Temples of Sri Lanka

නෙළුමෙන් උපන් බුදු දහමේ ආරක්ෂකයා

ලොව ප්‍රධාන ආගමක් වන බුදු දහම ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන ආදී ලෙස ප්‍රධාන කොටස් ත්‍රිත්වයකට බෙදී පවතියි. ටි‌බෙටය ආදී රටවල පවතින්නේ වජ්‍රයාන බුදු දහම වන අතර එහි බොහෝ තැන්වල රෞද්‍ර, ඍජු මුහුණක් ඇති, පද්මයක් මත හිඳගෙන සිටින තේජාන්විත පුරුෂ රූපයක් ඔබ දැක ඇති බවට නිසැකය.

හෙතෙම “මහා ගුරු පද්මසම්භව” ලෙස හඳුන්වන අතර “ගුරු රින්පොචේ” ලෙස ද හැඳින්වේ. ටිබෙට් බුදුදහමේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ උන්වහන්සේ ය.

ක්‍රි.ව. අට වැනි සියවසේ දී ටිබෙටය ආදී ප්‍රදේශවලට බුදු දහම හඳුන්වා දීමත්, ආරක්ෂා කොට පැතිරවීම සඳහාත් ගුරු පද්මසම්භව කටයුතු කර තිබේ.

*නෙළුමෙන් ලද උපත*

පද්ම යන්නෙහි අර්ථය වන්නේ පද්මයෙන් එසේත් නැත්නම් නෙළුම් පුෂ්පය යන්නයි. සම්භව යනු උපන් බවයි.

ඒ අනුව උන්වහන්සේ උපත ලබා ඇත්තේ නෙළුම් මලකිනි. වානරයාගේ වර්ෂයේ සය වැනි මාසයේ දසවැනි දින උන්වහන්සේ අට හැවිරිදි දරුවකු ලෙසින් උපත ලබා ඇත්තේ නිරිතදිග ඔඩියානා නම් ප්‍රදේශයේ පිහිටි ‘කිරි සයුර’ නම් විලෙහිදී ය. වර්තමානයේ එම විල පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන දේශසීමාවේ වූ ‘දනකෝෂ’ නම් විල බව සැලකේ.

එමෙන්ම තවත් මූලාශ්‍රවලට අනුව උන්වහන්සේ ඔඩියානාවේ රජ පවුලක උපත ලැබූ කුමාරයෙකි. භූතානයේ පිහිටා ඇති පෞරාණික ලේඛනයකට අනුව උන්වහන්සේ ශ්‍රී ලංකාවේ මලය දේශයේ උපන් කුමාරයකු බව ද කියැවේ. වජ්‍රයක් ද, නෙළුමක් ද අතැතිව උන්වහන්සේ උපන් වහාම දෙවිවරුන්ට ධර්ම ඉගැන්වීම ආරම්භ කර ඇත.

වජ්‍රයාන බුදු දහමේ එන ඉගැන්වීම්වලට අනුව උන්වහන්සේගේ උපත සිදු වූ මොහොතේම අතීත, වර්තමාන හා අනාගත බුදුවරුන්ගේ ක්‍රියාවන් ඉටු කිරීම සඳහා තමා මවා ඇති බව ප්‍රකාශ කර තිබේ. එයින් අදහස් වන්නේ ඔහු බුදු දහමේ ආරක්ෂකයකු ලෙස ද, ධර්ම දූතයකු ලෙස ද දිවි හිමියෙන් කටයුතු කරන බව යි.

ටිබෙට් ඉතිහාසඥයෙකු වන පාවෝ ට්සුග්ලක් ට්‍රෙන්ග්වා මෙම උපත පිළිබඳ දක්වන අදහස වන්නේ “මිනිස් මෙන්ම මිනිස් නොවන ජීවින්ද මෙල්ල කිරීම සඳහා නෙළුම් මල මත උපත ලැබූ පද්මසම්භව මෙම විශ්වයේ අසංඛ්‍යාත ජීවීන්ට ප්‍රතිලාභ ලබාදුන්නෙක් වන බවයි.”

එමෙන්ම මඩ ගොහොරුවක් වැනි මේ ලෝකයේ ඉන් මිදුණු නෙළුම් පුෂ්පයක් ලෙසද මෙම උපත සංකේතවත් වන බව ද විද්වතුන් දක්වයි.

එමෙන්ම උන්වහන්සේ ගුරු රින්පොචේ යනුවෙන් ද හඳුන්වන අතර එහි අර්ථය “මාහැඟි ගුරුවරයා” යන්න යි.

*ඉන්දියාවට පැමිණි ගුරු පද්මසම්භව*

එකල ඔඩියානා දේශයේ පාලකයා වූ දෙවැනි ඉන්ද්‍රබෝධි නම් රජුට පුතකු නොසිටි හෙයින් එම රජු විසින් පුතෙකු පතා තෙරුවන් උදෙසා මහා පූජාවක් කර, සූත්‍ර දේශනා කරවමින් සිය භාණ්ඩාගාර තුන් දහසෙහිම දොරටු විවෘත කොට අසරණයන්ට දානයක් දුන්නේ ය.

මේ අතරතුර රජුගේ අමාත්‍යවරයෙක් නෙළුම් විලක උපත ලද දරුවා පිළිබඳ රජුට දැනුම් දුන් අතර මෙම පුවත ගැන සතුටු වී රජු දරුවා වෙත ගොස් ඔහුගේ පියා, මව සහ ඔහු කුමන කුලයට සහ රටකට අයත් දැයි විමසා ඇත.

එවිට දරුවා වූ පද්මසම්භව මෙසේ පිළිතුරු ලබා දී ඇත.

‘මගේ පියා ස්වයංව මතු වූ සමන්තභද්‍ර ය. මගේ මව සමන්තභාද්‍රි ය. මගේ කුලය නම් ප්‍රඥාව සහ ධර්මයෙහි එකතුවයි. මගේ නම තේජාන්විත පද්මසම්භවයි’

මෙය අසා මහත් පුදුමයට පත් වූ රජු මෙම දරුවා අපූරු හැකියාවක් සහිත ප්‍රඥාවන්ත දරුවකු බව අවබෝධ කරගෙන ඇත. පසුව ඔහුගේ පුත්‍ර තනතුර මෙන්ම ආගමික මඟ පෙන්වන්නා යන තනතුර ද පද්මසම්භව වෙත පවරා එම දරුවාට මාලිගයට පැමිණෙන ලෙස රජු ආරාධනා කළේ ය.

තරුණ වියට පත් වීමෙන් පසුව පද්මසම්භව, චන්දන් ගෝම ශ්‍රී නම් රජුගේ දියණිය වූ ප්‍රභාධරණී සමඟ විවාහ වී ධර්මානුකූල ව රාජ්‍යය පාලනය කළ අතර ඔහු ‘ශිඛබන්ධ රාජා’ හෙවත් ‘පැළුණු හිසකෙස් ඇති රජු’ ලෙස ප්‍රසිද්ධියට පත් විය.

කෙසේ වෙතත් පසුව දේශපාලනය, විමුක්ති ඉගැන්වීම්වලට වෙනස් බව වටහා ගත් උන්වහන්සේ එමගින් ජනතාවට ධර්ම මාර්ගය විවර කිරීම අපහසු බව අවබෝධ කර ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ රාජ්‍ය පාලනයත්, රාජ්‍යයත් හැර යන අතර අනතුරුව සුසාන භූමි ආශ්‍රිත විවිධ අද්භූත අභිචාර විධි අත්හදා බලමින් සිට ඇත.

ඉන් අනතුරුව ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයට පැමිණි උන්වහන්සේ එහි දී බුදු දහම පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඇත.

එක් වරක් පමණක් සවන් දීමෙන් උන්වහන්සේ විනය, සූත්‍රය සහ අභිධර්මය යන ත්‍රිපිටකයෙහි සියලු ඉගැන්වීම් උන්වහන්සේ අවබෝධ කරගෙන ඇත.

ඒ වන විට ඉන්දියාවේ වර්ධනය වෙමින් පැවති අනෙකුත් දර්ශනයන්ට විරුද්ධව තර්ක කරමින් බුදු දහම ඉන්දියාව තුළ සුරක්ෂිත කිරිමට පද්මසම්භව දායකත්වය දක්වා ඇත.

ඉන්දියාවේ දී උන්වහන්සේ සිය අධ්‍යාත්මික ජීවිතයේ උසස් ම මට්ටමට පැමිණ ඇත. උන්වහන්සේ එම තත්ත්වය හඳුන්වා දී ඇත්තේ ‘ගුරු ධීමන වර්රුචි’ නමිනි. එහි අර්ථය වූයේ “ප්‍රඥාවෙන් යුත් උත්තරීතර මෛත්‍රීය” යන්න යි.

*නේපාලයට ගිය ගුරු පද්මසම්භව*

පසුව පද්මසම්භව නේපාලයේ සහෝර්හි රජු වූ ශාස්ත්‍රධරගේ දියණිය වන මන්දාරවා කුමරිය තම අධ්‍යාත්මික සහකාරිය ලෙස පිළි ගෙන ඇත. එතුමා සහ ඇය නේපාලයේ හලේෂාහි මරතික කඳු ගුහාව වෙත ගොස් භාවනා ආදියෙන් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන ඇත.

නොබෝ කලකින් ඇය ද උතුම් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වූ අතර ඇය වජ්‍රයානය තුළ අධ්‍යාත්මික ගුරුවරියක් ලෙස ද සඳහන් වේ.

ඇය පද්මසම්භවගේ අධ්‍යාත්මික දිවිපෙවෙත සඳහා කැපවීමට රාජ්‍ය උරුමය පවා අතහැර දමා ඇත.

නමුත් විවිධ පාර්ශව පද්මසම්භව හා මන්දාරවා විනාශ කිරීමට විවිධ උපක්‍රම යෙදුවත්, ඒ සියල්ල පරාජය කරමින් ඔවුන් තුළ ද ධර්මය පිළිබඳ ළැදියාවක් ඇති කිරීමට ගුරු පද්මසම්භවට හැකියාව ලැබී ඇත.

*ටිබෙටයට ගිය ගුරු පද්මසම්භව*

මේ කාලය වන විට ටිබෙටයේ පැවතුණේ සාම්ප්‍රදායික ‘බොන්’ ආගම ය. එය යන්ත්‍ර මන්ත්‍ර සහ භූතයන් ආදි අමනුෂ්‍යයන් මූලික කර ගත් ආගමක් විය.

මේ නිසා එම ප්‍රදේශය පාලනය කළ ට්‍රයිසොං ඩෙට්සන් නම් රජුගේ ආරාධනයෙන් ටි‌බෙටය වෙත යන ගුරු පද්මසම්භව සිය අධ්‍යාත්මික බලයෙන් බොන් ආගමට සම්බන්ධ මනුෂ්‍ය හා අමනුෂ්‍ය පිරිස් මෙල්ල කොට ඔවුන්ව බුදු දහමේ භාරකරුවන් හෙවත් ධර්මපාලකවරුන් බවට පත් කොට ති‌බේ.

එලෙසින් ගුරු පද්මසම්භව, වර්තමානයේ ටිබෙටයේ පැරැණිතම බෞද්ධ නිකාය ලෙස සැලකෙන ‘නියින්ග්මා’ නිකාය ආරම්භ කර ඇති අතර වජ්‍රයාන බුදුදහම ටිබෙටයෙහි ස්ථාපිත කරන ලදී.

*ඓතිහාසික සාක්ෂි*

ගුරු පද්මසම්භව සහ ශ්‍රී ලංකාව අතර ද සුවිශේෂී සම්බන්ධතාවක් තිබෙන බවට ඇතැම් මූලාශ්‍රයන්හි සඳහන් වන කරුණු අනුව පැහැදිලි ය. ඒ අනුව පද්මසම්භව ලංකාවේ උපත ලැබූ අයෙකි.

එමෙන්ම භූතානයේ ජීවත් වූ පද්මසම්භව එක්වරම අතුරුදන් වී ඇත.

ගුරු පද්ම සම්භව විසින් ප්‍රකාශිත ධර්මය අදටත් සුරක්ෂිතව පවතින අතර 17 වෙනි මොගෝඩි ගුහාවෙන් සොයාගත් 10 සියවසට අයත් අත්පිටපත්වල ද ගුරු පද්ම සම්භව විසින් ප්‍රකාශිත දේශනා අන්තර්ගතය.

එමෙන්ම ගුරු පද්මසම්භව විසින් ටිබෙටයේ වැසියන්ට තමන්ව සිහිවීම පිණිසත් නමස්කාර කිරීම පිණිසත් ගල් පර්වතවල තබා ඇති පාද ලාංඡන අදටත් දෘශ්‍යමානය.

*අටවිධි නිරූපණය*

ගුරු පද්මසම්භව අට ආකාර ශක්තියකින් යුක්ත වන අතර, ඒ අනුව අට ආකාරයකින් උන්වහන්සේව හඳුන්වයි. එම ආකාර වන්නේ,

01. උන්වහන්සේගේ ආශ්චර්යමත් උපත ගුරු ට්සොක්‍යේ ඩොර්ජේ ලෙසින් විදහා දක්වයි.

02. රජෙකු ලෙස ඔඩියානයේ ගතකළ දිවිය ගුරු පද්ම ග්යල්පෝ ලෙසට නිරූපිත ය.

03. උන්වහන්සේගේ පැවිදි බව සහ විනය පිළිබඳ ප්‍රවීණත්වය ගුරු ශාක්‍ය සෙන්ගේ විසින් නිරූපිත ය.

04. ගුරු ලෝඩෙන් චොග්සෙඩ්ගේ ප්‍රකාශනය තුළින් උන්වහන්සේගේ සියලු ඉගැන්වීම් නිරූපිත ය.

05. ගුරු නියිමා ඔසර්ගේ ප්‍රකාශනය තුළින් සියලු භූත ආත්මයන් යටත් කර ගන්නා බව නිරූපිත ය.

06. ගුරු පද්මසම්භව තුළින් ටිබෙටයේ බුදුදහම ස්ථාපිත බව නිරූපිත ය.

07. ගුරු සෙංගේ දඩෝග්ගේ තුළින් බෞද්ධ නොවන සියලු විශ්වාසයන් පරාජිත බව නිරූපිත ය.

08. ගුරු ඩොර්ජේ ඩොලොඩ් තුළින් අනාගත පරම්පරාව සඳහා බොහෝ ඉගැන්වීම් සඟවා ඇති බව නිරූපිත ය.

*අමරණීය ගුරු පද්මසම්භව*

උපාධ්‍යාය සත්තාරක්ෂිත හිමියන් දක්වන්නේ “ගුරු පද්ම සම්භව සියළු දෙවිවරු සතුන් පාලනය කිරීමටත් ධර්මය ආරක්ෂා කිරීමටත් බෙදාහැරීමටත් සමත්, දීර්ඝායුෂ හිමි විද්‍යාධරයෙක් බවයි”.

එමෙන්ම ජීවමාන ආධ්‍යාත්මික බලයක් ඇති අයෙක් වන උන්වහන්සේ තවමත් ජීවත්වන වන අයෙකි.

*අදටත් ලොවට ආශිර්වාදය පුදන ගුරු පද්මසම්භව*

ගුරු පද්මසම්භව ටිබෙටයෙන් පිටත් වීමට පෙර එහි ජනතාවට දුන් පොරොන්දු වූයේ,

“පූර්ණ චන්ද්‍රයා උදාවන සෑම දසවන දිනකම, උන්වහන්සේ සූර්ය කිරණ හරහා පෙනී සිටින බවත්, සියලුම සංවේදී ජීවීන්ගේ යහපත උදෙසා උන්වහන්සේ අඛණ්ඩව කටයුතු කරන බවත් ය. එබැවින් මෙම දිනයේ සිදු කරන විශේෂ යාඥාවන් තුළින් උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට බොහෝ බෞද්ධයන් කටයුතු කරයි.

එදිනට උන්වහන්සේ තමන්ව අදහන බෞද්ධයන් වෙත සිය ජීවමාන ආශිර්වාදය නොවලහා පළ කරයි.

You might also like
en English
X
X