Temples of Sri Lanka

විස්මිත කැපකිරීම් දහමෙන් දකිමු …

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බා චරියාති වුච්චරේ
ආහුණෙය්‍ය ච පුත්තානං
පජාය අනුකම්පකා

මව්, පියවරු වනාහී බ්‍රහ්මයෝ ය. පූර්වාචාර්යවරුන් ලෙස හඳුන්වන්නේ ද ඔවුන්වය.දූ දරුවන්ට අනුකම්පාව දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිටි නමුත්, ආහාරපාන රැගෙන විත් උපස්ථාන ලැබීමට සුදුසුය…

මෙසේ ඒ සුගත වූ තතාගතයන් වහන්සේ දෙමව්පියන්ගේ ගුණය ගැන ප්‍රශංසා කළ සේක. දෙමව්පියන්ගේ ගුණය සර්ව සම්පූර්ණයෙන්ම දන්නා කෙනෙක් අපගේ බුදුරජාණන් වහන්සේ හැරුණු කොට තවත් නැති තරම්ය.

උන්වහන්සේගේ අනාවරණ ඥානය ට සැඟවුණු දෙයක් ඇත්තේ නැති තරම්. සියල්ල උන්වහන්සේ අවබෝධ කළ සේක. උන්වහන්සේ දරුවන් දෙමව්පියන් කෙරෙහි බැතිමත් කරවූයේ ,උපස්ථාන කිරීමට උත්සුක වූයේ, මව් පියන්ගේ ගුණයත්… උපස්ථාන කිරීමෙන් දරුවන්ට සැලසෙන යහපතත් පැහැදිලි ලෙසම දන්නා නිසයි.

බිළිඳෙක් තම කුසට පැමිණි දා සිට , ඔවුන් මේ බිළිඳාට උපකාර කරනවා. තම කුසට පැමිණි දරුවා බිහි කිරීමට තීරණය කිරීම ද ඔවුන් කරන මහත් කැප කිරීමක්. මේ දරුවා ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට සිතා කුස තුල දරුවා මරා දැමුවා නම්… අප කිසිවෙක් මෙළොව එළිය දකින්නේත් බිහි වන්නේත් නැහැ.

දරුවා කුසට පැමිණි පසු මෑණියන් දුර බැහැර ගමන් වලින් වලකින්න, කැමැති ආහාරපාන අනුභවයෙන් වැළකී සිටින්නට,නිරන්තරයෙන්ම පෙලඹෙනවා. පියාගේ කාර්යය ද බොහෝ විට වන්නේ මවට සිත් කරදර ඇතිවීමට පවා ඉඩක් නොතැබීමයි.

දරුවා ගැන සිතමින් වෙනදාටත් වඩා මහන්සිවී මිල මුදල් හම්බ කරන පියා දරුවා උපන් පසු ලෝකය හඳුන්වාදීමට ද වැර දරනවා. දරුවෙකු බිහිකරන්නට මඑඅ හා සමාන වගකීමක් දරන ඔහුද යහපත අයහපත පෙන්වා දෙන්නට දරුවාවෙනුවෙන් බැඳීමද කැප කිරීමක්.

කතා කරන වයසේ පොඩි දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති. එවන් දරුවකු තමන් දකින දේ ගැන කෙතරම් ප්‍රශ්න කරනවද? මේ හැම විටම දෙමව්පියන් කොතරම් ඉවසීමෙන් පිළිතුරු ලබා දෙනවාද? මේ දෙමව්පියන් දරුවන්ට යහපත් අධ්‍යාපනයක් රැකියාවක් විවාහයක් යාන වාහන ගෙවල් දොරවල් ආදී වත්කම් සකසා දීමට සමහර විට දරුවන්ගේ දරුවන්ටත් ඒ අයව උස් මහත් කර දීම ආදිය ද උදෙසා අනන්ත කැප කිරීම් සිදු කරන අවස්තාවන්..

සමහර විට ම මුළු ලෝකයක් එක්වී ප්‍රතික්ෂේප කරද්දී පවා දෙමව්පියෝ තම දරුවන්ගේ පාර්ශවය ගන්නේ කුසේ සිට වැඩෙන්නට ලබා දුන් ශක්තියේ වගකීම් බාරගත් කැපකිරීමක් ම තමයි.

බෞද්ධ කතා වස්තූන් එක්ක එකඟ වන එක් කැප කිරීමක් දෙස මදක් බලමු. මව් ගුණය ප්‍රකට කළ මෑණි කෙනෙක් වශයෙන් අපේ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ මෑණියන් වහන්සේ එනම්,මන්තානි බැමිණිය…හඳුන්වමු. කොසොල් රජු සේනාව රැස්කොට අංගුලිමාල අල්ලාගැනීමට යන බව ඇසූ මෑණියන් , දරුණු ව සිටි අංගුලිමාල වෙත යෑමට ද තීරණය කරන්නේ විස්මිත කැපකිරීමක් සමගයි.

අදත් බොහෝ වැරදි සිදු කොට සමාජයෙන් නින්දා ලබා සිර ගත වෙද්දී පවා දරුවන් කෙරෙහි එක ලෙස සෙනෙහෙවන්ත යෙන් පසු වෙන කෙනෙක් ඇත්නම් ඒ අම්මා තාත්තා පමණයි.

එසේ මවුපියන් විසින් කරන කැප කිරීම නිසා පසු කලෙක උසස් අධ්‍යාපනය ලබා උසස් රැකියාවල නිරත වෙන දරුවෝ අන්තිමේ දී දෙමාපියන් අත්හැරලා පිටරට පදිංචියට පවා යනවා. අසරණ දෙමව්පියන් නිවෙස් තුළම තනි වෙනවා. තම ජීවන සිහින ඉටුකර ගැනීම ගැන පමණක් සිතන දරුවන් තමාට උපකාර කළ තමාට උසස් ජීවිතයක් ලඟා කළ දෙමව්පියන්ට සතුටු ලබා දීමට මාසෙකට වතාවක් මුදල් එවනවා. අවුරුදු ගණනකට වතාවක් දැකීමට එනවා. සමහර අය තම ස්වාමියා බිරිඳ නිසා දෙමාපියන් දැකීමට එන්නටත් තහංචි ….ඔවුන්ට දෙමාපියන් අත්හරින්නට සිදු ව ඇත්තේ තමන්ගේ පවුල් ජීවිතය රැක ගැනීමටයි. තමාගේ පැවැත්ම අතහැර දෙමාපියන් උදෙසා කැප කිරීම් කරන දරුවන් ඉතාමත් අල්ප ලෝකයක් මේ…

කාශ්‍යප බුද්ධ ශාසනයේ ජීවත් වෙලා හිටපු ඝටීකාර උපාසක එවන් දුර්ලභ ගණයේ සත්පුරුෂයෙක්. අනාගාමී ඵලයට පත්වෙලා කාමයන් කෙරෙහි ආශාව සම්පූර්ණයෙන් ම ප්‍රහාණය කර සිටි එතුමාට උතුම් පැවිදි ජීවිතයට ඇතුළු වීමට කෙතරම් නම් කැමැත්තක් තිබෙන්නට ඇතිද ? නමුත් එතුමා ගිහි ජීවිතය තුල රැඳවූයේ දෑස් අඳ දෙමාපියන් වෙනුවෙන්. එතුමා එවන් උතුම් කැපකිරීමක් කළ අයෙක්.

එසේම වර්තමානයේ ස්වාමියාට බිරිඳ උදෙසා, බිරිඳට ස්වාමියා උදෙසා, කැප වෙන්නට නොහැකි… මිතුරෙකුට තවත් මිතුරෙකු උදෙසා, කැප වන්නට නොහැකි… ආදරය කරන අයට තම ආදරණීයයන් උදෙසා, කැප වෙන්නට නොහැකි …තමාගේ ආශාවන් නිසා තමන්ගේ අවශ්‍යතාවයන් උදෙසා ක්ෂණයකින් ඒ සියල්ල අත්හැර දමන පිරිසක් සහිත වට පිටාවක් තියෙන්නේ…

බිරිඳ ස්වාමියා දරුවන් උදෙසා කැප වීම වෙනුවට, තම රැකියාවේ ස්ථාන පසුපස දිව යනවා. මුදල් ඉපයීමේ ආශාවෙන් යුතුව නිවසේ වැඩපල සියල්ල පසෙක දමා රැකියාවටම ප්‍රමුඛත්වය ලබා දෙනවා .දරුවන්ට යහමග කියා දීම, දරුවන් සමග කාලය ගත කිරීම, වෙනුවට රූපලාවණ්‍ය වෙනුවෙන් වෙහෙසෙනවා. ස්වාමියා විවාහ වී දරුවන් ලැබුණු පසුව ද තමා පෙර ගත කළ නිදහස් ජීවිතයම හොයනවා .රෑ බෝවෙලා නිවසට එනවා. බිරිඳ දරුවන් සමඟින් තමා එනතුරු බලාගෙන ඉන්නවා යන්න නොසිතා ම මත්පැන් පානය කරමින් විනෝද වෙමින්,මුදල් නැති නාස්ති කොට දමනවා. ඔවුන් ඒ ආදරය වෙනුවෙන් කැප වන්නට අකමැති යි. තමාගේ සිතැඟියාවන් ට අනුව ම තමාට රිසි දෑ තමන්ට රිසි අයුරින් සිදු කරන්නට ඔවුන් උත්සාහ ගන්නවා.

මෙවන් දේ දකින්නට අසන්නට නිරන්තරයෙන් ලැබෙන ලොවක පෙර පිනකට සත්පුරුෂ ඇසුරෙන් අප අවබෝධයට ගන්නා අපේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් දිවිය සේම ලොවට උතුම් කාන්තා රත්නය වන අපගේ යශෝදරාවන් ගේ පෙර ජීවිත පිළිබඳ විස්තරයන් අතිශයින්ම විශ්මය ජනකයි.

බෝසතාණන් වහන්සේ තමන් ගමන් ගත් නැව මුහුදුබත් වෙද්දි, තම මව කර තබාගෙන තෙරක් නොපෙනෙන සයුරේ දින හතක් පිහිනමින් මෑණියන් උදෙසා කළ කැපකිරීම අපට නම් කිසිම දවසක කළ නොහැකි විස්මය දනවන කාර්යයක්…

සුමේධ තවුසාණන් ව සිට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට ධර්මාවබෝධය කිරීමට පින් තියෙද්දි බිහිසුණු සසරට වැටී සත්වයන්ට ධර්මය අවබෝධ කරවීමේ අදහසින් පාරමි ධර්මයන් පිරීමට සිතූ ඒ සිථි වූ චේතනා ඉතා පුදුමය දනවන සුළුයි .

උතුම් අරමුණක් සාක්ෂාත් කිරීම උදෙසා බුදුන් වහන්සේ අරමුණු කරද්දී, තම සිතැඟියාවන් පවා අත්හරිමින් සෙවනැල්ල සේ හිඳිමින් හැකි සෑම අයුරකින්ම උපකාර කරමින් උතුම් යශෝධරාව කළ කැප කිරීම ඉතා පුදුම සහගතයි.

නොයෙක් ජීවිතවලදී සම්මා සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා තමාව අත්හරිමින් තපසට යද්දී පවා මිහිරි තෙපුල් වදන් පවසමින් මග හැරෙන්නට නො දී සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ම තම ස්වාමියා පසුපස පැමිනීම , ම අසිරිමත් කැප කිරීමක්.

උතුම් සම්බුද්ධත්වයට පත්ව ලෝ සතාගේ දුක් ගිනි නිවාලන්නට පුරා පන්සාලිස් වසක් මුළුල්ලේ කරන ලද අතිශය කැපකිරීම අසහාය ය.

ජීවිතයේ ලද නොලද සියලු දේ අභිමුව කරන්නට ඇති බොහෝ දේ උදෙසා මිනිසුන් වශයෙන් කැප කිරීම් කිරීමට ඇති අකමැත්ත පිළිබඳව අපි නිරන්තරයෙන් දනිමු.දහමට සමීප වෙමින් බුදුරජාණන් වහන්සේ තුළ තිබූ අසහාය කැපකිරීම් අපේ ජීවිතය තුළ මදක් හෝ නංවා ගන්නට හැකියාවක් ඇත්නම් අතිශය මිත්‍රශීලී අතිශය සංවේදී අතිශය සුහදශීලී අතිශය ආදරණීයයන් වෙනුවෙන් අපගේ කැපකිරීම් කෙතෙක් දුරට සාධාරණ ද යන්න අපට ම වටහා ගත හැක.

දහමින් දකිමු
දහමින් වටහා ගනිමු
අතිශය දුෂ්කර වූ කැප කිරීම් තුළින් මානුශවාදය අත්දකිමු…
ඒ නිරාමිස වූ සතුට මිනිසත් භාවයෙන් විඳිමු…

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X