැනට යම් පමණට හෝ ගෝචර වන්නේ යමක වෙනස් වීම ය. එනම් සංස්කාරවල අනිත්‍යය ය. එහෙත් එය සැබෑ තත්ත්වය නො වේ. යමක වෙනස් වීම යනු දුකකි. දුක නැති වන්නේ ඒ වෙනස් වීම-අනිත්‍යය තුළ යමක් තම කැමැත්ත-අකැමැත්ත ඇසුරු කර ගෙන සකස් වීම නැවතුණ විට ය. අනිත්‍යය තේරුම් ගන්නා කෙනා ලෝකය තුළ කිසිවක් නැත ලෙස දකින්නේ නැත. එහෙත් ඔහුගේ සුවිශේෂිත්වය වන්නේ ලෝකයේ කිසිවක් තම කැමැත්ත-අකැමැත්ත මත සකස් කර නො ගැනීම ය. උපාදාන නො වීම යනු එයයි. අනිත්‍යය දන්නා- දක්නා කෙනාට කැමැත්තට ඇලීමක්, තණ්හාවක් නැත. ඔහු ආස්වාදය ලබන්නේ ඡන්දයෙන් නො ව අනිත්‍යය ප්‍රත්‍යක්ෂයෙනි. එය මනා විද්‍යා අවබෝධයෙන් ලබන්නා වූ සැනසීමකි. ඔහු තවදුරටත් මේ අනිත්‍යය තුළ ආත්ම-දිට්ඨි සකසාගෙන ඒවා සැනසීමට උත්සාහ ගන්නේ නැත. ඒ සියල්ල අවසාන ය. ඔහු මේ සියලු ආත්ම-සංස්කාර දිට්ඨිවලින් මිදී පූර්ණ සුවයෙන්-සැනසීමෙන් මේ ලෝකය තුළ සතර බ්‍රහ්ම විහරණයෙන් ක්‍රියාත්මක වේ. ලෝකයට මෙන්ම ඔහුට ද ඊට වැඩි සුවයක් කොයින් ද?

මේ අනිත්‍යය දන්නා කෙනා බාහිර නිමිති ඇසුරු කරගෙන තම කැමැති -අකැමැතිකම් දිට්ඨිවලින් විකෘති කළ ආධ්‍යාත්ම සංස්කාර ගොඩනඟන්නේ නැත. ඔහුට භේදයක් නැත. මෙය වූ කලී ‘දිට්ඨෙ දිට්ඨමත්තං’ අවස්ථාව ය. මේ අවස්ථාවේ දී එනම් නික්ලේශී තත්ත්වයේ දී තම කැමැති -අකැමැති කම් වලින් මෙහෙයවෙමින් බාහිරයේ ඔහු කටයුතු කරන්නේ නැත. මේ කැමැති-අකැමැති කම් සහ ඒවා වෙනුවෙන් ක්‍රියාත්මක වූ තණ්හාව-රාගය ආදිය නිසා යටපත් ව තිබූ සතර බ්‍රහ්ම විහරණ දැන් මොහු තුළ ඉස්මතු වීම තුළ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ ඒවා ඇසුරු කරගෙන ය. තම (මමගේ) කැමැති-අකැමැතිකම් මත හටගත් ‘ආත්මයක්’ රැකීමට දැන් ඔහුට වුවමනාවක් නැත. දැන් ඔහුට ‘මම’, මාගේ, මාගේ ආත්මය ලෙස සැලකීමට කිසිවක් නැත. මෙතෙක් සතුට-සැනසීම සොයා කර ගසාගෙන ගිය මහා ආත්ම භාරය දැන් අනිත්‍යය ඉදිරියේ වියැකී ගොස් ය.

සියලු සංස්කාරයන් අනිත්‍ය ය. මේ සංඛතයන් ඇසුරින් තම කැමැති-අකැමැතිකම් මත සකසාගත් චිත්තාභ්‍යන්තර සංස්කාරවල සහ අදාළ මනෝධර්මවල අනිත්‍යය නිසා දුක හට ගනී. මේ අනුව කිසිදු ධර්මයක්, ධර්මතාවක් තම කැමැත්ත පරිදි සකසා-සංස්කරණය කරගෙන තබාගත නොහැකි ය. එනම් තම වසඟයෙහි පවත්වා ගත නොහැකි ය.

සබ්බේ ධම්මා අනත්තා යනු එය විය නොහැකි ද?

ලෝකයේ හොඳ-නරක, සතුටු-අසතුටු කම්, රුචි-අරුචිකම්, කැමැති-අකැමැතිකම් පවතින්නේ ඒ ආශ්‍රිත දිට්ඨි-සංස්කාර චිත්තාභ්‍යන්තරයේ ඇති තාක් ය. මේවායේ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ වීම තුළ මේවා වියැකී ගිය විට, ඒ නිකෙලෙස් අවස්ථාවේ දී ලෝභයේ ඉතිරි වන්නේ කළ යුතු හා නො කළ යුතු දේ පමණ ය. එනම් කුසල් සහ අකුසල් පිළිබඳ අවබෝධයයි. නිකෙලෙස් මනස කුසලින් පිරී තිබෙනු ඇත.

අපගේ කැමැති-අකැමැතිකම් සහිත චිත්තාභ්‍යන්තර දිට්ඨි-සංස්කාර නොමැති වූ විට අපට ලෝකය නැවුම් ව අත්දැකිය හැකි ය. අනිත්‍යයට යටත් ව පවතින ධර්ම තුළ ක්‍රියාත්මක වන ලෝකය එවිට අපට අත්දැකීම් සමූහයක් පමණි. මේ තත්ත්වයට පත් වූ කුසලින් පිරි සිත එවිට සතර බ්‍රහ්ම විහරණය අනුව ක්‍රියාත්මක වනු ඇත. අකැමැතිකම් පිටු දකිමින් කැමැතිකම් පසුපස හඹා ගිය මහා පීඩාව හා දුක දැන් අවසාන ය.

තෙරුවන් සරණින් මේ සත්‍ය ඔබට මටාප සැමට පසක් වේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X