වෙන පිනක් කුමට?දෙමව්පියන්ට සලකන්න
වෙන පිනක් කුමට?දෙමව්පියන්ට සලකන්න.. එයමහා ආනිසංසයක්.
දෙමව්පියන්ට සැලකීම උතුම් මංගල කරුණක්..
පෙර ලංකාවේ රජවරුන් පවා මවුපිය උවැටන ඉමහත් ගෞරවයෙන් සිදු කළ බව පොතපත සාක්ෂි දරනවා.
රාජ සභාවට යෑමට පෙර මව්තුමියට උපස්ථාන කිරීම අග්බෝ රජුගේ සිරිතක්. එතුමා මාලිගයෙන් පිටව ගියේ මෑණියන්ට පැදකුණු කරමින් තෙවරක් වන්දනා කිරීමෙන් අනතුරුවය.
පෙර දවස එසේ වූවත් වර්තමානයේ මාපියන්ට සැලකීම පිළිබඳ විවිධ අඩු ලුහුඩුකම් පවතී.
ඒවා මගහරවා ගනිමින් සමාජයට එම යුතුකම් නැවත නැවත මකත් කර දෙමි.
මාපියන්ට සැලකීමේ යුතුකම වෙනුවෙන්, වර්තමානයේ තිබෙන තත්ත්වය කුමක්ද?
මූලික වශයෙන්ම කාර්යබහුල ජීවන රටාවකට හුරුවී කාලීන සමාජය දෙමාපියන්ට තමාගෙන් සිදුවිය යුතු යුතුකම් වගකීම් පැහැර හරිනවා. බුදුන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී සදිසා නමස්කාරය පිළිබඳ දේශනා කරමින් දෙමාපියන් පෙරදිග දිශාවට සමාන කර දෙමාපියන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න පැහැදිලි කළේද අපූර්ව දුර දක්නා නුවණකින් බව මනාව පැහැදිලිවෙනවා.
ඒ අනුව, ආහාරපානාදියෙන් පෝෂණය කිරීමෙන්, ඔවුන්ගේ කටයුතු කරදීමෙන්, කුල පරපුර රැක ගැනීමෙන්, දායාද නිසි පරිදි භුක්ති විදීමෙන්, මියගිය මව්පියන්ට පින් පැමිණවීමෙන් යන අයුරින් දෙමාපියන්ට සංග්‍රහ කළයුතු වෙනවා. කාලීනව දෙමව්පියන්ට තමාගෙන් ඉටුවිය යුතු මෙවන් යුතුකම් ගැන කිසිදු අවබෝධයක් දරුවන් හට නැති බවක් පෙනී යනවා.
බොහෝ මාපියන්ට අද සිදුවී ඇත්තේ වයස්ගත වූ පසු වැඩිහිටි නිවාසයකට වී මරණය එනතුරු බලා සිටීමට හෝ දරුවන්ගේ දරුවන්ද බලා ගනිමින් වෙහෙසකර ජීවිතයක් ගත කිරීමටයි. දරුවන්ට සිදුවිය යුතු සියලු දේ ඉටුකොට තමා සතු සියලු වත්කම්ද දරුවන්ට පවරා දුන් පසු දෙමාපියන් බොහොමයකට හිමිවන උරුමය එයයි. වර්තමානයේ අප අසන දකින කරුණු තුළින් පැහැදිලි වෙන්නේ දෙමාපියන්ට සැලකීමේ ඉතාම පහත් තත්ත්වයක තිබෙන බවයි.
එවැනි තත්ත්වයකට වර්ථමාන සමාජය පත්වතිබෙන්නේ ඇයි?
වර්තමාන සමාජය යම් තැනක අතරමං වී සිටින ස්වභාවයක් අපට දැකගන්න තිබෙනවා. අම්මා තාත්තා කියන්නේ කවුද කියලා තේරුම්ගන්න බැරි ස්වභාවයක් අද තියෙන්නේ. අප මෙලොවට බිහි කිරීම පමණක්ම මවකට සැලකීම ප්‍රමාණවත් කියලා තේරුම් ගන්න බැරිකමක් අද තියෙන්නේ. අපි මේ ලෝකෙට බිහි කරලා අප ශාරීරිකව පරිපූර්ණ කරමින් මේ සමාජයේ දිවි ගෙවන අයුරු උගන්වමින් මව්පියන් කරන වෙහෙස මෙලොව කිසිදු අයකු කරන්නේ නැහැ.
සරලව හිතුවොත් මාපියන් අප ඉපදුණු සැණින් කුණු ගොඩක දමාගියා නම් අප අද කොතැනක දැයි අපවත් දන්නේ නැහැ. සැබෑම කරුණ නම් දෙමාපියන් තරම් සෙනෙහසින් දරුවකු රැකබලා ගැනීමට මෙලොව වෙනක් කිසිවකු සමත් නොවීමයි. මවකගේ රුහිරු කිරට හරවන්නේ ද මෙකී උතුම්ම සෙනෙහසයි. මේ තත්ත්වය තේරුම් ගැනීමට බැරිවී තිබෙන නිසා තමයි අද සමාජය මෙවන් තත්ත්වයකට පත්වී තිබෙන්නේ.
එවන් අර්බුදකාරී තත්ත්වයෙන් සමාජය ගලවාගැනීමට අප කළ යුත්තේ මොනවාද?
තෙවරක් බුදුන් වැඩි මේ උතුම් පින්බිමේ වෙසෙන අප දෙමව්පියන්ට සලකන යහපත් ශිෂ්ඨසම්පන්න සමාජයක් බිහිකළ යුතු වෙනවා. ඒ සඳහා දරුවන් තුළ උතුම් ගුණදම් වර්ධනය කිරීම මනා පිටිවහලක්. ඒ නිසාමයි දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් වෙන්නේ. ඒ හැරුණුකොට දෙමාපියන් ද දරුවන්ට ආදර්ශයක් සපයමින් තම දෙමාපියන්ට හොඳින් සැලකීමට වගබලාගත යුතුයි. දෙමාපියන්ට සැලකීම පරම යුතුකමක් සේ සලකා ක්‍රියා කරන සමාජයක් බිහිකිරීමෙන් මෙරටෙහි වැඩිහිටි නිවාස තව තවත් බිහිවීමේ ප්‍රවණතාව අවම කරගැනීමට ද මහ මඟට වැටෙන වැඩිහිටියන් ප්‍රමාණය අවම කරගැනීමට ද හැකිවෙනවා.
බුදු හිමියන්ට අනුව මාපිය උපස්ථානය මහඟු පිනක්සේ දක්වනවා. බුදු හිමියෝ බුදුවීමට පෙර ආත්මයක ගව්ගණනක් මව උර දරා පිහිනා දිවි බේරීමෙන් මව්ගෙන් බුදුවීමට මතු විවරණ ලද්දෝ ය. තවද පෙර ආත්මයක තමාට මව්පිය වූ දෙමාපියන්ට බුදු වූ ආත්මයෙහි බුද්ධ මාතා බුද්ධ පිතා යයි නම්කොට ධර්ම මාර්ගයෙහි පිහිට වූ බව බුද්ධ චරිතයෙහි දැක්වෙනවා. මෙසේ මාපියන්ට සලකන සමාජයක් ඇතිකරවීමට සෑම ආගමකින්ම සෑම විටකම උත්සාහ කළයුතුයි. එය කිසිදු මසීමාවකට යටත් නොවූ මනුෂ්‍යත්වයේ වගකීමක්.
බුදු දහමට අනුව මාපියන්ට සලකන දරුවන්ට අත්වන පින කවරේද?
තිලොවට ශ්‍රෙෂ්ඨ වූ සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු දහමට අනුව මව්පියන්ට සැලකීම වූ කලී උතුම් මංගල කරුණක්. අම්මා සහ තාත්තා යන වදන් තරම් අපට සමීප වූ වදන් දෙපලක් නැති තරම්. අප මෙලොවට බිහි කිරීමේ සිට රැකවරණ සලසමින්ද අවශ්‍යතා සපුරමින්ද මව්පියන් දරන්නා වූ උතුම් තනතුරට බුදු හිමියන්පවා ගෞරව කළා. එහෙයින් අපද මව්පියන්ට සැලකීමේ අගය මැනවින් වටහා ගැනීම ඉතා වැදගත්. බුදු දහමෙහි පුබ්බදේව නමින් මව්පියන් හඳුන්වනු ලැබුවේ ද එහෙයිනි.
මව්පියෝ උතුම්මය
අපගේ පෙර දෙවිවරුමය
අප රකිනුවෝමය
වඳිනු මවුපිය දෙදෙන මහිමය
මෙම කවියෙන්ද ඉතා සරලව දෙමාපියන්ගේ අගය ගෙනහැර දක්වයි. තමා ඇති දැඩිකොට සමාජයේ උසස් රැකියාවකට යොමු කෙරූ දෙමාපියන් බලු කූඩුවක සිර කර බලු පැටවා නිවස තුළ දමා තැබීමට පෙළඹෙන තරම් පහත් තත්ත්වයකට පත්වී ඇත්තේ මව්පියන්ගේ අගය තේරුම්ගැනීමට නොහැකිවූ විටය. එවන් පුවත් මඟින් පැහැදිලි වන්නේ සමාජයේ පිරිහීමයි. ගසක් මල්පල දරා වැජඹෙන්නේ වී නමුත් එහි මූල පද්ධතිය එය දරා ඉන්නා අත්තිවාරමයි. එසේම මාපියන්ගේ ඉගැන්වීම් හා උපදෙස් අප මියෙන තුරු අපගේ දිවියට අර්ථයක් ගෙන දෙයි.
තෙරුවන් සරණයි 🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood