Temples of Sri Lanka

බුදු දහම ජීවිතයේ දුක ගැනම කියන දහමක්ද?

ඉපදෙමින්,මැරෙමින් පුද්ගලයා සසර තුළ දීර්ඝ කාලයක් පුරාවට දුක පදනම් කරගනිමින් සැරිසරන බවත්,එකී දුකට පුද්ගලයා පත්වීමට හේතූන් මෙන්ම එකී හේතූන් ප්‍රහීණ කිරීම සදහා ගමන් කල යුතු මාර්ගය පෙන්වා දෙමින්, සසර පුරා අරමුණක් නොමැතිව සරන මනුෂ්‍ය ජීවිතයට “නිර්වාණය” නම් වූ උතුම් අරමුණෙහි පිහිටා ගමන ආරම්භ කිරීමට මගපෙන්වන ධර්මයක් වීද,ඒ උතුම් වූ බෞද්ධ දර්ශනයයි.

බෞද්ධ දර්ශනය වනාහි පුද්ගල ජීවිතය නිවැරදි දිශාවට දිශානත කරවීමට සමත් වන්නකි. එහි ඇදහීමක් නොමැත.ලොව ඇති රාග,ද්වේශ,මෝහ ආදී සියලු කෙලෙස් ප්‍රහීණ කල තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ,උන් වහන්සේගේ ජීවිතයේ ක්ලේෂයන් පරිනිර්වාණයට පත් කරමින් නැවත ඉපදීමක් සිදු නොවන ලෙස ස්කන්ධ පරිනිර්වාණය සිදු කල ආකාරය බෞද්ධ දර්ශනය හරහා අපට පෙන්වා දෙයි.

අප නොදුටු අපේම ජීවිතයේ පැතිකඩක් ඉතා විචක්ෂණශීලීව දකින්නට බුදුරජාණන් වහන්සේට හැකි වූ නිසාවෙන් උන්වහන්සේට දුක නම් වූ සසර අග්නි ජාලාව නිවා දමන්නට හැකි විය.එලෙස උන්වහන්සේ පෙන්වා දුන් දර්ශනය තුළ කෙළෙස් මුලිනුපුටා දැමිය හැක්කේ සියල්ල අතහැර දමා අනගාරික ජීවිතයක් ගතකරන අයවලුන්ට පමණක් බව අද ලෝකයේ බොහෝ පුද්ගලයින් පිරිසක් දකින කරුණකි.බුදු දහම වනාහි සියල්ල දුකක් යැයි පවසමින් මනුෂ්‍ය ජීවිතය නීරස කරවන දර්ශනයක් බවද තවත් පිරිසකගේ මතයයි.

බෞද්ධ දර්ශනය මේ එකක් වත් නොවේ.මිනිසෙකු සර්පයෙකු දුටු විගස කලබලයෙන් සර්පයාගේ වලිගයෙන් අල්ලා ගතහොත් සර්පයගේ දෂ්ට කිරීමෙන් මිනිසා මිය යෑමට වුව හැකිය.සර්පයා අල්ලා ගත යුත්තේ සර්පයාගේ හිසින්‍ ය.ඒවිට සර්පයාට කිසිවක්  කරගත නොහැක.බෞද්ධ දර්ශනය වුවද එසේමය.බොහෝ පුද්ගලයින් බෞද්ධ දර්ශනය තුළ දකින්නේ,අධ්‍යනය කරනුයේ දුක පිලිබඳ දැක්වෙන කොටසයි.ඒ කොටස පමණක් අධ්‍යනය කරමින් බෞද්ධ දර්ශනය දුක පිලිබඳවම පමණක් උගන්වන ජීවිතයේ අනිත්‍යතාව පමණක් මෙනෙහි කරවන අන්තවාදී දර්ශනයක් බව පවසයි.එය නිවැරදි නොවේ.

ගිහියෙකු වශයෙන් ලෝකෝත්තර මෙන්ම ලෞකික ජීවිතයද යහපත්ව,සාර්ථකව  ගත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් තුළම පවතී.ගිහියාගේ නිත්‍යශීලය වන පංචශීලය,එනම් බෞද්ධ දර්ශනය තුළ  පවතින සරළම ඉගැන්වීම, ඒ තුළද ගැබ්ව පවතින්නේ පුද්ගලයාගේ මෙලොව ජීවිතය ගොඩ නංවා ගැනීමට උපකාර වන උපදෙස් පහක් ය.තවත් ගැඹුරට ගිය විට ලෞකික ජීවිතයේදී යහපත් ධාර්මික පවුල් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය උපදෙස්,දෙමාපිය ගුරුවර ආදී පිදිය යුත්තන්ට මෙන්ම සිය සේවකයින්ට සත්කාර කළ යුතු ආකාරය ආදී කරුණු රැසක් සිගාලෝවාද සූත්‍ර දේශනාව තුළ ගැබ්ව ඇත.අඹු-සැමි වශයෙන් සිය බැදීම නිවැරදිව සමාජ සම්මත ලෙස සතුටින් ගත කිරීමට අවැසි උපදෙස් මෙන්ම ලෞකික ජීවිතයේ බාල,තරුණ,මහලු  යන අවදි ත්‍රිත්වයම සතුටින් ගත කිරීමට අවැසි උපදෙස් බුදු දහමේ  මූලික ධර්ම කරුණු තුළ අඩංගු වේ.

එසේම රාජ්‍ය පාලනය,කල්‍යාණ මිත්‍ර සේවනය,ගිහි ජීවිතයේදී ධාර්මිකව ධනය උපයන ආකාරය,එලෙස උපයා ගත් ධනය වියපැහැදම් කළ යුතු ආකාරය ආදී කරුණු රැසක් බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දී ඇත.

සූත්‍ර දේශනා,පදනම් මූලික ධර්ම කරුණු පමණක් නොව පුද්ගලයාගේ මෙලොව දියුණුව සලසා ගත හැකි  භාවනා ක්‍රමද බෞද්ධ දර්ශනය තුළ පවතී.

මානසික නිදහස වනාහි ගිහි ජීවිතයක් ගත කිරීමට අත්‍යාවශ්‍යම වූ කරුණකි.එකී මානසික නිදහස,සන්තෘෂ්ඨිය ලබා පෘථජ්ජන සිත්හි පවතින ක්ලේෂයන් ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රහීණ කිරීමට බෞද්ධ දර්ශනය පියවරෙන් පියවර මග පෙන්වයි.

සීල,සමාධි ආදී ගුණාංගයන් සිත තුළ ගොඩ නංවා ගැනීමට ප්‍රථම ඒ සදහා අවැසි පසුබිම සකස් කිරීම බුදු දහම තුළ පළමුව සිදුකරයි.

බෞද්ධ දර්ශනය වනාහි මතුපිටින් පෙනෙන දේ පමණක් ගැබ් වන්නක් නොවන බව පැහැදිලිය.එහි නියමාකාර පදනමක් ඇත.සිල්ලම හේතු ඵල සහිතව විස්තර කරදීමට බෞද්ධ දර්ශනය සමත් වේ.හේතුවක් නොමැතිව කිසිවක් මේ ලොව තුළ හටගන්නේද ,නැතිවන්නේද නැත.විචල්ල්‍යතාව ලෝකයේ සියලු දේටම,සියලු දෙනාටම පොදු වූ ධර්මතාවයකි.බෞද්ධ දර්ශනය ජීවිතයේ දුක කටුක බව පමණක් ම ගැන කතා කරන අනිත්‍යවාදී දර්ශනයක් නොවන බව මින් ගම්‍ය වේ.

මිනිසුන් බහුතරය බෞද්ධ දර්ශනය පිලිබඳ දක්වන්නේ ඉතා සාවද්‍ය වූ මතයකි.මෙවැනි දුර්මත සදහා බෞද්ධ දර්ශනය තුළම පිළිතුරු පවතී.

බුදුන් වහන්සේ සියල්ල අතහැර දැමූ බෝරුක ලගම අද මිනිසුන් සියල්ල අයදී.ඒ බෝධීන් වහන්සේම සුදු කොඩි වලින් සරසා සිය අපල දුරු කර ගැනීමට අපේක්ෂා කරයි.භික්ෂූන් පවා ආරණ්‍යවාසී වනවා වෙනුවට ප්‍රාසාද වල සැපවත් ජීවිත ගත කරනවා.බිලි පූජා කරන ස්ථාන වල පවා අද “නමෝ තස්ස භගවතෝ” පාඨය ප්‍රකාශ කරනවා.මෙය බුදුන් දෙසූ ධර්මයවත්,උන්වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයවත් නොවේ.මේ සියල්ල සිදුවන්නේ බෞද්ධ දර්ශනය හරියාකාරව අවබෝධ කර නොගැනීම නිසයි.බෞද්ධ දර්ශනය මුල සිට ඉතා සංයමයකින්,සම්මා සතියකින් යුතුව අධ්‍යනය කළ යුතු වේ.එසේ නොවන කළ මිථ්‍යාදෘෂ්ඨිකයින්,අන්ධානුභක්තිකයින් බුදු දහම හරහා ද බිහිවීමට ඉඩ තිබේ.

එහෙයින් බෞද්ධ දර්ශනය මුල සිට වටහා ගනිමින් බුදුන් වහන්සේ දේශනා කළ වදාල වූ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනිමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X