Temples of Sri Lanka

බෝධියෙන් වට බෝ පතක් සේ සෞම්‍ය රැස් විහිදුවාලන මහමෙව්නාවේ සඳ මඬල

අද දින ජන්ම දිනය සමරන නුවර කලාවිය ප්‍රධාන සංඝනායක, ඓතිහාසික අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානයේ අටමස්ථානාධිපති ධූරීනව වැඩවසන සම්මානිත ගේය ප්‍රබන්ධක, ශාස්ත්‍රපති අතිගෞරවාර්හ පල්ලේගම හේමරතන නායක හිමියන් පිළිබඳ සතිපට්ඨාන සඟරාවේ අරහත් ධජය විශේෂාංගය යටතේ පළවූ ලියමන් උපහාරය මෙසේ ගෙනහැර දක්වමු.

බුදුන් වහන්සේ වදාළ ධර්මය විචිත්‍ර ධර්ම කථනයෙන් මෙන් ම නේකවිධ ප්‍රකාශන මාධ්‍යයන් ඔස්සේ ද සමාජගත කරන්නට උත්සුක වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුලබ වශයෙන් විරාජිත ය. ඒ අතරතුර ගීතාමන්ත්‍රණයෙන් බණ දහම් ජනගත කළ ස්වාමින් වහන්සේ ද බොහෝ වෙති. සිංහල ගීතයේ යතීන්ද්‍ර සම්ප්‍රදායේ සුභාවිත සුපෝෂණය ධර්මාසනාරූඪ කළ, හුදු මිනිස් චෛතසිකයන් සහ සංවේගයන් උපේක්ෂා සිතින් විචාළ කසාවත් පෙළහරේ වර්තමානික ප්‍රකාශකයාණෝ ද, සමාජ ප්‍රගමනය ම පතනා සුබවාදී ධනාත්මක හෙට සමාජයක් වෙනුවෙන් ස්වකීය බණවර පන්හිඳ තුළ කාල්පනික සිතිවිලි දාර්ශනාත්මකව ගීතාත්මයන්හි අවක්ෂේප කළ නූතන යති පෙළපතේ ස්වයං නිර්භය සමාධිවරායාණන් ලෙස ද තුන්කාලීන වූ වන්දනීය සබහුමානයට පාත්‍ර වනුයේ අභිනව අටමස්ථානාධීෂ්වර, අතිපූජනීය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ය. මෙසේ අකුරු කෙරෙන විමසුම් චාරිකාව උන්වහන්සේගේ යතිවර ගීතාමන්ත්‍රණයේ අග්‍ර ඵලය විවරණය කිරීමේ මාහැඟි උත්සාහයකි.

මාතලේ දිස්ත්‍රික්කයේ අනුරාධපුර සහ දඹුල්ල ප්‍රදේශයන්ට මායිම්ව පිහිටි පල්ලේගම ගම්මානයේ කරඳගොල්ල වලව්වේ ටිකිරි බණ්ඩාර නිළමේතුමාට සහ කරුණාවතී කුමාරිහාමිට දාව ව්‍යවහාර වර්ෂයෙන් 1954 ජුනි මස 15 වැනි දා දඹුල්ල මහ රෝහලේ දී ජන්ම ලාභය ලත් කරඳගොල්ල වලව්වේ එකම දරුවා වූ නන්දසේන කුල කුමරුවන් ඉතා කුඩා ම කාලයේ පටන් නිහඬ සහ බුද්ධිමත් චරිතයක් වූවේ ය. කුඩාම අවදියේ දී හෙතෙම බුලාගල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව පැල්වෙහෙර විද්‍යාලයෙන් සහ කණ්ඩලම පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබුවේ ය.

1940 සිට 1980 දක්වා තරමක් දිගු කාලයක් පුරාවට අනුරාධපුර රුවන්මැලි චෛත්‍ය ස්ථානාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ 1967 වසරේ දිනයක සිය උපන් ගමට වැඩම කරන්නට යෙදුණේ ශාසනික චිර පැවැත්ම වෙනුවෙන් කුල දරුවන් සසුන්ගත කරවීම උදෙසා ය. සිය ජ්‍යොතිෂ දැනුමට අනුව උපන් කේන්ද්‍රය සහ දේහ ලක්ෂණ සලකා බලමින් කුල දරුවන් තිදෙනෙක් මේ ගමනේ දී වරණය කිරීමට උන්වහන්සේ අපේක්ෂා කළ අතර, නන්දසේන කුමරුවන්ගේ මුත්තණුවන් වන විජේකෝන් ආරච්චි ද මේ ගමනට එක්වූවේ ය. නිවෙස් රාශියකට වැඩම කළ නාහිමියෝ කරඳගොල්ල වලව්වට ද වැඩම කොට කළ ඉල්ලීම මත පවුලේ එකම දරුවා වුවත් එවකට අට ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නන්දසේන කුමරුවන් සසුන්ගත කිරීමට දෙමාපියෝ ද කැමැත්ත පළ කළහ. ඒ අනුව 1968 වසරේ ජනවාරි 31 වැනි දා අනුරාධපුර රුවන්මැලිසෑය වෙත නන්දසේන කුල කුමරුවන් කැඳවාගෙන ගිය අතර, ධම්මරක්ඛිත නාහිමියෝ උඩමලු‍‍වේ දී සසුන්ගත කරවීම වෙනුවෙන් කුල දරුවන් අට දෙනෙකු එදින, එවකට අටමස්ථානාධිපති ධුරය හෙබවූ අතිපූජ්‍ය උදුරව හල්මිල්ලෑවේ රේවත නාහිමියන් හට හඳුන්වා දුන් සේක. එම කුල දරුවන් අට දෙනාගේ කුලකයට ඇතුළත්ව නන්දසේන කුමරුවෝ ද වර්ෂයෙන් 1968 ක් වූ මැයි මස 09 වැනි වෙසක් පුන් පොහෝ දිනයක දී උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස අටමස්ථානාධිපති නාහිමියන්ගේ සහ රුවන්මැලි චෛත්‍ය ස්ථානාධිපති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජාව ලත් සේක.

පල්ලේගම ග්‍රාමයෙන් මෙම සසුන්ගත කිරීමේ කුලකයට එක්වූ දරු තිදෙනා අතර සිටි කරඳගොල්ල වලව්වේ නන්දසේන, පල්ලේගම හේමරතන යන නමින් සසුන්ගත වන විට ඊට ඇතුළත් වූ අනෙක් කුමරුන් වූ දුග්ගන්නා වලව්වේ ජයතිලක කුමරු ද එදින ම පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත විය. රුවන්මැලිසෑ විහාරයේ නේවාසිකව සිටි හේමරතන හිමියන්, එවකට ථූපාරාම විහාරස්ථානයේ පාලන කටයුතු සිදු කළ අනුරාධපුරයේ මහවිහාර පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ අතර, එකල එහි පරිවේණාධිපති ධූරය දැරුවේ පයින්ඩිකුලමේ සුමන නාහිමියන් ය.
මූලික අධ්‍යාපනය එසේ ලැබූ හේමරතන සාමණේර හිමියෝ 1971 වසරේ කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ප්‍රාචීන අංශයේ අධ්‍යාපනය ලැබීමට එක්වූහ. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය ලෙස කටයුතු කළ වෑගම පියරතන, ඉන්දියාවේ මහබෝධි සමාගමේ දොඩම්ගොඩ රේවත, එංගලන්තයේ කිංග්ස්බරි විහාරයේ පියදස්සි සහ හුණුපොල භද්දිය යන හිමිවරුන් ද ඇතුළු බොහෝ විදග්ධ උගත් භික්ෂූන් වහන්සේ හේමරතන හිමියන්ගේ සමකාලීන ඇසුරේ වැඩසිටියහ.

1976 වසරේ දී සඳලංකා ශාස්ත්‍රෝදය පිරිවෙනින් උසස් පෙළ හදාරා සරසවි වරම් හිමි කර ගත් හේමරතන හිමියෝ, කැලණිය විශ්ව විද්‍යාලයේ 78-79 සරසවි කණ්ඩාමයට ඇතුළත්ව එහි ශාස්ත්‍ර පීඨයේ සිංහල, පුරාවිද්‍යාව සහ බෞද්ධ දර්ශනය හැදෑරූහ. දෙවන වසරේ දී පුරාවිද්‍යා විශේෂවේදී උපාධි පාඨමාලාව හැදෑරීමට වරම් ලත් එ හිමියෝ අවසන් වසරේ දී ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අභයගිරිය පුදබිම ආශ්‍රිත පුරාවිද්‍යා සංරක්ෂණ බිම වෙත වැඩම කළහ. මහත් කැපවීමෙන් සහ උනන්දුවෙන් එම අධ්‍යනශීලී පර්යේෂණ කාලය අවසන් කර 1981 වසරේ දී සිය පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය නිමා කළ උන්වහන්සේ සරසවි අධ්‍යාපනය නිමා කොට පැමිණ අනුරාධපුර මහා විහාර පිරිවෙන්හි ගුරුවරයකු ලෙස එම වසරේ දී ම වැඩ භාරගත්හ.
1977 වසරේ දී එවකට අටමස්ථානාධිපති ව වැඩ සිටි රේවත නාහිමියන් අපවත් වීමෙන් පසු පුරා දස වසරක් ම උඩමලු‍‍ව විහාරයේ තේවාව භාරව කටයුතු කිරීමට හේමරතන හිමියෝ භාග්‍යවන්ත වූහ. මේ සමයේ දී උන්වහන්සේ ස්වකීය කවීත්වය වැඩි දියුණු කර ගත් අතර, ඊට ප්‍රබල පෝෂකයන් වූවේ එවකට ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ වැඩසටහන් වෙනුවෙන් උන්වහන්සේ සම්බන්ධ වීමත්, ගුණදාස කපුගේ, ප්‍රේමකීර්ති ද අල්විස් සහ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වැනි ප්‍රවීණයන්ගේ ඇසුරත් ය. එනිසා ම එකල උන්වහන්සේ ජනාදරයට පත් ගීත රචකයකු ලෙස ද පෙරට වැඩි අතර, 1969 වසරෙන් පසු උන්වහන්සේ මෙරට ගීත රචනාවේ නම් දිනූ චරිතයක් වූ සේක.

1988 වසරේ අග භාගයේ දී ජේතවනාරාමයේ විහාරාධිකාරී ධුරය පල්ලේගම හේමරතන හිමියන් වෙත පැවරුණ අතර 80 දශකයේ මුල වැඩ ආරම්භ කර තිබූ ජේතවන ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කෙරුණේ 1988 වන අතර එහිදී උන්වහන්සේට මෙම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂ ධුරය ද දරමින් මහාවිහාරය සම්බන්ධීකරණය කරන්නට සිදු විය. ඒ වනවිට නැවතී තිබූ ජේතවන දාගැබ් සංරක්ෂණ කටයුතු යළි සක්‍රීය කිරීම වෙනුවෙන් උන්වහන්සේ පුරෝගාමී වූ සේ ම නැවතී තිබූ ජේතවන තේවාව යළි පැවැත්වීමට ද කටයුතු සූදානම් කළේ හේමරතන හිමියන් ය. 1995 වසරේ හේමරතන හිමියන් අටමස්ථාන කාරක සභාව වෙනුවෙන් තේරී පත් වූ අතර ඒ වන විටත් නුවර කලාවියේ උප ප්‍රධාන සංඝනායක ධුරයේ ද වැඩ විසූ එහිමියෝ එවකට අටමස්ථානාධිපති ධුරය වෙනුවෙන් නිර්දේශ වුවත් මහාසෑය වෙනුවෙන් තමන් වහන්සේ තුළ වූ දැඩි ගෞරවාදරය හේතුවෙන් උන්වහන්සේ එහිලා එදවස පසුබට වූ සේක. රුවන්මැලිසෑ චෛත්‍යාරාමාධිපති ධූරයෙන් පිදුම් ලත් උන්වහන්සේ එහිලා කැපීපෙනෙන ශාසනික සහ ජාතික මෙහෙවරක නියැළුණි. රුවන්මැලි සෑයේ විහාර මන්දිරය කිහිපවරක් ම නවීකරණය කළ උන්වහන්සේ අද අප දකින ආකර්ෂණීය විහාර මන්දිරය සහ සුගන්ධ කුටිය නිර්මාණය කිරීමට ද උත්සුක වූ අතර ම චෛත්‍යාරාම පරිශ්‍රයේ ඇති කවාකාර පොකුණ සංරක්ෂණය කිරීමත්, චෛත්‍ය මළුවට පිටින් වූ වැලි මළුව සංරක්ෂණය කරවීමත්, කොත් වහන්සේ ප්‍රතිසංස්කරණය කොට නව චූඩා මාණික්‍යයක් පැළැන්ඳවීමත්, මහාසෑය අවට පරිශ්‍රයේ කැණීම්, සංරක්ෂණ කටයුතු සහ තහවුරු කිරීම් සිදු කිරීම මෙන්ම භූ දර්ශන සැකසීම ද හේමරතන නාහිමි යුගයේ මහසෑය විෂයයෙහි සිදු වූ අනුපමේය සේවායට කදිම නිදර්ශන ය.

රුවන්මැලි සෑ චෛත්‍යරාමාධිපති ධුරය හොබවන සමයේ වුව ද අටමස්ථානය වෙනුවෙන් වන සෑම පොදු ක්‍රියාවකට ම පාහේ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ට උන්වහන්සේ සහයෝගය නොපිරිහෙළා දැක්වූ අතර, සති පිරිත් වැඩසටහන්, අනුරාධපුර පොසොන් උත්සව, බෝධීන් වහන්සේ විෂයයෙහි පවත්වන පූජෝත්සවයන්, විශේෂ විදේශීය ධූත රාජකාරී සහ අනෙකුත් අටමස්ථාන පුදබිම්වල නායක හිමිවරුනට අවශ්‍ය සහයෝගය ද නොපිරිහෙළා ලබා දුනි. කලා විෂයයෙහි උන්වහන්සේ දක්වන අදහස් සහ උන්වහන්සේගේ නිර්මාණ චින්තනය නිසාවෙන් බොහෝ විට පළාතේ සෑම කලා කටයුත්තක් වෙනුවෙන් ම පාහේ පල්ලේගම හේමරතන හිමියන්ගේ වැඩම කරවීම ප්‍රදේශවාසී කලාකරුවන් අනිවාර්යයෙන් බලාපොරොත්තු වූ අතර, රජරට විශ්ව විද්‍යාලයේ තේමා ගීතය ද රචනා කරන ලද්දේ හේමරතන හිමියන් විසිනි.

කාලයාගේ ඇවෑමෙන් නුවර කලාවියේ රජරට ප්‍රධාන සංඝනායක ධූරයට ද පත්ව සිටි හේමරතන නා හිමියන්, තත්කාලීනව ශ්‍රී ලංකාවේ ගීත රචනා ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලාංකේය යතිවර සලකුණ පරමෝත්කෘෂ්ට ඉහළත්වයක් වෙත ඔසවා තබන්නට තරම් සමර්ථ වූ සුචරිතයකි. රජරට සේවයෙන් පිබිදුන මෙරට සවන්ප්‍රිය ගීත කලාවේ එක් ප්‍රබල සන්ධිස්ථානයක් ලෙසින් උන්වහන්සේ අපගේ සම්භාවනාවට පාත්‍ර වන අතර, උන්වහන්සේ එදා මෙදාතුර පබැඳි ගීත අතර ජනකාන්තම ගීතාමන්ත්‍රණය ලෙස විශාරද කරුණාරත්න දිවුල්ගනේ ගැයූ “අතීතය සිහිනයක් පමණයි”‍ ගීතය හැඳින්විය හැකි ය. ගීත ලෝකයේ කව් ගී පබඳින හිමිවරුන් වහන්සේ තවත් කොතෙක් වැඩ සිටිය ද ගීතයෙන් බණ දහම් දෙසමින් සමාජයේ ප්‍රගමනය උදෙසා ස්වයං නිර්භය ප්‍රකාශන ජනගත කරන ලද්දේ, යතිවර ගේය ප්‍රබන්ධයේ හිරු සහ සඳු ලෙස සැලකෙන පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමියන් සහ පූජ්‍යපාද පල්ලේගම හේමරතන හිමියන් ය. උන්වහන්සේලා ගේය පබැඳුම් කලාපයේ ගොඩනගාගත් ආධ්‍යාත්මික සහෝදරත්වය ද අපූර්ව ලෙස ගම්‍ය වන කවි රචනාවක් ”‍හේමාවලෝකන”‍ නැමැති පල්ලේගම හේමරතන නාහිමි අභිනන්දන කෘතිය උදෙසා රඹුකන හිමියන් රචනා කර තිබූ අතර, ඉන් කවි සඟලක් මෙසේ උපුටනු වටී.

උඩ මළුවට මං ආවේ සංසාරේ යාළුකමට
සිරිමහ බෝධිය වැන්ඳේ ළඟා වෙන්න නිවන් පුරට
අපි දෙන්නම එකතු වෙලා වෙහෙස වුණා ගී ලියන්ට
ඔබට අනේ පුළුවන් වෙයි ලංකාව ම බබළවන්ට

පල්ලේගම හේමරතන නා හිමියන් උඩමළුවේ
පෙරුම් පුරා වෙහෙස වෙලා බුදුන් පුදට මල් නෙළුවේ
ඒ මල් ගෙන දුප්පතුන්ගේ දුක් කරදර ගිනි නිව්වේ
සංසාරේ ගමන් මගට මල් පාවඩ අපි එලු‍‍වේ

පල්ලේගම නාහිමියන් අකුරු කළ දහසකුත් එකක් ගී භාවනාවන් අතර පණ්ඩිත් අමරදේවයන් ගයනා ”‍බෝධියෙන් වට බෝ පතක් සේ”‍, විශාරද ගුණදාස කපුගේ ගයන ”‍දන මන පිනවා”‍ සහ ප්‍රාර්ථනා ගීතය ලෙස ප්‍රකට ”‍ලොවෙ දුක දැක”‍, ටී. එම්. ජයරත්නයන් ගයන ”‍උස් ම්ටිකම් නොබලා”‍, අමරසිරි පීරිස් ගයන ”‍සුළඟ වගේ එන කරදර”‍, සුනිල් එදිරිසිංහයන් ගයන ”‍නිවන් පුරට යන”‍, විශාරද ජානක වික්‍රමසිංහ ගයන ”‍මේ රැයත් දිගු රැයක්”‍, දයාන් විතාරණ ගයන ”‍අනාථ නාථයාණනේ“, සේනානායක වේරලියද්ද ගයන ”‍නින්දා ගැරහුම්”‍ සහ විශාරද ක්‍රිෂාන්ත එරන්දක ගයන ”‍එන්න කියලා වසන්තයටත්”‍ වැනි ගීතාත්මක නිදර්ශනය උඩමලු‍‍වේ වැලි මලු‍‍ව පුරා සුළඟින් බිමට පතිතව විසිරුණු බෝ පත් තරම් සැනසුම්දායී සනිදර්ශන ය.

කෙසේ නමුදු වර්තමානයේ අභිනව අටමස්ථානාධිපති ධුරයට පත් අතිපූජනීය පල්ලේගම හේමරතන හිමිපාණන් වහන්සේ යනු දේශීය ශාසනයට, අධ්‍යාපනයට සහ සමාජයට මෙන්ම ලෝකයේ මනුෂ්‍යත්වය වෙනුවෙන් ද ස්වකීය යතිවර පන්හිඳෙන් අසීමාන්තික මෙහෙවරක් සිදුකළ සහ අදටත් ශාසනෝන්නතිකාමී මෙහෙවරක යෙදී සිටින අති උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි. එනිසා ම සතිපට්ඨාන අපගේ ඒකායන බලාපොරොත්තුව වනුයේ ද මේ ගෙවෙන වෙසක් සඳ මඬල අද්දර වැනි සඳක ම පැවිදි බිමට වැඩම කළ පල්ලේගම හේමරතන නායක හිමිපාණන් ලෝකයම එකලු‍‍ කරමින් තවත් සුවහස් කලක් සසුනඹරේ හේමාලෝකයෙන් වොරැඳේවා යන පැතුම ය. මේ කෙටි විවරණය උන්වහන්සේගේ උදාරතර සංසාර චාරිකාව වෙනුවෙන් පිදෙන තුති කුසුමක් සේ ම උන්වහන්සේගේ ම පබැඳුම් කොටසක් උධෘත කොට උන්වහන්සේ නිර්වචනය කරමින් අවසනට පෙරාතුව පල්ලේගම හේමරතන අටමස්ථානාධීෂ්වර හිමිපාණන් වහන්සේ හට දීර්ඝායු පතමි.

“ඵලබරව සෙවණ සදනා තුඟු‍ රුකකි නුඹ විසල්”‍

 

සටහන : අකාශ් තාරුක පෙරේරා.

You might also like
en English
X
X