බෞද්ධ සන්නිවේදනයේ කලාව
සන්නිවේදන විෂය පිළිබඳ කතා කරද්දී බෞද්ධ සන්නිවේදන ඉතිහාසය ගැන කිසිසේත් අමතක කළ නොහැකියි. ලෝකයේ මහා සන්නිවේදකයාණන් අපගේ බුදු රජාණන් වහන්සේ යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් ද නොවේ.
අද අප සන්නිවේදන විෂය ආශ්‍රිතව සාකච්ඡා කරන බොහෝ සිද්ධාන්ත – න්‍යාය, ක්‍රමවේද, ආචාරධර්ම, සංකල්ප, අරමුණු ආදී සියල්ලම මීට වසර 2500කට පෙර අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්ම සංදේශ තුළ අඩුවක් නැතිවම දක්නට තිබි දේවල්…
බෞද්ධ සන්නිවේදනයේ ගුණාංග ගැන සාකච්ඡා කිරීමට ප්‍රවේශයක් වශයෙන් බුදු හිමියන් සාසනයේ නිදහස හා ආචාර ධර්මීය පදනම ගැනසිය පුත් රාහුල පොඩි හාමුදුරුවන්ට දෙන ලද සංවාදශීලී උපදේශයක් මෙහි ගෙන බලමු..
දිනක් රාහුල පොඩි හාමුදුරුවෝ වැඩ සිටි පන්සලට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. රාහුල පොඩි හාමුදුරුවන් බුදුන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් පිළිගෙන, අසුන් පනවා, බණ දහම් ඇසීමට සූදානම් උනා.
රාහුල කැඩපත කුමකටද?
බුදුරජාණන් වහන්සේ රාහුල හිමිගෙන් විමසූ සේක.
ස්වාමිනී හැඩරුව බැලීමට
කැඩපතින් හැඩරුව බලා අඩුපාඩුකම් සාදා දුන්නා මෙන් යමක් කරන විට, කියන විට, සිතන විට, කයින් කරන කටයුතු, සිතින් කරන කටයුතු, වචනයෙන් කියන දේ, පරික්ෂාවෙන් කළ යුතුයි.
එසේය ස්වාමීනි..
පරීක්ෂාවෙන් කරන්නේ කොහොමද?
රාහුල… ඔබ සිතින් සිතන දේවල් නිසා ඔබටත්, අනුන්ටත්, පීඩාවක් වේ නම්, ඒවා හිතන්න එපා. කයින් කරන දේවල් නිසා ඔබටත්, අනුන්ටත්, පීඩාවක් වනවානම් ඒවා කරන්න එපා. ඔබ කියන වචනවලින් ඔබටත්, අනුන්ටත් පීඩාවක් වනවා නම් එවැනි වචන කියන්න එපා……
මෙහි සඳහන් “ඔබ සිතින් සිතන දේවල් නිසා ඔබටත්, අනුන්ටත්, පීඩාවක් වේනම් ඒවා හිතන්න එපා.” යන උපදේශය තුළ ස්වයං සන්නිවේදනය සඳහා ඉතා වැදගත් මාර්ගෝපදේශය ලබා දෙනවා නොවේද…
එනම් මිනිසෙකු වශයෙන් ඔබ යමක් ගැන සිතිය යුත්තේ හොඳ, යහපත්, අවිහිංසක සිතුවිලි පෙරදැරි කරගෙනයි. එසේ නැතිව සමාජයේ පුද්ගලයින්ට හෝ සමාජයට හෝ පීඩාවක් ගෙනදෙන ආකාරයට නොවේ.එසේම හැමවිටම සෘණාත්මකව නොසිතා ධනාත්මක චින්තනයක් අනුව කටයතු කිරීමට බුදුරදුන් පහදනවා.
එසේම “ඔබ කියන වචන වලින් ඔබටත්, අනුන්ටත් පීඩාවක් වනවා නම් එවැනි වචන කියන්න එපා” යන උපදේශනය සන්නිවේදන ක්‍රියාවලියේදී ඉතා වැදගත් ස්වයං ආචාරධර්මයක් ලෙස හැඳින්වීමට පුළුවන්.
එනම් ඔබ සිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිත කළ යුත්තේ ඔබට මෙන්ම සමාජයේ අන්‍ය පුද්ගලයන්ට හෝ සමාජයට හෝ පීඩා ඇති වන ආකාරයට නොවේ. එනම් බුදුරදුන් පවසන්නේ ඔබ සිය භාෂන හා ලේඛන නිදහස භාවිත කළ යුත්තේ ඔබට මෙන්ම සමාජයේ සියලුම පුද්ගලයන්ට යහපතක්, සතුටක්, හොඳක් ගෙනදෙන ආකාරයටයි.
මහාචාර්ය විල්බර් ශ්‍රාම්
“සන්නිවේදනය යනු දෙදෙනෙකු තුළ සමාන මනෝ වෘත්තීන් ඇති කිරීමයි” ලෙස විග්‍රහා කරනවා.
සන්නිවේදන විශේෂඥයකු වන ඩෙනීස් මැක්වෙල් පවසන්නේ
“සන්නිවේදනය යනු පුද්ගලයෙක් මඟින් තවත් පුද්ගලයෙකුට අර්ථවත් පණිවිඩයක් සංදේශයක් යැවීමයි”
උක්ත විද්වතුන් ඇතුළු තවත් සිය ගණනක් සන්නිවේදනය පිළිබඳ විවිධ දෘෂ්ටි කෝණවලින් දක්වන ලද මතවාද මීට වසර දෙදහස් ගණනකට පෙර බුදුහිමියන් ක්‍රියාවෙන්ම හෙළිදරව් කර තිබෙනවා.
බුදුහිමියන් සිය සංදේශය කාලයට උචිත පරිදි, සංක්ෂිප්තව හා ආකර්ෂණීයව ඉදිරිපත් කරන ලද ආකාරය නිසාම බොහෝ පිරිස් ඊට ග්‍රහණය වී දමනයවී සිය චර්යාවන් වෙනස් කරගෙන තිබෙන අයුරු. අපේ සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර බොහෝ ගණනකින්ම හෙලි වෙනවා.
එමෙන්ම එකල තවත් බොහෝ ග්‍රාහක පිරිස් බුදුදහම අවබෝධ කරගෙන සෝවාන් හා රහත් ඵල ලැබූ බවද සඳහන් වෙනවා.
බුදුහිමියන්ගේ ධර්මය අසන ශ්‍රාවකයන් තුළ මේ ආකාරයේ චර්යාමය වෙනස්කම් ඇතිවන්නේ ඔවුන් තුළ සමාන මනෝ වෘත්තීන් බිහිවන නිසා බව නිසැකය. එබැවින් බුදුහිමියන්ගේ සන්නිවේදන ක්‍රමෝපායන් අතිශයින් සාර්ථක මෙන්ම අතිශය ප්‍රබල මට්ටමකින් ප්‍රකාශ කිරීමට සමර්ථයක් දැක්වූවා.
එකල අද මෙන් අතිනවීන තාක්ෂණික මෙවලම් සහිත සන්නිවේදන මාධ්‍යයන් නොතිබුණත් භාෂණය හා සංඥා උපමා ආදිය මඟින් සියලු සන්නිවේදන ක්‍රියාදාමයන් සිදුවුණා.
මෙහිදී බුදුරදුන් භාවිත කළ සන්නිවේදන වර්ග අතර…
1. ස්වයං සන්නිවේදනය
2. පුද්ගලාන්තර සන්නිවේදනය
3. සමූහ සන්නිවේදනය
යන ක්‍රමයන් විශේශ උනා.
එදා බුදු සමය තුළ මේ ආකාරයට සන්නිවේදන ක්‍රම පිළිබඳ වර්ගීකරණයක් නොතිබුණත් බුදුරදුන් සිය ශ්‍රාවක ජනතාවට ඉහත ක්‍රමවේද වෙන වෙනම මෙන්ම, එකට එකතු කරමින්ද භාවිත කර අති සාර්ථක සඵල සන්නිවේදනයක් කරනු ලැබූ බව සූත්‍ර පිටකයේ දක්නට ලැබෙනවා.
මින් පැහැදිලි වන්නේ වර්තමානයේ සන්නිවේදන ක්‍රම නූතන සන්නිවේදන විශේෂඥයන් වර්ගීකරණය කරමින් තමන්ගේ මූලධර්ම, න්‍යාය හා නියමයන් ලෙස අද ඒවා ඉදිරිපත් කළද, බුදුරදුන් වසර 2500කට පෙර සන්නිවේදන වර්ගීකරණය ප්‍රායෝගිකවම පෙන්වා දෙමින් වඩාත් සාර්ථක සන්නිවේදන කාර්ය භාරයක්ඉටු කර ඇති බවයි.
බුදුහිමියන් දහම් දෙසන්නට පෙර ග්‍රාහකයින් හෙවත් ශ්‍රාවකයන් සමඟ සමීපව කතා බහ කිරීම සිරිතක්ව පැවති බවත්, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ සැපදුක් විමසමින් ඉතාමත් මිත්‍රශීලීව කටයුතු කළ බවත් සූත්‍රයන්හි සඳහන් වෙනවා.. මෙය ඉතා හොඳ සන්නිවේදකයෙකු තුළ නිතැතින්ම පැවතිය යුතු ගුණාංගයකි. මෙහිදී සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර වඩාත් සමීප සබඳතාවක් ගොඩනැගීම නිසා සිදුවන සන්නිවේදන කාර්යභාරය ඉමහත් ප්‍රතිඵල දායකය. බුදුරදුන් ප්‍රිය මනාප සුමිහිරි වදනින් කතා බහ කළ ආකාරය සෝණදණ්ඩ සූත්‍රයේද සඳහන් වෙනවා.
“උන්වහන්සේ තමන් හමුවට එන්නවුන් හට, එන්න ඔබේ පැමිණීම ඉතා යහපත් යැයි පිළිගන්නා සේක. මිහිරිවදනින් කතා කරන සේක. සතුටු සාමීචි බස් දෑ දොඩන සේක.විවෘතව කතා කරන සේක. තමන් හමුවන්නවුන්ට පළමුව කතාකරන්නට තරම් ආචාරශීලීය . නිහතමානී ය.
බුදුන් වහන්සේගේ සෑම ධර්ම සන්නිවේදන සංදේශයකම මුල, මැද, අග යන තුන් තැනම යහපත්ය. ඒවාට හොඳ තේරුමක් ඇත. ඒවායේ හොඳ අදහසක් ඇත. නොතේරෙන, නිසරු එකදු වචනයක් නොමැත. එය සංදේශයක පැවතිය යුතු සුවිශේෂී ගුණාංගයකි. මේ ගැන මෙසේ සඳහන් වේ.
“සො ධම්මං දෙසෙති, ආදිකල්‍යාණං, මජ්ඣෙ කල්‍යාණන්, පරියොසාන කල්‍යාණං, සාත්ථං, සඛ්‍යඤ්ජනං, කෙවලපරිසුද්ධං, පාරිපුණ්ණං.
මින් පැහැදිලි කරන්නේ සන්නිවේදකයා ඉදිරිපත් කරන සංදේශය ග්‍රාහක ප්‍රජාවට පිළිගත හැකි පරිදි, ඔවුනට වැදගත් වන පරිදි කාලෝචිත සිද්ධියක් ඇසුරින් නිර්මාණය විය යුතු බවයි.
එසේම එකී සංදේශය තුළ සත්‍ය, නිවැරැදි තොරතුරු පමණක් අඩංගු විය යුතු බවය. එසේම එකී සංදේශය තර්ජනාත්මක ස්වරූපයෙන් හෝ සැර පරුෂ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ඵලදායී සන්නිවේදනයකට අයහපතක් සිදුවන බැවින්, සරල කෙටි ප්‍රියමනාප වදනින් ඉදිරිපත් කළ යුතු බවයි.
එසේම යමක් විවේචනය කරනවිට එය සැර පරුෂ ලෙස හෙවත් නිර්දය ලෙස විවේචනය නොකර කරුණු පහදා දෙමින් විවේචනය කළ යුතු බව බුදුරදුන් මෙම සූත්‍රයෙන් පැහැදිලි කර දෙනවා. එසේම තම මතවාදයේම එල්බගෙන අන්‍යයන් හෙලා දකිමින් කතා නොකර අසන්නාට ඔවදනක්, ආදර්ශයක්, මාර්ගෝපදේශනයක් ලබාදිය හැකි ප්‍රියමනාප දෙයක් කරුණාවෙන් යුතුව පහදාදිය යුතු බවට බුදුරදුන් භික්ෂූන්ට උපදෙස් ලබා දී තිබෙනවා….
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood