බැති සිත ගුරුවරයා වෙත දැක්වීම
බැති සිත ගුරුවරයා වෙත දැක්වීම,යහපත් සමාජයක ප්‍රතිඵල පෙන්වයි…
ලක්දිව එක් දුර්භික්ෂ කාලයකදී සෝණ නමැති දරුවෙක්, මහල්ලෙකු සමඟ ඇවිදිමින් මහා විහාරයට පැමිණියේ ය. ඔහු දුටු එක් තෙරුන් වහන්සේනමක් “දරුව, ඔබ ඔය මහල්ලා අතහැර පැවිදි නොවන්නේ කුමක් නිසා ද?” යැයි ඇසූහ. “මා වැනි විපතට පත් වූ බාලයෙකු පැවිදි කරන්නේ කවුරුන් ද?” යැයි බාලයා කීවේ ය.
මෙය අසා ඒ තෙරුන් වහන්සේ මොහු අනාගතයේදී සසුනෙහි උසස් තැනකට පත් වන බව දැන ඒ බාලයා මහල්ලාගෙන් ඉල්ලාගෙන කරුණා සිතින් පැවිදි කරවීය. මනා ලෙස ඉගැන්වීම ද කළහ.
පසු කාලයක තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ උපන් තැන, බුදු වූ තැන, දම්සක් දෙසූ තැන, පිරිනිවන් පෑ තැන ආදී පූජ්‍යස්ථාන හතර වැඳීමට සිතක් පහළ විය. එම නිසා කුඩානම අමතා මෙසේ කීහ. “මම බුදුරජුන්ගේ සතර මහා සිදුවීම් සිදු වූ ස්ථාන බැලීමට දඹදිව යමි. ඔබ පිණ්ඩපාත කොට මෙහි ම මා එනතුරු නවතින්න.”
එබස් ඇසූ කුඩා හිමිනම “මාගේ ජීවිතය ඇති තාක් කල් මම ඔබවහන්සේ අත් නොහරිමි.” යි කී බැවින් තෙරුන් වහන්සේ කුඩා සාමණේරනම ද කැඳවාගෙන දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පිටත් වූහ. එසේ පිටත් වූයේ තවලම් කණ්ඩායමක් සමඟ ය. මෙසේ ගමන් කරද්දී වන මැද තෙරුන් වහන්සේට වාත රෝගයක් හට ගැණිනි. එය මාරාන්තික එකක් විය. එවිට තෙරුන් වහන්සේ ඉතිරි භික්ෂූන්ට කථා කොට “මම දැන් මරණයට පත් වෙමි. ඔබ හැම දෙනාම වැඩිය මැනවි. මා නිසා ඔබගේ ගමනට කරදරයක් වනවාට මා කැමති නැත.” යැයි කීහ.
සියලු භික්ෂූන් එය අසා ඉදිරියට වැඩිය නමුත් සාමණේර හිමියෝ ඔවුන් සමඟ නොගියහ. එසේ නො ගොස් “ඔබ වහන්සේ ජීවත්ව සිටින තුරු මම මෙතැනින් නො යමි.” යි කීහ. පසුව තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. කුඩා හිමිනම දර එකතු කොට මිනිය දවමින් සිටින අතරේ සක්දෙව් රජුගේ ආසනය සෙලවෙන්නට විය. එවිට සක්‍ර දෙවියෝ අප්‍රකට වේශයකින් එතැනට පැමිණ සාමණේර හිමිගෙන් සියලු විස්තර අසා ඒ නම සමඟ එක් වී තෙරුන් වහන්සේගේ ශරීරය දවා ඒ කටයුතු නිම කර සාමණේර හිමි උතුරු දඹදිවට ගෙනගොස් මහා විහාරයේ මහා ඍද්ධිබල සම්පන්න තෙරනමකට භාර දී “මේ භික්ෂූන්ගෙන් ධර්මය ඉගෙනගෙන තමන්ගේ දියුණුව පාදා ගත මැනව.” යැයි කියා ගියහ.
සාමණේර හිමිනම සියලු පූජ්‍යස්ථාන වැඳ මහ තෙරුන් වහන්සේගෙන් ත්‍රිපිටකය ඉගෙනගෙන උන්වහන්සේගෙන් අවසර ගෙන ආපසු හෙළදිවට එන්නට පිටත් වූහ. මහා කොට්ටදේව නම් තැනට පැමිණෙන විට ධර්මයේ එක පදයක තේරුම අමතක විය. ඒ පිළිබඳව සැකයක් පහළ විය. හෙතෙම යළි හැරී ගොස් මැදියම් රැයෙහි වෙහෙරට පැමිණ මහ තෙරුන් වහන්සේ නිදන කාමරයේ දොරට ගැසී ය. තෙරුන් විසින් “කුමකට ආවේ ද?” යි අසන ලද්දෙන් “ස්වාමීනී, මට එක පදයක් ගැන සැකයක් ඉපදී ඇත. එම නිසා ආවෙමි.” යි කීවේ ය. “කරුණා කර එය මට විස්තර කර දෙනු මැනවි.” යි කී විට, “ඔබ විසින් සිතන ලද්දේ එහි නියම අර්ථය ම ය.” යැයි උන්වහන්සේ පිළිතුරු දිනි.
සාමණේර හිමියෝ එය අසා හෙළදිවට පැමිණ බොහෝ දහස් ගණන් භික්ෂූන්ට පාලි භාෂාව උගන්වා අර්ථ කියා දී වර්ෂයකට පමණ පසු රහත් බවට පත් වූහ. තෙරුන් වහන්සේ වස්සානයේ තෙවෙනි මාසයේ ප්‍රථම යාමයේදී පුවඟු දිවයිනෙහි ද මධ්‍යම යාමයෙහි දී මහා විහාරයෙහි ද පශ්චිම යාමයේ දී සෑගිරියෙහි ද එක් රැයක් තුළ තුන් තැනක දහම් දෙසී ය. වස් පවාරණ කරන දිනයෙහි උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක.
“බුදුරජුන් දෙසූ නවාංග ශාස්තෘ ශාසනය යම් පමණක් ද ඒ සියල්ල ම මවිසින් ප්‍රකාශ කරන ලදී. මහා ඉර්ෂීන් වහන්සේගේ ශාසනයෙහි හැම රසයක් ම මා විසින් අනුභව කෙරිණි. මම සත්කාරයට නොනැමෙන්නෙමි. මම යුගන්ධර පර්වතයට යමි.”
මෙසේ කියා තෙරුන් වහන්සේ යුගන්ධර පර්වතයට වැඩමවා පිරිනිවන් පෑ සේක.
ඊට පසුව ආචාර්යයන් වූ මහතෙරුන් වහන්සේ ද දිවැසින් බලා පවාරණය කිරීම සඳහා එහි වැඩි සේක. දේවරාජයා ද “සෝණ තෙරුන් පිරිනිවන් පෑහ” යි සිතා පූජා පවත්වන්නට එහි ගියහ.
එහිදී දිව්‍යමය පූජා ද ආර්යයන්ගේ පූජා ද පැවැත්විණ. මේ අයුරින් ආචාර්යයන් වහන්සේනමක් සත්කාර කරනු ලැබූහ.
පිදිය යුතු වූවන් පිදීම ඉතා වැදගත් වේ.දහම් පිළිවෙතට අනුව,
අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මෙතෙක් ලොව පහළ වූ සිල්වත්ම ශ්‍රාවක පිරිස යි. එමෙන්ම ගුණවත් ම නැණවත්ම ශ්‍රාවක පිරිස යි. ඒ ශ්‍රාවක පිරිස අතර අග්‍රස්ථානයේ වැඩ සිටි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මුල්කොට භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාල සේක.
සැරියුත් තෙරුන් වහන්සේ පළමුවෙන් ම සද්ධර්මය ශ්‍රවණය කළේ අස්සජි මහරහතන් වහන්සේගෙනි. එමනිසා අස්සජි තෙරුන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් උන්වහන්සේ තුළ තිබුණි. සාරිපුත්තයන් වහන්සේ තමන් වහන්සේ වැඩසිටින ඕනෑම තැනක දී, සිය ආචාර්යයන් වහන්සේ වන අස්සජි තෙරුන් වැඩ සිටින දිසාවට පවා වන්දනා කිරීම දිනපතා ම සිදු කරන සේක. මෙය දුටු සමහර භික්ෂූන් වහන්සේ සිතුවේ “තවමත් සැරියුත් තෙරුන් බමුණු දහමක් වූ දිශාවන්ට වන්දනා කරන බවයි. මේ කරුණ මුල්කොට භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වන්දනා කරනුයේ දිසාවන්ට නොව, තමන්ට පළමු දහම් පදය උගන්වා සෝතාපන්න වීමට උපකාරී වූ ගුරු දේවයන් වහන්සේට බව පෙන්වා දෙමින් මේ දෙසුම වදාළ සේක. මෙම ධම්ම නාවා සූත්‍රය ශ්‍රවණය කළ බොහෝ පිරිසකට නිවන් මඟ විවෘත විය. එම ධම්ම නාවා සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කිරීම අරඹන්නේ මෙලෙසිනි.
යස්මා හි ධම්මං පුරිසෝ විජඤ්ඤා
ඉන්දං’ ච නං දේවතා පූජයෙන්ය
සෝ පූජිතෝ තස්මිං පසන්නවිත්තෝ
බහුස්සුතෝ පාතුකරෝති ධම්මං
නැණවත් වූ කෙනෙක් ලොවේ – ඉගෙන ගනී නම් සදහම්
සක් දෙවිඳුව පුදන ලෙසේ – හේ සදහම් ගුරුන් පුදයි
බොහෝ දහම් දැනුමින් යුතු – පිදුම් ලබන ගුරුවරයා
පහන් සිතින් යුතුව ඔහුට – මතුකර දෙයි සද්ධර්මය
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් දේශනා කොට වදාළා. ‘කෙනෙක් නො පමාවී එබඳු දහම් ගුරුවරයකු ඇසුරු කළොත්, හොඳින් සවන් යුග යොමුකොට ශ්‍රී සද්ධර්මය දැනගෙන, ඒ අසනා ධර්මයට අනුව පිළිපදියි නම්, එම බුද්ධිමත් තැනැත්තා වහා වැටහෙන නුවණැති සියුම් නුවණැති කෙනෙක් බවට පත්වෙනවා. එලෙස උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරේ වටිනාකම පහදා දී තුන්වෙනි ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ පාප මිත්‍ර ඇසුරේ ආදීනව පෙන්වා වදාළේ මෙලෙසයි. ‘මතු යහපත වනසාලන, ඉරිසියාවෙන් පෙළෙන, පාප මිත්‍රයෙක් යම් හෙයකින් ඇසුරු කරන්නට ලැබුණොත් කිසි දහමක් දියුණු නො කර සැකයන්ගෙනුත් එතෙර නොවී, හිස් මිනිසෙක් ලෙස මරණයට පත්වන්නට සිදුවෙනවා. එය උපමාවකින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා. ‘මහත් ජල කඳීන් යුතු වූ වේගවත් සැඩ පහර තිබෙන ගංගාවකට වැටුණු කෙනෙක් පහළට ගහගෙන යන කල තවත් කෙනෙක් ඒ වතුරෙන් ගොඩ අරගන්නේ කොහොම ද? යනුවෙනි. ඒ ආකාරයට දහමක් පුරුදු නො කරන, නුවණැත්තන්ගෙන් ද නො අසන කෙනෙක් තමා නො දත් දහමක් ගැන සැක සංකා ද පවතිද්දී අනුන්ට පහදා දෙන්නේ කෙලෙසින්ද? කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
එනමුත් සවිමත් යානාවකට නැගගත් කෙනෙක් රිට ද, හබල ද ගෙන උත්සාහයෙන් හා නුවණින් කටයුතු කරමින්, උපායශීලීව යානාව හසුරුවමින් බොහෝ දෙනෙකු එතෙරට ගෙනයනවා.
ඒවම්පි යෝ වේදගු භාවිතත්තෝ
බහුස්සුතෝ හෝති අවේධධම්මෝ
සෝ ඛෝ පරේ නිජ්ඣපයේ පජානං
සෝතාවධානුපනිසූපපන්නේ
දහමේ පරතෙරට ගිය – දහම වඩා අරහත් වූ
දහමද දැනගෙන බොහෝ සේ – කම්පාවක් නැති සිත් ඇති
ඔහු වෙත පැමිණෙන ජනයා – සවන් යොමා අසන විට
පවසයි ඒ හැමදෙනහට – නිවන් ලබාදෙන සදහම්
එමනිසා බොහෝ දහම් දැනගෙන ඇති, මනා නුවණ ඇති, යහපත් වූ උත්තම සදහම් ගුරුන් නිතර ඇසුරු කළ යුතුමයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
එවිට ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගෙන් සදහම් දැනගෙන, ඒ සදහම් පිළිපදිමින්, මනා අවබෝධයකින් යුතු ලොව්තුරු සැප ලැබිය හැකි බව වදාරමින් භාග්‍යවතුන් වහන්සේ මෙම ධම්ම නාවා සූත්‍ර දේශනාව නිමවා ඇත.
ආදි බ්‍රහ්මචරික පඤ්ඤා නම් සූත්‍ර දේශනාවේදීත් නිවන් මඟට මුල්වෙන නො ලැබූ ප්‍රඥාව ලබා ගැනීමටත්, ලැබූ ප්‍රඥාව පරිපූර්ණ කර ගැනීමටත් ඉවහල්වන පළමු කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙය යි. එනම් තමන්ට නිවන් මඟ පෙන්වාදෙන කල්‍යාණ මිත්‍ර ගුරු ස්වාමීන් වහන්සේ කෙරෙහි බලවත් වූ ප්‍රේමයක්, ගෞරවයක් යටහත් පහත්කමක් පැවතීම යි. එම නිසා අපටද උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කරමින්, නිවන් මගේ පිළිවෙත් පුරන්නට මෙම ධම්ම නාවා සූත්‍රය මහෝපකාරී වේවා මෙන්ම ගුරු බැතිවඩන දූදරු පිරිසකගේ උරුම කම් ඇති සමාජයක් බිහිවේවා….
තෙරුවන් සරණයි….🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood