බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙන ජීවිතයේ උතුම් ගුණ දහම් හතරක් ගැන බුදු දහමෙහි සඳහන් වෙයි .
මෙත්තා
කරුණා
මුදිතා
උපේක්ඛා
යනු ….එම උතුම් ගුණධර්ම හතරයි. බ්‍රහ්ම යන වචනයෙහි “ශ්‍රේෂ්ඨ” යන තේරුම ඇත.වාසය කිරීම පැවැත්ම යන තේරුම විහාර හෙවත් “විහරණ” යන වචනයෙහි අන්තර්ගතය. ඒ අනුව බඹ විහරණ යනු ,ශ්‍රේෂ්ඨ අන්දමින් හෙවත් උතුම් ලෙස පවත්වා ගැනීමයි. ශ්‍රේෂ්ටත්වය පුද්ගල ජීවිතය තුළ වර්ධනය කර ගැනීමට, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඉවහල් වේ.
මෛත්‍රීය යනු හිතවත් භාවයයි. සියලුම ජීවීන් කිසිදු භේදයකින් තොරව දුකින් මිදී සැප යෙන් යුතුව ජීවත් වනු දැකීමට අවංකවම සිත පොළඹවන උසස් සිතුවිල්ල මෛත්‍රියයි. තම මිතුරකු පිළිබඳව තමා තුළ පවතින හිතවත් භාවයට සමාන හිතවත්කමක් සියලු මිනිසුන් කෙරෙහි පමණක් නොව, සියලු සත්වයාම කෙරෙහිද දැක්වීමට තරම් දියුණු කළ හැකි සිතිවිල්ල මෛත්‍රියයි. ඔබ අවංක මිතුරෙකු නම්… ඔබේ මිතුරාට සැපත යහපත ඔබ නිතරම ප්‍රාර්ථනා කරනු ඇත. විපතක් හෝ දුකක් හෝ කිසිදු මිතුරෙකුට ප්‍රාර්ථනා නොකරනු ඇත. එබඳු හිතවත් බවක් සතුරු මිතුරු ආදී හැම දෙනාම පිළිබඳව ඇති කර ගැනීමට ඔබට හැකියාවක් ඇත්නම් , දියුණු වූ සිතිවිල්ලක් ඇත්නම් , එය මෛත්‍රියයි. එය ටිකෙන් ටික වැඩි දියුණු කරගැනීමට දරණ මානසික ව්‍යායාමය මෛත්‍රී භාවනාව ලෙස හඳුන්වමු. උසස් මට්ටමකට දියුණු වූ මෛත්‍රිය බ්‍රහ්ම විහාරයක් ද වේ.
දුකට පත් වූවන් දුටු විට හෝ එබන්දක් ගැන දැනගත් විට හෝ ඔවුන් දුකින් මුදවා ගැනීම සඳහා ඉදිරිපත් වීමට තරම් සිතෙහි ඇති වන අනුකම්පාව කරුණාවයි. නෑදෑකම මිත්‍ර කම හෝ සලකා කෙනෙකු තවත් කෙනෙකුට පිහිට වීමට ඉදිරිපත් විය හැකියි. හැකි ඕනෑම මිනිසකු ගේ පමණක් නොව සතුන්ගේ පවා අසරණ භාවය ගැන සලකා පිහිටවීමට පොලඹවන මානසික ස්වභාවය කරුණාවයි. වැරදි අවබෝධය නිසා තම ජීවිතය මෙලොව වශයෙනුත් පරලොව වශයෙනුත් පරිහානියට පත් කර ගන්නා අය ගැන අනුකම්පාවෙන්… ඔවුන්ට නිසි මඟ පෙන්වා දීමට පෙළඹවීම ද කරුණාව වේ.
කරුණාව ඉතා උසස් මට්ටමකින් ක්‍රියාත්මක වන විට එයද බඹ විහරණයක් බවට පත්වෙයි.
මුදිතාව යනු, අන් අයගේ දියුණුව සතුට හෝ සැපත දැක එය තමන්ටම වූ දෙයක් ලෙස සලකා සතුටු වීමයි. සැපවත්ව සතුටින් කල් ගෙවන ඕනෑම අයකු දැහැමි ලෙස ලබා ඇති සැප සම්පත් දැක සතුටු වන හිතක් ඔබට ඇත්නම් එය මුදිතාව ලෙස සැලකේ.
සිත්හි ඇති වන මැදිහත් බව උපේක්ඛා ලෙස හඳුන්වමු. කිසිවක් ගණන් නොගන්නා ගතිය මැදිහත් බව යැයි බොහෝ දෙනා සිතූවද එය එසේ සැලකිය නොහැක. ජීවිතයේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇතිව සිතෙහි සමබරතාවය පවත්වා ගැනීම ඉන් අදහස් කෙරේ. පුද්ගලයන් හා වස්තූන් කෙරෙහි දැඩි ආශා ඇති කර ගැනීමත්, පුද්ගලයින් හෝ වස්තුන් සමග ගැටුම් ඇති කර ගැනීමත්, සිතෙහි සමබරතාවය නැතිව යාමට හේතු පාදක වෙයි .ඇලීම් ගැටීම් ආදිය කෙරේ අවබෝධයෙන් යුතුව දක්වන මැදිහත් කම අපේක්ෂාව ලෙස හඳුන්වමු .
මේ සතර බ්‍රහ්ම විවරණයන් ගෙන් යුක්ත වීම ඒ ඒ පුද්ගලයාගේ සැනසීම පිණිස හා සමාජයේ පොදු යහපත පිණිස හේතු වෙයි. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මසුරුකම ආදී සිතිවිලි අපගේ සිත තුළ වැඩි වූ තරමට ම නොඉවසිල්ල සහ අසහනය අතෘප්තිය ද වැඩි කරවයි. ඒවා අඩු වූ තරමට හිතට සැනසීම සමග සැහැල්ලුව ද ළං වෙයි. සතර බ්‍රහ්ම විහරණයන් ප්‍රගුණ කරන විට, මෛත්‍රීයෙන් කරුණාවෙන් මුදිතාවෙන් හා උපේක්ෂාවෙන් ජීවිතය සරසා ගත් විට පීඩාකාරී සිතිවිලි ඉවත් කර, විඩාපත් වූ මනස සිසිල් වී සුළඟින් නිවී සැහැල්ලුවෙන් සැනසෙනවා මෙන් සුවයක් අත්පත් කරගත හැකියාවද අපට සොබා දමින්ද දායාද වෙයි.
ක්‍රෝධය වෛරය අප තුළ බල පවත්නා විට, අපගේ සිතට කෙතරම් අසහනයක් දැනේද? මෛත්‍රී සහගත සිතිවිලි ඇතිකර ගත් විට ක්‍රෝධය හා වෛරය සිතෙන් බැහැර වීම නිසා සිතට දැනෙන්නේ මහත් සැනසීමක් .කරුණාව වැඩි දියුණු වූ තරමට අනුන්ට උපකාර කිරීමට පුද්ගලයා තුළ පෙළඹවීමක් ඇති වෙයි. කරුණා පෙරදැරිව කළ උපකාරයක් සිහි කරන විට හිතට දැනෙන්නේ සැනසීමක් සහිත හැඟීමක් .
මුදිතා ගුණයෙන් යුක්ත වන තැනැත්තා අනුන්ට ඊර්ෂ්‍යා නොකරන අතර අනුන්ගේ සැපත දැකීමෙන් ඊර්ෂ්‍යාවක් දොම්නසක් හට නොනගී.එනම් එය සිතට මහත් බරක් ලෙස නොදකී. අනුන්ගේ සැපත දැක සතුටු වන තැනැත්තාට මහත් සැහැල්ලුවක් සිතට දැනේ.
පුද්ගලයන් හෝ වස්තූන් සමඟ ගැටුම් ඇති කර ගැනීම අසහනකාරී ගති වැඩි වීමට හේතු වන අතරම උපේක්ශාව වර්ධනය වූ තරමට ඇලීම් ගැටීම් නැතිවන නිසා මධ්‍යස්ථ සිතිවිලිවලින් යුක්ත වන සිත සැහැල්ලු ය.
එසේ ම ගුණදහම් නිසා අධ්‍යාත්මික වශයෙන් ඉතා උසස් පුද්ගලයකු බවට පත් වෙයි. සාමාජික වශයෙන් බලන විට අන්‍යෝන්‍ය සුහදතාවය මිත්‍රශීලී බව එකිනෙකාට උපකාර කිරීම අසරණයන්ට පිහිට වීම වැනි උදාර ගති ගුණ වැඩි දියුණු වීමට මෙම ගුණ දහම් උපකාරී වෙයි. සමාජයේ සියලු දෙනා ඔවුනොවුන් කෙරෙහි උපේක්ෂා සහගතව ක්‍රියා කරයි නම්, ඔවුනොවුන් අතර ගැටීම් ද ඇතිවීමට ඉඩකඩ නැත .
අනුන්ගේ දුක හඳුනන තම සුඛ විහරණය ගැන පමණක් නොසිතන සමාජයක් බිහිවීමට මෛත්‍රිය කරුණාව දැඩි ලෙස උපකාර වෙයි.
ඊර්ෂ්‍යාවෙන් තොරව ඔවුන් ඔවුන්ට උපකාර කරගන්නා සොම්නස පිරි සමාජය ඇති වීමට බෙහෙවින් ඉවහල් වන්නේ මුදිතාව උපේක්ෂාව ප්‍රගුණ කරන විටයි.සමාජයෙහි ඕනෑම ගැටළුවකට අකම්පිතව මුහුණ දෙන සමාජ පිරිසක් බිහිවෙයි. ජාතිය ආගම කුලය ආදී පටු සාමාජික බෙදීම් නො තකන සුහදශීලී සමාජ වාතාවරණයක් ගොඩ නගා ගැනීමට සතර බ්‍රහ්ම විහරණයන් උපකාර වන බව වටහා ගත හැකිය.
මෙම බඹ විහරණ භාවනා වශයෙන් පුහුණු කිරීමෙන් මානසික ශක්තීන් ද වර්ධනය වන අතර අධ්‍යාත්මික දියුණුව ද සලසා ගත හැකිය. බෞද්ධයන්ට නිවන් අවබෝධ කරගැනීමට ද මෙය මහෝපකාරී ගමන් මගකි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood