Temples of Sri Lanka

14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ නොබෙල් ත්‍යාගය ලබා අදට වසර 35 යි..

නූතන විශ්වීය කරුණාවේ ප්‍රතිමූර්තිය වශයෙන් සංකේතවත් වන 14වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ නොබෙල් සාම ත්‍යාගය හිමි කරගෙන අදට වසර 35 කි.

නොබෙල් සාම ත්‍යාගය ලැබීමට උරුමකම් කියූ, ලොවට පහළ වූ එකම භික්ෂූන් වහන්සේ වශයෙන් උන්වහන්සේ ලෝක පූජිත ය.

චීනය විසින් ටිබෙටය යටත් කරගත් පසු, යුධමය වාතාවරණයෙන් ටිබෙට් ජනයා මුදා ගැනීමට ද, ටිබෙටයේ සාම කලාපයක් පිහිටුවීමට ද උන්වහන්සේ විසින් 1987 වර්ෂයේදී පියවර පහකින් යුතු සැලැස්මක් ඉදිරිපත් කළ අතර, එහි මූලික පදනම අවිහිංසාවාදය විය. ඊට කොතෙක් බාධක ආව ද නොවෙනස් වූ අධිෂ්ඨානයෙන් ඒ සඳහා ඇපකැප වූ උන්වහන්සේ උදෙසා 1989 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී.

ටිබෙටයට පමණක් නොව දලයි ලාමා වහන්සේගේ කරුණා නෙත විවරව ඇත්තේ මුලු ලෝකයම කෙරෙහිය. මිනිසුන්, සත්වයන්, ගහකොළවලට පවා උන්වහන්සේ කෙරෙහි ඇත්තේ අපරිමිත සෙනෙහසකි.

උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා මඟින්, සමුළු මඟින්, සංචාර මඟින් උත්සාහ ගන්නේ කරුණාව, දයාව, සෙනෙහස, ආදරය ‍යන හැඟීම්හි වටිනාකම් එකිනෙකා අතර පතුරුවමින්, මුළු ලොවම එක්සත්, සාමකාමී ලෝකයක් බවට පත් කිරීමට ය.

වරෙක උන්වහන්සේ සඳහන් කළේ,
“අප ගත කරන මෙම 21 වැනි සියවස, සාමකාමී සියවසක් බවට පත් කරගැනීමට නම්, අප අවධානය යොමු කළ යුත්තේ ‘මනසෙහි අභ්‍යන්තර සාමය’ පිළිබඳවයි.

විවිධ ප්‍රකාශ, යෝජනා, සටන්පාඨ ඉදිරිපත් කළ පමණින් කිසිදිනක ලොවට සාමය උදාවන්නේ නැත. සාමය ඇති විය යුතු එකම මාර්ගය අභ්‍යන්තරික මානසික සාමයයි. එමඟින් ප්‍රීතිමත් ලෝකයක් නිර්මාණය කිරීම එක් එක් පුද්ගලයන්ගේ අරමුණ විය යුතු ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ලෝක ආයතන ගොඩ නැගුව පමණින් ඒවා හරහා ඔබට මෙවන් සාමකාමී ලොවක් නිර්මාණය කිරීම කළ නොහැක. සාමය ඇති විය යුත්තේ අභ්‍යන්තර මානසික සාමය හරහා පුද්ගල මට්ටමිනි.” ලෙසයි.

එමෙන්ම උන්වහන්සේ වරෙක සඳහන් කරන්නේ,

“පවුල්, ගෝත්‍රික, ජාතික හා ජාත්‍යන්තර ආදී කවර තරාතිරමක සමාජයක් වුව, ප්‍රීතිමත් හා සාර්ථක එකක් වීම සඳහා ‍යතුර වන්නේ ‘මෛත්‍රිය වර්ධනය කිරීම’ බව මම විශ්වාස කරනවා.

ඒ සඳහා අප ආගමික වීමට හෝ යම් මතවාදයක් විශ්වාස කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කා අතරත් යහපත් මනුෂ්‍ය ගුණාංග වර්ධනය කරගැනීමයි.

උදාහරණයක් ලෙස මා ‘මට හමුවන ඕනෑම කෙනෙකුට සලකන්නට උත්සාහ දරන්නේ මගේ පැරණි මිතුරෙකු ලෙස සලකමින්’.

එය මට ගෙන දෙන්නේ සැබෑ සතුටක්. එය මෛත්‍රිය පුරුදු කිරීමයි.” ලෙසයි.

එමෙන්ම උන්වහන්සේ සඳහන් කරන පරිදි,
“අපගේ ආදරය සහ දයාව, පවුලේ අයට හෝ මිතුරන්ට පමණක් සීමා නොකළ යුතු ය. එමෙන්ම දයානුකම්පාව පෑම පූජ්‍ය පක්ෂයට, සෞඛ්‍ය සේවාවට හෝ සමාජ සේවකයන්ට පමණක් අයත් වගකීමක් ද නොවෙයි. එය සමස්ත මානව ප්‍රජාවටම අයත් වගකීමක්.”

මෙලෙස අවිහිංසාවාදය සිය ජීවන පදනම කොටගත්, මතු බුද්ධත්වය පතන අවලෝකේතීශ්වර යුගාත්මයක් වශයෙන් හඳුන්වන ශුද්ධෝත්තම් දලයි ලාමා වහන්සේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදිය යුත්තෙක් ම ය.

එම නොබෙල් සාම ත්‍යාගය උන්වහන්සේ සතු වී අදට වසර තිස් පහක් සැමරෙන මෙම වන්දනීය දිනයේ අපගේ ප්‍රාර්ථනය වන්නේ,

“14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියනි, ඔබවහන්සේ හට මේ ලෝකයට තවත් කරුණා නෙත පෑමට දීර්ඝායු හිමි වේවා! ඔබ පෙන්වූ කරුණාවේ මඟ යාමට ලෝ සතන් හට හැකි වෙත්වා! ඔබවහන්සේගේ අරමුණ වන එක්සත් ලෝකයක් බිහි වේවා! යුධ ගිනි දැල් නිවේවා!”

You might also like
en English
X
X