Temples of Sri Lanka

නිමාවක් නොමැති බුදු ගුණ….

බුදුන් වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතරයි. වැඩුණේ මනුෂ්‍යයන් අතර යි .එහෙත් උන් වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවැති කෙළෙස් කුණු තවරා නොගත් උත්තමයාණන් වහන්සේ නමක් .උන්වහන්සේ තමන් පියුමකට උපමා කොට දැක්වූයේ එනිසායි.

පියුම් ජලයෙහි හටගෙන ජලයෙහි නොගෑවී උඩට මතු වී සිටින්නාක් මෙන් තමන් වහන්සේ ලෝකයා අතර උපත ලද නමුත් ලෝකය හා නොගැටී ජීවත් වන බව උන්වහන්සේ දක්වා වදාලා .

ලෝකයේ එකිනෙකා අනුකරණය කරමින් යටිගං බලා පීනන ජනතාව දෙස බලා එය අනුකරණය නොකළා සේම උන්වහන්සේ ලෝකයා පීනා නොයන උඩුගම් බලා පීනුවා.

ඒ නිසාම ලෞකික ජීවිතයෙන් ඈත්ව ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ ලෝකෝත්තර ජීවිතයකට පිවිසි උන්වහන්සේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ලක්ෂණයක් වූ ගතානුගතික භාවයෙන් ඈත්ව අලුත් දෙයක් සොයා ගැනීම යන අර්ථාන්විත කතාව මතින් බුදුරජාණන් වහන්සේ අලුත් මගක් වූ මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන එමගින් පරම සත්‍ය වූ නිවන අවබෝධ කරගත්තා.

බුදුරජාණන් වහන්සේ සොයාගත් මෙම අලුත් පිළිවෙතත් අලුත් දහමත් නිසා උන්වහන්සේගේ කීර්තිය දඹදිව පුරා පැතිරෙන්නට වුනා.

බොහෝ බුද්ධිමත්හු උන්වහන්සේ ගැන තොරතුරු අසා ගෙන ආවා. බොහෝ දෙනා උන් වහන්සේ දැකීමෙන් ම පැහැදුනා. මෙහි එන්න පැමිණීම බොහොම හොඳයි… වැනි ප්‍රිය වචන ඇසීම නිසාම බොහෝ දෙනා පැහැදුනා. පෙර නොඇසූ විරූ අලුත් ධර්මය අසා බොහෝ දෙනා පැහැදුනා ඇතැම් මිනිසුන් සසුන්ගත වුණා. ඇතැම්හු බුදු දහම සැදැහැයෙන් වැළඳගත්තා. මෙසේ ඇති වූ පිරිස භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන කොටස් 4කින් යුක්ත වුණා. මෙම සිව්වනක් පිරිසට අනුශාසකයෙකු වූ නිසා බුදුරජාණන් වහන්සේ සත්ථා යනුවෙන් හඳුන්වනු ලැබුවා.

බුදුරජාණන් වහන්සේ තුළ වූ විශාරද භාවය හෙවත්… කිනම් පිරිසක් ඉදිරියේ වුවත් නිර්භයව තර්කානුකූලව ධර්මය කියා දීමේ හැකියාව ආශ්චර්යජනක එකක්. ක්ශස්ත්‍රිය බාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිත පිරිස් වලට අයත් කිසිවකුට උන්වහන්සේගේ ඉගැන්වීම් තර්කයෙන් බැහැරවීමට නොහැකි වුනා. ශාස්තෘවරයකු වශයෙන් ක්‍රියා කිරීමේදී මෙම විශාරද භාවය නිසාම උන්වහන්සේ පිළිබඳ පිළිගැනීම තව තවත් වැඩි වුණා.

කිනම් පිරිසක් ඉදිරියේ වුවත් තමන් වහන්සේ තුළ පැවති ගුණ නවයක් අභීතව ප්‍රකාශ කිරීමට උන්වහන්සේ සමත් වුණා. එම ගුණ නවය පිළිබඳව අභියෝග කිරීමට කිසිවෙක් සමත් වුණේ නැහැ එසේම එම ගුණ නවය දැනගත් අය එමගින් බුදුරජාණන් වහන්සේගේ අනන්‍යතාවය පැහැදිලි කර දුන්නා .

ඉතිපිසෝ භගවා අරහං
සම්මා සම්බුද්ධො
විජ්ජාචරණ සම්පන්නො
සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්ම සාරථි
සත්ථා දේව මනුස්සානං
බුද්ධො භගවාති ….යන නව ගුණ පාඨය හැම බෞද්ධයෙකුට ම කටපාඩමින් කිව හැකියි. මේ පාඨය ගුණ නවය ඇසුරෙන් නිසා බුදුන් වහන්සේ වැදීමට මේ පාඨය යොදා ගත්තා.

බෞද්ධයා බුද්ධානුස්සති භාවනාව සඳහාත් මෙම නව ගුණ පාඨය භාවිතා කරනවා. බුදු ගුණය සිහියට නගා ගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ ශරීර සිතින් මවා ගෙන එයට සිත යොමු කරමින් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා.

බියක් උවදුරක් ඇති වූ විට මෙම බුදු ගුණ නවය මගින් බුදුරජාණන් වහන්සේ සිහි කිරීමට ද, ධජග්ග සූත්‍රයෙහිදී උපදෙස් ලැබෙනවා. එනිසා බෞද්ධයා උවදුරුවලින් ආරක්ෂා වීම සඳහා මෙම පාඨයෙහි එන බුදු ගුණ සිහි කරනවා. නින්දට යනවිට බුදුගුණ සිහි කරනවා නින්දට යනවිට බුදුගුණ පෙරටු කරගෙන නින්දට පිවිසෙනවා .ගමනක් යන විට බුදු ගුන පෙරටු කරගෙන ගමන ආරම්භ කරනවා. ජීවිතය හැම වැදගත් අවස්ථාවකදීම පෙරටුව ගමන් කරන්නේ බුදුගුණයි.

මේ නව ගුණ පාඨයෙහි එන බුදුගුණ සැකෙවින් හඳුනාගනිමු …

කෙලෙස් වලින් දුරු වූ හෙයින්ද කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයින්ද සිවුපසය ලැබීමට සුදුසු වූ හෙයින් ද රහසින්වත් පව් නොකළ හෙයින් ද අරහත් නම් වන සේක. චතුරාර්ය සත්‍ය තමන් විසින්ම මැනවින් ම අවබෝධ කරගත් හෙයින් ද දුක්ඛ සත්‍යයට අයත් දේ ගැන දැන ගත් හෙයින් ද දුකට හේතු වූ තෘෂ්ණාව නැති කළ හෙයින් ද නිවන අවබෝධ කරගත් හෙයින් ද නිවන මග ප්‍රගුණ කළ නිසා ද සම්මා සම්බුද්ධ නම් වූ සේක. විජ්ජා නමින් හැඳින්වෙන ඥාන අටක් ලැබූ හෙයින් ද සරණ නමින් හැඳින්වෙන පිළිවෙත් පහළොවක් පිරූ හෙයින්ද හෙයින් ද විජ්ජාචරණ සම්පන්න නම් වූ සේක. සුන්දර වූ සෝවාන් ආදී මාර්ග ඔස්සේ ගොස් සුන්දර වූ නිවනට පැමිණි හෙයින් සුගත නම් වූ සේක. සියළු ලෝක පිළිබඳව සම්පූර්ණ දැනුමක් ලැබූ හෙයින් ලෝකවිදූ නම් වූ සේක. තමන්ගේ සන්තානය හික්මවා ගෙන විවිධ විශම පුද්ගලයින්ගේ සන්තානයන් ද හික්ම වූ හෙයින් අනුත්තර පුරිසදම්මසාරථී නම් වූ සේක. දෙව් මිනිසුන්ගේ දෙලොව යහපත සඳහා අවශ්‍ය අනුශාසනා කළ හෙයින් දේවමනුස්සානං සත්ථා නම් වූ සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන අනුන්ට ද අවබෝධ කර වූ හෙයින් බුද්ධ නම් වන සේක. කෙලෙස් බිඳලූ හෙයින් ද ඉතා භාග්‍යවත් වූ හෙයින් හෙයින්ද භගවා නම් වූ සේක. බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුදුගුණ වල ඇතුළත් මෙම නව ගුණ ද අනන්තයි. මෙම එක් ගුණයක් පොත් ගණනාවක් ලිවීමට තරම් පුළුල් පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඬිවරයා අමාවතුර ලිව්වේ පුරුෂ ධම්ම සාරථි ගුණය වර්ණනා කිරීමටත් දඹදෙණිය යුගයේ දී බුද්ධපුත්‍ර හිමියන් පූජාවලිය ලිව්වේ අරහං ගුණය වර්ණනා කිරීමටත් ය.

බුදුගුණ බුදුවරයකු විසින් කල්පයක් මුළුල්ලේ වර්ණනා කළත් කල්පය ගෙවී ගියද බුදුගුණ නිමාවට පත් නොවන බව දක්වා ඇත්තේ බුදු ගුණ අනන්ත බව දැක්වීමටයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වහන්සේයි.. වශයෙන් පිළිගනු ලබන්නේ මෙම ගුණමහත්වය නිසාමයි …

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X