අවිහිංසාවාදී දරුවෙකුගෙන් වහනය වන්නේ සමාජයට හිතකර සුවඳයි
බුදුන් විසූ දඹදිව සිටි අඟුලිමාල , මුලා වූවන් ප්‍රයෝජන කර ගනිමින් තමන් එල්බ සිටින මුලාවෙන් ම අනුන් උසි ගන්වා උන් අතට මුගුරු දී අනුන් මරන්නට යැවූහ.අද ලෝකයේ ද එසේ වන අංගුලිමාලලා බොහෝය.
අනුන් මෙසේ යැයි කියූ දෙයක්, කෙසේද යන්න තමන් විසින් විමසා නොබලා කරන්නේ ද එම පුද්ගලයා තුල අංගුලිමාලයෙක් වෙසෙන්නේ ද? යන්න බලමු ..
“එව බලව …” යැයි කියාදුන් දහමක් අදහන බහුතරයක් ඉන්නා රටක මුලාවන් හිස් මුදුනින් පිළිගන්නා හැදියාව නතර කිරීම වෙන කාගේවත් නොව තමන්ගේ වගකීම ය.
දුප්පත් බැවින් අපරාධ කරන්නේ යැයි කීම දුප්පත් සද්ගුණවත් පුරවැසියනට කරන ද්වේෂ සහගත අපහාසයකි.
නූගත් අය අපරාධ කරනවා යැයි කීම සද්ගුණවත් නූගත් අයට කරන අපහාසයකි.
මානසික ලෙඩ්ඩු අපරාධ කරනවා යැයි කීම අපරාධ නොකරන මානසික ලෙඩ්ඩුන්ට කරන අපහාසයකි.
මාධ්‍ය නිසා කුල්මත් වී අපරාධ කරනවා යැයි කීම මාධ්‍ය රසවිඳින එහෙත් අපරාධ නොකරන සියල්ලන්ටම කරන අපහාසයකි.
අවි ගත්තවුන් අපරාධ කරනවා කීම නීත්‍යානුකූලව අවි ඇති එහෙත් අපරාධ නොකරන සියල්ලන්ට ම කරන අපහාසයකි.
දුප්පත්, නූගත්, මානසික ලෙඩෙක් වීම, මාධ්ය්ය හෝ නීත්‍යානුකූල අවි ඇති නිසා නොව අයෙක් අපරාධකරුවෙක් වෙන්නේ එයා අපරාධයක් කළ නිසා ය.
දුප්පත් නැති, නූගත් නොවන හා මානසික ලෙඩෙක් නොවන අය ද අපරාධ කරති. මාධ්‍ය බලන්නේ නැති අයත් අපරාධ කරති. වැඩියෙන් අපරාධ සිද්ධ වෙන්නේ නම් නීත්‍යානුකූල අවි නැති අය අතිනි!!!
අයෙක් අපරාධයක් කරන්න තීරණයක් ගත්තා යන වගකීම අපරාධකරුවා වෙතින් අහක් කර, එය සමාජයේ දරීද්‍රතාවය, නූගත් බව, මානසික ලෙඩෙක් වීම, මාධ්‍යය නිසා හෝ නීත්‍යානුකූල අවි අයිතියට ඉඩ ඇති නිසා, යන්නෙන් විග්රහ කරන්නට යෑමේ දී ඇති දැඩි කරන්නේ වරද තමන්ගේ දැයි සොයන්නේ නැතිව වරදේ යෙදෙන අංගුලිමාලලා ය.
අයෙකු සතු පුද්ගලික වූ දේපල කුමක් දැයි නොදන්නා සමාජයකට, අයෙකුට තමන්ගේ සිරුරට පුද්ගලික අයිතියක් ඇතිබව ද වටහා ගැනීම අසීරු ය. අයෙක් සතු දේපල එයාගේ ස්ව උත්සාහයෙන් හම්බ කරගත්තක් නොව සමාජය විසින් දුන් නිදහස් අධ්‍යාපනයෙන්, සමාජය විසින් දායාද කරන ලද සංස්කෘතික උරුමයෙන් හා සමාජය විසින් දෙන ලද අවස්ථා වලින් ලැබෙන්නක් බව හිතන රටාව නිසා තම දූ දරුවන් ද තමන්ගේ කැමැත්ත අනුව කැමැත්තක් කරත හැකි දේපල යැයි සිතාගෙන සිටිති.
වගකීම නැති සමාජයක, අනුන්ගේ දේපල ඔවුන් අයිති කරගත්තේ යම් බලහත්කාරකමකින් හෝ වරප්රසාදයකින් යැයි (වැඩියෙන් ම වෙන්නේ එහෙම නිසා) එය නිවැරදි ක්‍රමය යැයි සිතන හුරුවෙන් මුලා වූවන් අනුන්ගේ දේපල කඩා බිඳ දැමුවාට කමක් නැතැයි ද සිතති. අනතුරුව මහජන දේපල යනු තමන්ගේ දේපල බව නොදන්නා නිසා මහජන දේපල විනාශයට ද නොපසුබට වෙති. මහජන දේපල වලට සෙසු පුරවැසි ජීවිත ද අයත් වෙන්නෙන් ඒවා ද විනාශයට ඉදිරිපත් වෙන්නේ මුලාවේ පතුලට ම කිඳා බැසගෙන ය.
පුද්ගල අයිතිය නම් ඒ ඒ පුද්ගලයාට තමන්ගේ සිරුරට, තමන්ගේ වෙහෙසින් උපයා ගන්නට ඇති අයිතිය යැයි නොදකින්නාට උදුරා ගැනීමක් යනු තමන්ට අයිති දෙයක් වෙන කෙනෙක් ගත් නිසා එය ආපසු ගැනීමක් පමණි. එසේ හිතන්නට අංගුලිමාලයෙක් අප පුහුණු කර ඇත්තේ වගකීම ඔහු වෙතින් ඉවත් කර, වැරැද්ද ඔහුගේ තීරණයක් නිසා නොවේ, ඔහු කරන වැරැද්ද සමාජයෙන් ඔහුට අඩුපාඩුවක් වීමේ වැරැද්දක් නිසා යැයි කීමෙනි.
අහිංසකයන් යැයි හංවඩු ගසා ආරක්ෂාව සලසන්නට පීඩිතයන් පිරිසක් අවශ්‍යය. පීඩිතයන් නොවන පිරිස තමන්ගේ සුවසෙත සලසා ගන්නා වගකීම ගන්නා නිසා එසේ වගකීමක් ගන්නට හැමෝටම ඉඩ දුන්නහොත් සැලසුම් ගහනා අයගේ රස්සාවන් අවශ්‍යතාවය නැති වී යති.
එහෙයින් අංගුලිමාලයන් පිරිසක් සොයා ගැනීම සැලසුම් ගහනා විසල් ආණ්ඩු වලට, සමාජ සුබ සේවා සංවිධාන වලට, දේශපාලන පක්ෂ නම් වූ ‘දිසාපාමොක්ලා’ නැතිවම බැරි වූවකි.
උපන් නැකතේ දී අපරාධකාරයෙක් වේ යැයි අනාවැකි කියූ නිසා දරුවාට අහිංසක යැයි නම වැටේ. එනම් උප්පත්තියේ දී ම ඔහු වර්ගීකරණය වෙන්නේ අපරාධකරුවෙකු වෙන්නට හැකියාව ඇත්තෙක් ලෙසට ය!!!
අහිංසක යන්නේ තක්ෂිලාවට ය. එහි දී දක්ෂ සිසුවෙක් වෙන අහිංසක ගුරුවරයාගේ සිත දිනා ගනියි. බොරුවෙන් මුලාවෙන් අහිංසකයන් රවටා ගන්නා හැදියාව එදා දඹදිව ද මනාව තිබි බව පැහැදිලි වෙන්නේ ගුරුවරයාගේ අඹුවගේ සිත් දිනා ගුරුවරයාට වඩා තමන් දන්නේ යැයි අහිංසක කිව්වා යැයි මුලාවක් ගොතන්නට දක්ෂ සිසුවාට වැට කපන පිරිසක් ඉදිරිපත් වීමෙනි. ඊට රැවටෙන ගුරුවරයා තමන් ද කොතරම් නැණවත් වුවත් බොරුකාරයන්ගේ මුලාවට හැඟීම් නිසා හසුවන බව ඔප්පු කරයි.
ඉගෙනුම සම්පූර්ණ කරන අවසන් වතාවත් තෑග්ගක් පිණිස ඇඟිලි දාහක්, දාහක් පුද්ගලයන් වෙතින් කපාගෙන එන්නට අහිංසක පිටත් වෙයි. නූතන ලෝකයේ ද තමන් කරන ක්‍රියාව ගැන නොවිමසා එහෙත් එහි යෙදෙනා මහත් පිරිස අංගුලිමාල අනුගමනය කරන්නෝ වෙති. වගකීම දන්නා දෙමව්පියන් විසින් තම දරුවන්ට තරයේ කියා දිය යුත්තේ අනුන් කියන දේවල් විමසා නොබලා අනුගමනයෙන් තම වගකීම පැහැර හැරෙන බවයි.
එහෙත් ඊට ලැබෙන විපාක විඳින්නේ ඒ කියන අය නොව කරන තමන් බවයි.
විමසන්නට හැකියාව, මොළයක් ඇත්තා උප්පත්තියෙන් ලද්දකි. එය දුප්පත්කම නිසා ඇණ හිටියක් නෙමෙයි. මන්ද දුප්පත් අහිංසකයන් සියල්ලන් ම අංගුලිමාලයන් නොවෙන නිසා ය. එය නූගත්කම නිසා නතර වූවක් නෙමෙයි. මන්ද නූගත් අහිංසකයන් සියල්ලන් ම අංගුලිමාලයන් නොවෙන නිසා ය. එය මානසික ලෙඩෙක් වූ නිසා නතර වෙන්නක් ද නොවෙයි. මන්ද මානසික ලෙඩ්ඩු සියල්ලන් ම අංගුලිමාලයන් නොවන නිසා ය.
දුප්පත්, නූගත්, මානසික ලෙඩ්ඩු, මාධ්ය්ය රසවිඳින, අවිගත් අය කරන අපරාධ ම කරන පෝසත්, උගත්, මානසික ලෙඩ්ඩු නොවන, මාධ්ය්ය නොබලන, අවිනොගත් අය අහිංසකයන් නොවී අංගුලිමාලයන් ම වෙන්නේ එකම එක හේතුවක් නිසා පමණි. එනම්, තමන් විසින් වගකීමකින් තොරව තීරණයක් ගැනීමෙනි.
බුදුන් ධර්මය කියා දුන්නේ අංගුලිමාලට ය. නැතිව එදා දඹදිව දිසාපාමොක් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්නට ගියේ නැත!!!
“ධර්මයක් හෙළි කර දුන් පසු පමණක් එම ධර්මය හෙළි කරගත් ආකාරයටම අපි වනගත වී භාවනා කරන්නට පෙළඹෙන්නේ මන්ද?
අපට හෙළි කර දුන් සත්‍යය තේරුම් ගැනීමට බැරිද? එය ශුද්ධ පව්ත්ර කොට තේරුම් කරදුන් පසු වැටහෙන්නේ නැති මෝඩයින්ට මුල් පටන් භාවනා කොට අළුතෙන් යමක් සොයා ගැනීමට හැකිවේද?”
වරදක් කෙරූ අයගේ වැරදි තීරණය පෙන්වා දීමෙන් ධර්මය කියා දීම අද සිද්ධ වෙන්නේ ද?.. අංගුලිමාලයන් වූ අයට වගකීමක් ගෙන අහිංසකයන් වෙන හැටි කියා දෙන්නේ ද?
බුද්ධියේ සරණ යන්න. ධර්මයේ සරණ යන්න. ධර්මය නිවැරදිව කියාදෙන අයගේ සරණ යන්න.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood