ආදරය බුද්ධ වචනයෙන් දකිමු.
ආදරය යනුවෙන් අප නම් කරන කායික හා මානසික අත්දැකීම බුදු දහමට අනුව අයත් වන්නේ රාගයට සහ කාමච්ඡන්දයට.පළමු දැක්මෙහිදී දුටු වනින් උපදින ආදරය රාගයයි..
රාගය උපදින්නේ සිතෙහිය.
රාගයට ඇතිවීමට හේතුවන්නේ
බාහිර රූපයක්, ශබ්දයක් ආදී
කිසියම් භෞතික අරමුණක්
පසිඳුරන්හි ස්පර්ශවීමෙන් හෝ
මානසික අරමුණක්
මනසෙහි ස්පර්ශ වීමෙනි.
ඒ ස්පර්ශයෙන් කයෙහි උපදින වේදනා
විඳින්නාට ප්‍රිය ජනක වූ විට
ඔහු තුළ රාගය උපදී.
රාගය සිතෙහි ඇති වෙන විට
ඒ රාගයට පදනම්වූ
ප්‍රිය වේදනාවක් කයෙහි පවතී.
රාගය අයත්වන්නේ තණ්හාවටයි.
රාගයට පියාපත් නැත. අඬුපඬු නැත.
අරමුණක් නැත. රාගය බීජයක් පමණකි.
ඒ මොහොතෙහිම
වෙනත් අරමුණකින් උපදින රාගය
බලවත් වුවහොත් මුල් රාගය
නිෂ්ක්‍රීය වෙයි.
රාගයට තටු ලැබෙන්නේ
රාගය උපාදාන වීමේදීය.
රාගයෙන් උණුසුම් වුණ සිත
එයින් ජනිත වෙන ප්‍රිය වේදනා
දිගින් දිගට පවත්වාගන්නට
හිමි කරගෙන රැකගන්නට කරන සැලසුම්
රාගය උපාදාන වී ඇතිවෙන
කාමච්ඡන්ද නීවරණයේ ප්‍රතිඵලයි.
ආදරයෙන් බැඳෙන්නාගේ සැපට මෙන්ම
ඔහු විඳින සියලු දුක්වලට හේතුවෙන
ආදරය නමින් බිහිවෙන සියළු ප්‍රශ්න
කමච්ඡන්දයෙන් ජනිත වෙයි.
ප්‍රධානම ප්‍රශ්නය වන්නේ
තම සිතැඟි අනුව අනෙක නොපවතින විට
සිතෙහි ඇතිවෙන ද්වේශය උපාදාන වීමන්
ඒ අනුව ව්‍යාපාදයෙන් ක්‍රියා කරමින්
වාද විවාද, අඬ දබර, පහරදීම්,
පිහි ඇනුම්, මිනිස් ඝාතන පවා සිදුවීමයි.
මේ ප්‍රශ්න වලින් විඳින
දුක් සමුදායෙන් මිදෙන්නට
බුදු දහම මගින්
ක්‍රම තුනක් ලබා දෙයි.
ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයෙන්
රාගයත් කාමච්ඡන්දයත් සහිත සිත
දමනය කරගන්නට ඔහුට හැකි වෙයි.
සමාජීය සබඳතා බිඳී විඳින දුකෙන් මිදෙන්නට
ශීලයත්
සිත කැළඹී විඳින දුකෙන් මිදෙන්නට
සමාධියත්
සිත කය වෙනස ගැන සිහියෙන්
ඒ වෙනසට උපේක්ෂාවෙන් විසීමෙන්
සිත පිරිසිදු කරගන්නට
ප්‍රඥා මාර්ගයත්
බුදු දහම පිළිපදින්නාට උපකාර වෙයි..
බුදු දහම ආදරය හඳුන්වන්නේ
ගුණාංග හතරක් සහිත
සතර බ්‍රහ්ම විහරණය යි.
රාග ද්වේශ මෝහ වලින් විනිර්මුක්ත සිතෙහි
සාමාන්‍ය ස්වභාවය මේ ගුණාංග හතරයි.
මෙත්තා නම්
පොදුවේ සත්වයා
නිදුක්ව, නිරෝගීව, සුවපත්ව වෙසෙනු දැකීමට
කෙනෙකු තුළ ඇති ස්වාභාවික උවමනාවයි.
කරුණා නම්
දුක් විඳින්නෙකු දුකෙන් මුදවා ගන්නට
කෙනෙකු තුළ ඇතිවෙන ස්වාභාවික උවමනාවයි.
මුදිතා නම්
සැපෙන් සතුටෙන් සිටින කෙනෙකු දුටු විට
ඔහුගේ හිතේ ඇති වෙන සතුටයි.
උපෙක්ඛා නම්
තමන්ට පැමිණෙන දුක් හිරිහැර වලට
ද්වේශයෙන් ප්‍රතික්‍රියා දැක්වීමෙන්
වැළකී විසීමයි.
කවුරුත් ආදරය කියන වචනයට රුචිකත්වයක් දක්වනවා. ආදරයෙහි ගැඹුර පිළිබඳ එතරම් වැටහීමක් නොතිබුණ ද ලොකු, කුඩා වශයෙන් හැමෝම ආදරයට ආදරෙයි. අන් හැම දෙයකටම වඩා සියල්ලන්ම ආදරය සොයයි.
ධර්මයේ ‘ආදරය’ යන වචනය ‘ප්‍රේමය’ නමින් හඳුන්වා දෙයි. බුදු දහම ප්‍රේමය, ශෝකයක්, දුකක් ලෙස සැලකුව ද කිසිසේත් එය ප්‍රතික්ෂේප නොකරති. මක්නිසාද ආදරය බැහැර කොට මේ සමාජයට ගමන් කළ නොහැකි බැවිනි.
මිනිසුන් පමණක් නොව තිරිසන් සත්ත්වයා ද ආදරය සොයයි. මේ අනුව ආදරය කෙතරම් වටිනා දෙයක් ද යන්න මැනැවින් පැහැදිලි වනු ඇත.
ආදරයේ යථාර්ථය වේදනාව බව පැහැදිලි කරන බුදු දහම එහි ඇති වටිනාකම ද මැනැවින් පැහැදිලි කරයි. ආදරය වේදනාවක් බව සුද්ධෝදන රජු රාහුල කුමාරයාව බුදුන් වහන්සේ පැවිදි කළ අවස්ථාවේ සඳහන් වචන වලින් පැහැදිලි වේ. “සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු විදගෙන ආදරය ගමන් කරයි. දරුවන්ට ඇති ආදරය එය අහිමි වූ විට දරා ගැනීම අතිශය අපහසුය.”
ආදරයෙහි වටිනාකම තහුවරු වනුයේ එයට කරුණාව මුසු වූ විටය. එවිට සුන්දර මිනිසුන් සිටින පරිසරයක් බිහිවනු ඇත. වර්තමානයේ දකින්නට ලැබෙනුයේ ආදරයට අයිතිවාසිකම් එකතුකර ඇති බවක්ය. එහිදී ආදරයේ ඇති පිරිසුදුකම අහිමි වනු ඇත.
ඔබ ඔබ තුළ යහපත් විඳවීමකින් තොර ජීවිතයක් අපේක්ෂා කරන්නේ නම් ආදරය සහ කරුණාව දැනෙන්න ජීවත් විය යුතුය. එය හදවතින් පුරුදු පුහුණු කරන්නට අවශ්‍ය දෙයකි. එකිනෙකා තුළ යහපත් පිරිසුදු බැඳීමක් ගොඩ නැගීමට නම් ඔවුනොවුන් මනා සංවාදයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍යයි. වර්තමානයේ එකිනෙකා අතර කතා බහ බෙහෙවින් අඩු වී ගොසිනි. එවිට ඔවුනගේ අදහස්වලට ඇති ඉඩ ඇහිරී යාවි. එයින් එකිනෙකා වැරැදි පූර්ව නිගමනවලට එළැඹේවි. සැකය උලුප්පා දැක්වේවි.
ආදරය සේම කරුණාව ද යහපත් මානව සබඳතාවක් ශක්තිමත් වීමට ඇවැසිමය. කරුණාව යනු හදවතේ ඇතිවන තෙතමනයයි. අනුකම්පාවයි. හදවතේ ඇති වන්නා වු අනුකම්පාව සහ තෙතමනය අනෙකා කෙරෙහි උපේක්ෂාවෙන් බලන්නට පුරුදු කරවයි.
කොතරම් දේ සිතට ආවද අනෙකාට රිදවිය යුතු නැත යන මනෝභාවය පැමිණේ. එක්තරා විදියකට එය ඔවුනොවුන් අතර ඇති වන අවබෝධය ලෙස ද හැඳින්විය හැකියි. දෙදෙනකු අතර සබඳතාවය බිඳී යනුයේ ඇතැම් විට පුංචිම කරුණක් නිසා විය හැකියි. එහිදී නැවත නැවත සිහිගන්වාගෙන ආදරය, කරුණාව පෙරදැරිව කටයුතු කරන්නේ නම් මැනවි. බැඳීමක් ශක්තිමත් වන්නේ එවිටය. ආදරය ළඟ දුක නොදැනීමට නම් එයට කරුණාව ඕනෑමය..
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood