ලෞකික හා ලෝකෝත්තර ජීවිතයේ සාරය සොයා දෙන බුදු දහම
බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවන් අවබෝධයයි. ඒ නිවන් මග කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි.
ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙළ පෙන්වා දෙනවා. මේ අනුව බුදු දහම ඉතා හරවත් වූද, උසස් වූද, ජීවන මාර්ගයක්.
බුදු දහම යනු ජීවිතයේ යහපත උදෙසා, ප්‍රායෝගිකව බුදු දහම ඇසුරින් අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ගයයි. එබඳු ක්‍රියා මාර්ග රාශියක් පිළිබඳ උපදෙස් බෞද්ධ දර්ශනයේ අන්තර්ගතයි.. ලොව ඕනෑම පුද්ගලයකුගේ ප්‍රායෝගික ජීවිතය සාර්ථකත්වයට පත්කළ හැකි යම් දෙයක් වේද,ඒ බෞද්ධ උපදේශයන් ලෙස අද ලොවට එකම පිළිසරණ, එකම පිහිට ලෙස ක්‍රියාත්මක ව ඇති බව අනාවරණය වී තියෙනවා.
බුදුදහම ඇසුරින් ප්‍රායෝගික ජීවිතය අර්ථාන්විත කරගන්නේ කොහොමද යන්න විමසා බැලීම කාලෝචිතයි.
අප ජීවත් වන්නේ විද්‍යා හා තාක්ෂණය රජයන ලෝකයකය. විද්‍යාත්මක හේතු සාධක නොමැතිව කිසිවක් පිළිගැනීමට බොහෝ දෙනා අකමැතිය. මේ ස්වභාවයට මුහුණ දියහැකි එකම දහම ද, එකම දර්ශනය ද, වන්නේ බුදු දහමයි. ඊට හේතුව නම් බුදු දහමින් අනාවරණය කරන කරුණු හුදු සත්‍යය වන හෙයිනි. විද්‍යා හා තාක්ෂණික ලෝකයේ කරුණු විද්‍යාත්මක සත්‍යයන් අනුව අවබෝධ කරගන්නා සේම බුදු දහමේ ඉගැන්වීම් හේතුඵල ධර්මයට අනුව විමසා බැලීමෙන් එහි ඇති පරම සත්‍යය අපට අවබෝධ කරගත හැකිය.
බෞද්ධ දර්ශනය යනුද සත්‍යයම වේ. එය නිවැරැදිව ක්‍රියාවට නැංවීමෙන් පුද්ගලයාගේ යහපත උදාවන බවත් බෞද්ධ දර්ශනයට අනුගතවීම නිසා “සම්මා දිට්ඨිය” ඇතිවන බවත ප්‍රතිපල සහිතව උදාහරන සහිතව අත්විඳින මිනිසා එය ප්‍රත්‍යක්ශ කර ගනී.එමගින් හොඳ නරක තෝරා බේරා ගැනීමේ හැකියාවද උදාවේ. මේ ‘අවදිබව‘‘ බුදු දහමේ මූලික ලක්ෂණය වන නිසා අද්‍යතන ලෝකය හා පෑහෙන දහම බවට පත්වන්නේ බෞද්ධ දර්ශනයයි. “ආලෝකෝ උදපාදි” යන්න බුදු දහමේ සංකේතය වැන්න.
පුද්ගල සංවර්ධනයේ අනුපිළිවෙළ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවයි. මේ ක්‍රමවේදය ලොව විශිෂ්ටතම ශික්ෂණ ක්‍රියා පිළිවෙළ වේ. එහි අන්තර්ගතය නිවැරැදි දැකීම, නිවැරැදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි ක්‍රියා, නිවැරැදි දිවි පැවැත්ම, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන කරුණු අට නිවන සාක්ෂාත් කර දෙන්නා සේම ඊට පළමුව ලෞකික ජීවිතයක අභිවෘද්ධිය සලසාලන ප්‍රමුඛතම ඉගැන්වීම ද වේ.
කාමසුඛල්ලිකානු යෝගයට අනුවත්, අත්තකිලමතානු යෝගයට අනුවත්, දිවි පවත්වා ගැනීමෙන් අද ලෝකයේ මහා විනාශයට පත්ව සිටින පිරිස අතිවිශාල සංඛ්‍යාවකි. කිසි දිනක සුව නොකළ හැකි ව්‍යාධි, සමනය නොවන අසීමිත ආශා, ඒ නිසාම උද්ගත වී ඇති අතෘප්තිමත් ස්වභාව හා අන්තවාදී හැඟුම් මතින් පුද්ගලයෝ දැවෙති. නමුත් බුදු දහම අනුව මැදුම් ජීවන ප්‍රතිපදාවක් සකස් කරගත් අය සුවසේ හිඳිති. දිගාසිරි විඳිති. මෙලොව සන්තුෂ්ටිය හිමිකර ගනිති. අනතුරුව පුද්ගල සංවර්ධනයේ සදාචාරය දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා පදනම් කොටගෙන ඉස්මතු වෙයි. පුද්ගලයාට මහා විනාශය පිණිස හේතුවී ඇත්තේ බලවත් ආශාවයි.
එම හානිකර චිත්ත චෛතසික ඉවත් කර ගැනීම උදෙසා දානයට මූලික ස්ථානයක් හිමිවේ. දානය යනු අත්හැරීම වේ. ආශාව දුරලා තම ධනය පරිත්‍යාග කිරීමයි. ධනය ගොඩ නොගසා අවශ්‍ය පුද්ගලයන් අතට පත් කිරීමේ සංකල්පය මුල්වරට දැක්වෙන්නේ බුදු සමය තුළිනි. දානය නිසා සිත් තුළ රජයන ලෝභී සිත යටපත්වේ. සහනශීලී ජීවිතයට, පවුලකට, ගමකට, ප්‍රදේශයකට, රටකට හා ලෝකයකට, මූලික වන ධර්මතාව ඔස්සේ දීම හුරුපුරුදු වීම වේ. සියලුම සම්පත් නතුකර ගැනීමේ අතෘප්තිමත් ස්වභාවය ද ලෝකය ගිනි ගැනීමට අවශ්‍ය පසුබිම බවට පත්වී තිබීම රහසක් නොවේ.
දෙවනුව ලෞකික ජීවිතය සහනශීලීවූද, සදාචාර සම්පන්න වූද එකක් බවට පත්කර ගැනීම සඳහා ශීල ප්‍රතිපදාව ඉවහල් වේ. එහි මූලික අර්ථය වන්නේ පුද්ගල ශික්ෂණයයි. ශීල ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් සිත, කය, වචනය යන තිදොර සංවර වේ. එකී සංවරය තමාගේ යහපැවැත්මට ද, අන්‍යයන්ගේ යහපැවැත්මට ද මූලික කරුණ වෙයි. ගිහි පැවිදි වශයෙන් දෙපරිදි වන ශීලයේ මූලික පදනම පංච ශීලයයි. එය බෞද්ධත්වයේ මූලිකම සලකුණ වේ. යමෙකු තෙරුවන් සරණ සහිත පංච ශීලය සමාදන් වීමෙන් බෞද්ධත්වයට පත්විය හැකිය.
සම්බුදු රජාණන් වහන්සේ සාවද්‍ය යයි දේශනා කර වදාළ කරුණු පසෙන් වෙන්වීමත්, එය සමාදන් වීමත් පංචශීල ප්‍රතිපදාවයි.
ප්‍රාණඝාතය, හොරකම, සාවද්‍ය කාම සේවනය, මුසා බස් බිණීම, සුරාපානය යන පංච දුෂ්චරිත පුද්ගලයාගේ හා රටක විනාශයටත්, එයින් අත්මිදීමෙන් ඒ දෙතැන්හි ම නවෝදයක් උදාවීමක් ලෙසත්, සං. නි. පංචම වග්ගයේ පංචශීලය පිළිබඳව විග්‍රහ වන සූත්‍ර ධර්ම ගණනාවකම පෙන්වා දී තිබේ.
යහපත් පුද්ගලයන් හා රටක් ගොඩනැංවීමට පංචශීල ප්‍රතිපදාව ඉවහල් වන බැවින් චක්‍රවර්ති මහ රජතුමා ද මුළු මහත් ලෝකයම පාලනය කිරීම සඳහා ඉවහල් කරගන්නා රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ පංච ශීලයයි. එතුමා රටේ සතර දිග් භාගයට ගොස් සිය වැසියාට අවවාද දෙන්නේ පංචශීල ප්‍රතිපදාව සුරකින ලෙසටය.
දී. නි. චක්කවත්ති සීහනාද සූත්‍රයේ විස්තර කෙරෙන පරිදි පැහැදිලි වන්නේ චක්‍රවර්ති පාලනය පන්සිල් පදනම් කොට ගෙන සකස් වූ එකක් බවයි.
බුදු සමයේ සදාචාරාත්මක මූල ධර්මයක් වශයෙන් සැලකෙන පංචශීලය සෑම බෞද්ධයෙකුම අනිවාර්යයෙන් පිළිපැදිය යුතුවේ. කිසියම් සමාජයක මෙම පංචශීල ප්‍රතිපදාව ක්‍රියාත්මක නොවේ නම් එම සමාජයේ ජීවත්වීම ද නොකළ හැක්කකි. මුල්ම සිල් පදය බිඳිමින් එකිනෙකා මරා ගතහොත් එම සමාජය වහ වහා විනාශ වෙයි. එබඳු සමාජයක පැවැත්ම ඇත්තේ බලවතාට ම පමණකි. කිසියම් සමාජයක එකිනෙකාගේ වස්තුව සොරකම් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ නම් එබඳු සමාජයක අවසානයේ සොරකම් කිරීමට පවා කිසිවක් ඉතිරි නොවනු ඇත. පරදාර සේවනය වැනි වැරැදි කාමය නිසා පවුල නමැති ඒකකය බිඳී යයි. මෙබඳු තොරතුරු වත්මන් සමාජයේ පුන පුනා හටගන්නා බව ජනමාධ්‍ය වාර්තා කර සිටී. බොරුව රජ කළහොත් මුළු මහත් සමාජ විශ්වසනීයත්වයම විනාශ වී යයි. මත්පැන් හා මත් ද්‍රව්‍ය ගැනීමෙන් සිහි විකල් බවට පත්වුවහොත් කිසිවකුටවත් තමා පාලනය කර ගැනීමට නොහැකි වෙයි. මේ නිසා පංචශීලය ආරක්ෂා කළ යුත්තේ ආත්මාර්ථය හා පරාර්ථය සඳහා ය.
මේ අනුව පැහැදිලි වන්නේ පංචශීලය වනාහි සර්වභෞමික ගුණ ධර්ම මාලාවක් වන බවය.
ලෞකික ජීවිතයේ යහපත උදෙසා ඉවහල් කරගත යුතුª ප්‍රධාන කරුණු 07 ක් පිළිබඳ විස්තර දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන්ව ඇත. එහි ඉදිරිපත් කර ඇත්තේ මෙලොව යහපත උදා කර ගන්නා පුද්ගලයා
1. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිච්ඡාචාරය, මුසාවාදය යන චතුර්විධ කර්ම ක්ලේශවලින් වැළකීම.
2. ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියෙන් වැළකීම.
3. සුරාපානය, නොකල්හි වීථි සංචාරය, නැටුම් ගැයුම් බැලීමට යාම, දූ කෙළිය, පවිටු මිතුරු ඇසුර, අලස බව යන අපාය මුඛ සයෙන් වැළකීම
4. සේවනය නොකළයුතු මිතුරන් සතර දෙනාගෙන් ඈත්වී සේවනය කළයුතු මිතුරන් හතර දෙනා හා ඇසුර
5. මනා අර්ථ සංරක්ෂණය
6. දෙමාපිය, ගුරුවර, අඹු දරු, යහළු මිත්‍ර, දැසි දස් කම්කරු, මහණ බමුණු යන සදිසා සමාජ සංග්‍රහය
7. දානය, ප්‍රිය වචනය, අර්ථ චරියාව සමානාත්මතාව යන සිවු සඟරාවතෙහි පිහිටීම
යන කරුණු අනුව ජීවිතය සකස් කරගත යුතු බවයි.
කෙනෙකුගේ සම්පත් විනාශ වන දොරටු හය යටතේ ඒ ඒ පුද්ගලයාට ලෞකික ජීවිතයේ පැන නැඟෙන දහසකුත් එකක් දුක් කරදර හා අයහපත වළක්වා ගැනීම උදෙසා මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාපානය ප්‍රමුඛ මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අපාය මුඛවලින් දුරුවීම විනා වෙනත් කිසිදු විසඳුමක් ඒ සඳහා නොමැත. අර්ථ සංරක්ෂණය පිළිබඳ බුදුවදන ඉතාම වැදගත් එකකි. එය බුදුහිමි පැහැදිලි කර ඇත්තේ මෙපරිද්දෙනි.
“ පණ්ඩිත සිල්වත් තැනැත්තා ගිනි කඳක් මෙන් බබළයි. රොන් ගන්නා මී මැස්සෙකු මෙන් ටිකෙන් ටික වස්තුව රැස් කරමින් වැඩෙන තුඹසක් මෙන් අභිවෘද්ධියට පත් වෙයි. මේ අයුරින් වස්තුව රැස් කර ගන්නා ගිහි ගෙයි විසීමට සුදුසු වෙයි. ඔහු තම ධනය කොටස් හතරකට බෙදා මිත්‍රයන් ළං කොට සුවසේ වාසය කරයි. එහි එක් කොටසක් දෛනික දිවි පෙවෙත සඳහා ද දෙකොටසක් තම කර්මාන්තවල අභිවෘද්ධිය පිණිස ද යොදා හතරවන කොටස ආපදාවක් වූ කල ගැනීම පිණිස තැන්පත් කර තබයි. මෙහි කියැවෙන
ඒතෙන භොගේ භුංජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයෙ
චතුත්ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති
යන්න මුළු ලොවටම අගනා ආර්ථික දර්ශනයකි. ධනය පරිභෝජනය කළයුතු ආකාරය පිළිබඳ තවත් විස්තරයක් අං. නි. පත්තකම්ම වග්ගයේ පත්තකම්ම සූත්‍රයේ සඳහන් වේ. දැහැමිව උපයා සපයා ගත් ධනයෙන් තමන් ද තම දෙගුරුන් ද, අඹු දරුවන් ද, දැසි දස් කම්කරුවන් ද, යහළු මිතුරු ආදීන්ද සැපවත් කළ යුතුවේ යන ඉගැන්වීම මෙලොව උපන් සෑම පුද්ගලයකුටම තම වගකීම වශයෙන් අනිවාර්යයෙන් ම පැවරෙන කාරියකි. ඒ හැර තම ඤාතීන්, ආගන්තුකයන්, මිය පරලොව ගියවුන්,රජුන්, දෙවි දේවතාවුන් යන පස් කොටස වෙනුවෙන් පංචබලි නොපිරිහෙලා ඉටුකළ යුතු බව එහි පැහැදිලි කරදී ඇත්තේ පුද්ගල ප්‍රායෝගික ජීවිතය අර්ථාන්විත කිරීමේ උපදෙස් සංග්‍රහයක් වශයෙනි.
කෙනෙකුගේ ආදායමෙන් සමාජය වෙනුවෙන් විශාල යුතුකම් කොටසක් ඉටුකළ යුතු හෙයින් රටට ණය නොවී එම කටයුතු ඉටු කිරීම සඳහා සමබර ජීවිතයක් ගතකළ යුතුවේ.
ඒ සඳහා නිවැරදි මග ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයේ
1 උට්ඨාන සම්පදා ( උත්සාහ සම්පත්තිය )
2. ආරක්ඛ සම්පදා ( ආරක්ෂා සම්පත්තිය )
3. කල්‍යාණ මිත්තතා ( කල්‍යාණ මිත්‍ර සම්පත්තිය )
4. සමජීවිකතා ( අයවැය තුලනාත්මකව පවත්වා ගැනීම ) යනුවෙන් මෙලොව දියුණුව සලසාලන සම්පත් හතරක් පිළිබඳව නිරවුල් පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කෙරේ.
කෙනෙකු ක්‍රමවත් අයුරින් ධනය පරිභෝජනය කළහොත් උසස් සැප හතරක් විඳිය හැකි බව අං. නි. පත්තකම්ම වග්ගයේ අනණ සූත්‍රයේ සඳහන්වේ. ඒවා නම්
1. “පරිභෝජනය සඳහා දැහැමිව ඉපයූ ධනයක් ඇත” ධනයත් සැපතකි.
2. ‘ යහපත් ආර්ථිකයක් නිසා පැහැදුන සිතින් භෝග පරිහරණය කිරීමේ භෝග සැපතකි.
3. ක්‍රමවත්ව ධනය උපයා පරිහරණය කරන හෙයින් අනුනට ණය වීමට සිදු නොවු කල ‘ණය නැත’ යන අනණ සැපතකි.
4. තම ධනය උපයා ගැනීම නිරවද්‍යව සිදු කළ නිසා තම සිතේ නිර්දෝෂීභාවය කරණ කොටගෙන ඇතිවූ අනවජ්ජ සැපතකි.
මේ අයුරින් ප්‍රායෝගික ජීවිතයේ සැබෑමය වූ සැප හතර බෞද්ධ ප්‍රතිපදාවට අනුව ආර්ථිකය සකස් කර ගැනීමෙන් උදා කරගත හැකිවේ.
ලෞකික ජීවිතයේ දියුණුවට අදාළ වන ඉතා වැදගත් කරුණු 38 ක් මහා මංගල සූත්‍රයේ ඇතුළත්ව තිබේ.
තම ප්‍රායෝගික ජීවිතය බෙහෙවින් අවුල් වන්නේ බාලයන් යයි සම්මත ඇසුරට අයෝග්‍ය පුද්ගලයන් ඇසුරු කිරීම නිසාය.
බාලයන් ඇසුරු නොකිරීම මුල්ම මංගල කරුණකි. එයින් තහවුරු වන්නේ අපේ ලෞකික දිවියේ සාර්ථක අසාර්ථක බව ඇසුර මුල්කොට උදාවන බවයි.
එසේම මෙලොව දියුණුව උදාකරණ නිරවුල් කර්මාන්ත, දෙමාපියන් වැඩිහිටියන්ට සැලකීම, පාපයෙන් වෙන්වීම, මත්පැනින් වෙන්වීම, නිහතමානී බව, ඉවසීම කළගුණ සැලකීම, කීකරු බව යන කරුණු මෙලොව වාසනාව උදාකරණ මංගල කරුණු වශයෙන් අපට අගය කළ හැකිය. පරාභව සූත්‍රයේ පෙන්වා දී ඇති පිරිහීමේ දොරටු පුද්ගලයාගේ ප්‍රායෝගික ජීවිතයේ පරිහානිය උදාකරණ අතර එයින් වැළකීම ඔහුගේ දියුණුවේ අඩිතාලම බව ද පැහැදිලි වේ.
බෞද්ධ ආර්ථික ක්‍රමය අනුව තම තමන්ගේ ජීවිත සකස් කර ගතහොත් ප්‍රායෝගික ජීවිතය වාසනාවන්ත එකක් බවට පත්වනු ඇත.
ලොවට ණය නොවී කටයුතු කරන සමජීවිකතාව අද මුළු මහත් ජනතාවට ද රටට ද ලෝකයට ද ආදර්ශයකි. මත්ද්‍රව්‍ය ආදි දුරාචාර නූතන විනාශයේ මුල බවට පත්ව තිබෙන නිසා බෞද්ධ ජීවන ප්‍රතිපදාවට අනුගත වීමේ කාලෝචිත බව මේ වනවිට වඩාත් වඩවා ගත යුතු මට්ටමකට දියුණු වෙමින් පවතී.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood