Temples of Sri Lanka

බැඳීමක ඛේදය …

ප්‍රියයන්ගෙන් වෙන්වීම…
අප්‍රියයන් හා සම්බන්ධ වීම සත්‍යයෙන් ම දුකක් …

සාමාන්‍යයෙන් දුක ඉවසා දරාගත නොහැකි අවස්ථාවකට මිනිසා පත් වෙනවා. සමහරුන්ට කායිකවත් දුක්වේදනා ඉවසිය නොහැකිව සිහි විකල් වෙනවා. සමහරු වස විස පානය කරලා මැරිලා යනවා .දිවි නසා ගන්නවා. කායික දුක නිසා ජරා දුක නිසා එසේ කරනවා මේ විදිහට දුක් වලදී ඔහු හෝ ඇය මුහුණ දෙන දුක කුමක්ද කියා අපට කීමට අපහසුයි ..

හැබැයි මේ අතර තියෙන බරපතළ දුකක් තමයි ප්‍රිය විප්පයෝග දුක්ඛ. අප්‍රිය සම්ප්‍රයෝග දුක.

ප්‍රිය විප්‍රයෝග දුක කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක .එයට හොඳම නිදසුන තමයි පහුගිය කාලයේ ඇතිවූ සුනාමි ඛේදවාචකය ප්‍රිය විප්පයෝග දුක එහිදී අපට තදින්ම දැනුණා

අප්‍රිය සම්ප්‍රයෝග දුකත් එසේමයි .තමන් අකමැති දේ වලට මුහුණ දෙන්න සිදු වුණොත් අකමැති පුද්ගලයන් ආශ්‍රයට ලැබුණොත් එය ඉතා දුකයි.

මිනිස්සුන්ට ඔරොත්තු දිය නොහැකි දෙයකට මුහුණ දෙන්නට සිදු වුණොත්, ඒ අවස්ථාව ඉතාමත් දුක්ඛිතයි. දරාගැනීමේ ශක්තිය පුරුදු කළ යුතු වෙනවා. දරාගැනීමේ ශක්තිය කියන්නේ ජීවිතයට තියෙන අවබෝධය.

තමන්ට වුවමනා ආකාරයට කිසිවක් ලැබිය නොහැකි බව අවබෝධ කරගත යුතුයි ජීවිතය ස්වභාවය හඳුනාගත යුතුයි මැනවින්ම.

බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා , සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී …..උන්වහන්සේ සිවුරත් පාත්‍රයත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගෙනැවිත් කියනවා ස්වාමිනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා.

එතන සිටින ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීනි මගේ ලෝකය අඳුරු වෙලා ගියා මට කිසිවක් සිතාගැනීමට නොහැකි වුණා. දිසාවක් පවා හඳුනා ගැනීමට අපහසු වුණා. මගේ පපුව හිර උනා කියලා. ඒ වෙනවිට ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වූ භික්ෂූන් වහන්සේ නමක්. ඒත් ප්‍රිය විප්‍රයෝග දුක දැනුණු හැටි බලන්න.

එවිට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් තුළ සිහිය උපදවන ආකාරය පුදුම සහගත ලෙස උද්දීපනය කළා .උන්වහන්සේ වදාළා ආනන්ද ..සාරිපුත්ත රහතන් වහන්සේ ඔබේ සීලය සමාධිය ප්‍රඥාව රැගෙන ද පිරිනිවන් පැවේ? කියලා..

ආනන්ද ඔබට මතකනැති ද ප්‍රිය මනා දෙයින් වෙන් වීමේ ස්වභාවය අපි උරුම කරගත් දෙයක් කියලා සිහි කළ යුතුයි මෙයින් පැහැදිලි වෙනවා ප්‍රිය විප්පයෝග දුකින් මිදීමට තිබෙන එකම දේ ප්‍රියමනාප දේවල් වලින් වෙනස් වීමේ දක්ෂතාවයක් තමන්ට තිබෙනවා කියලා තමන් තුළ ඇතිවන අවබෝධය ඒ නිසා ජීවිත අවබෝධයකින් තොරව මේවාට මුහුණ දිය හැකි යැයි සිතන්නට බැහැ

මුන්ඩරාජ සූත්‍රය නමින් අංගුත්තර නිකායේ දේශනාවේ තියෙනවා මුන්ඩ කියලා රජ කෙනකු ගැන. මේ රජතුමාගේ බිසවට රජු අසීමිතව ආදරය කලා ඒ අතරේ මේ බිසව මරණයට පත් වුණා. රජතුමාගේ බිසව දෙනෙක තබාගෙන කෑම නොකා නොබී බිසව නැගිටින කම් බලා සිටියා. රජතුමාගේ සිහිය විකෘති වී ඇති බව සිතූ ඇමතිවරු රජතුමාගේ තත්ත්වය දැනගෙන රහතන් වහන්සේ නමක් වැඩම කරවන්නට යෙදුණ.

උන්වහන්සේ රජතුමාට දේශනා කළා බලාපොරොත්තු තබා ගත නොහැකි කාරණා පහක් පිළිබඳව. ඒ තමයි මේ ජරාවට පත් වුන ජීවිතය. ජරාවට පත් වන්නේ නැහැ කියලා අපේක්ෂාවෙන් පසුවන්නට එපා කිව්වා. රෝග පීඩාවට පත් නො වී තිබෙනු ඇතැයි අපේක්ෂා තබා ගන්නට එපා කියලා. මරණයට භාජනය වන ජීවිතය මරණයට පත්වන්න එපා කියලා අපේක්ෂාවක් තබා ගන්නට එපා කියලා අනිත්‍ය වන දේ අනිත්‍ය වන්න එපා කියලා අපේක්ෂාවක් තබා ගන්න එපා කිව්වා. ගෙවී යන ජීවිතයේ ගෙවී යන්න එපා කියලා අපේක්ෂා කරන්න එපා කියලා පැහැදිලි කළා.

මේ කරුණු රහතන් වහන්සේ විසින් රජතුමාට පැහැදිලි කර දෙන විට රජතුමාට අවබෝධ වුණා මේ ලෝක ස්වභාවය පිළිබඳව.

තමන් ආශා කළ දේ නැති වෙලා ගිය ලෝකය අනිත්‍ය දෙයක් බව. ඊට පසු රජතුමා දේවිය ආදාහනය කොට පිරිසිදු වෙලා නැවත රටේ පාලන කටයුතු කරගෙන යන්නට පටන් ගත්තා.

මේ කතා වස්තුවෙන් අපට පැහැදිලියි, මේ ප්‍රිය විප්පයෝග දුක නිසා සමහරුන්ට කළ යුතුදේ නොකළ යුතු දේ පවා තෝරා බේරා ගත නොහැකි තත්ත්වයකට පත්වෙනවා විශාල කම්පනයක් ගෙන දෙනවා.

ඉතින් මේ මානසික පීඩාව නැත්තෙ කාටද …

ලගම සිටින සමීපතමයා අපෙන් දුරස් වුණාම අපට දැනෙන වේදනාව දුක ස්වභාවයක් …

ප්‍රියමනාප නොවූ පුද්ගලයෙක් අප ළඟට පැමිණීමත් ඒ හා සමානම ඛේදයක්…

මේ අවස්ථා දෙකේදීම නොසැලී ජීවත් වීමට වග බලා ගැනීම අප සතු වගකීම ක්….

ජීවිතය පිළිබඳව ඇති කරගන්නා වූ අවබෝධය තුලින්මයි මේ ජීවිතය අත් දකින්නට පුළුවන් වන්නේ. දුක වේදනා පීඩාවන් පිළිබඳව අවබෝධය ලබන්නට පුළුවන් වන්නේ ධර්මාවබෝධය ලබා ගැනීමෙන්… වහ වහා මේ දුක් වේදනාවලින් මිදීමට උත්සාහ ගැනීම තුළින්මයි…

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X