Temples of Sri Lanka

බුදුන් වැඩිය මේ රුවන් දෙරණ මත යලි මා ඉපදේවා

මේ රුවන් භූමිය බුදුන් වැඩිය භූමියයි…

එහෙමත් නැත්නම් බුදුන් වැඩි දේශයයි’ වගේ පාඨ අඩංගු කරගත් ප්‍රකාශන හා පත්‍රිකා ආදිය නිතර නිතර අපේ රටේ බොහෝ තැන් වලින් පහළ වෙනවා. බුදු රජාණන්ගේ අසිරිමත් වෙසක් තෙමඟුල සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් රට ම පිරී යනවා. ඇතැම් උදවියගේ සිත් සතන්වල මීට ප්‍රතිවිරුද්ධ දේවලුත් සිථි නැගෙනවා. බුදු පියාණන් වදාළ උතුම් දහමට පටහැනි සිතිවිලි ඇති මිනිසුන් මේ අතර නැතුවාම නොවේ.

අපේ මවුබිමට බුදුන් වැඩිය දේශය කියනවාට කවුරුවත් අමනාප විය යුතු නැහැ. කවුරුවත් ඊට අමනාප වන එකකුත් නැහැ. ඒත් සමහර අන්තවාදී කොටස් මේ උතුම් පාඨය අනුන් පීඩාවට පත් කරන්න, එහෙමත් නැත්නම් තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න යොදා ගැනීමයි වරද. බුදු හිමියන් අවස්ථා ගණනක් ලංකාවට වැඩම කළ බව වංශකතාවල වගේ ම වෙනත් ඓතිහාසික ග්‍රන්ථවලත් සඳහන් වෙනවා.

උන්වහන්සේ එසේ වැඩම කළේ හුදු විනෝද චාරිකාවක නිරත වීමේ අරමුණෙන් නොවන බව අප අමතක නොකළ යුතුයි. අර්ථයෙන්, ධර්මයෙන් අපේ රට වැසියාට අනුශාසනා කර ලෞකික හා ලෝකෝත්තර ජීවිත ජය ගැනීම සඳහා අවැසි නිවැරදි මඟ පෙන්වා දීමයි බුදු පියාණන්ගේ එවැනි ගමන්වල ඒකායන අරමුණ වුණේ.

අප්‍රේල්, මැයි හා ජුනි කියන කාල පරිච්ඡේදය අවුරුද්දේ අනිත් කාර්තුත් එක්ක සසඳලා බලනකොට ශ්‍රී ලාංකිකයන් හැටියට අපට ඉතාමත් අර්ථවත් කාලසීමාව වශයෙන් සලකන්න පුළුවන්. දින සීයකට ආසන්න වන ඒ කාර්තුව ඇරඹෙන්නේ භාග්‍යවත් මාසය හෙවත් බක් මස උදාවත් එක්ක යි. මුලින්ම අලුත් අවුරුදු සිරියෙන් රටම ආලෝකමත් වෙනවා.

ඊළඟට එලඹෙන වෙසක් හා පොසොන් මාස දෙක දාන ශීල ආදි පුණ්‍ය කටයුතුවලින් අපේ හදවත් පහන් වන සමයක්. ලෝකයේ වෙන කිසිම රටකට හෝ ජාතියකට සොබාදහම විසින් මෙබඳු දායාදයක් උරුම කර දී තිබෙනවා ද කියා විමසා බලන්න වටිනවා.

ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ දේශය වන්නේ බෞද්ධ ධජය අනිත් සියලුම ධජවලට ඉහළින් ළෙල දෙවීමෙන්ය කියා සමහර අය සිතා සිටිනවා. එහෙමත් නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි වැකියක් තද අකුරින් මුද්‍රණය කිරීමෙන් ලංකාව බෞද්ධයන් ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය කළ හැකි බව සිතන පිරිසකුත් සිටිනවා. බුදු දහම හෝ බොදු පිළිවෙත් යනු එසේ ප්‍රදර්ශනාත්මකව හෝ නීතිරීතිවල පිළිසරණින් ඉහළට ඔසවා තැබිය යුතු භෞතික වස්තුවක් නොවන බව ඒ උදවිය තේරුම් නොගැනීම කනගාටුවට කාරණයක්.

බක් මාසයෙන් ආරම්භ වී පොසොන් මංගල්‍යය දක්වා දිවෙන අසිරිමත් තෙමස ශ්‍රී ලාංකික ආධ්‍යාත්මය පිරිපහදු කර ගන්නා කාල සීමාවක් බවට පරිවර්තනය කරගැනීමේ වැදගත්කම අවබෝධ කරගැනීම ඉතා වටිනා දෙයක්.

උතුම් බුදු දහමටත්, ශ්‍රී ලාංකික උරුමයන්ටත් හානි පමුණුවන දෙස් විදෙස් කුමන්ත්‍රණ කවදත් අපේ රටේ තිබුණා. අපේ පැරණි පරපුර ඒ බලවේග පරාජය කළේ බාහු බලය පෙන්වන්න යාමෙන් නොව බෞද්ධකමේත්, ලාංකීයත්වයෙත් සහජ ගුණාංග තව තවත් ශක්තිමත් කරගැනීම තුළිනු යි.

‘බුද්ධ යනු අවබෝධ ඥානය මිස පුද්ගලයෙක් නොවේ ය’ කියන උදාර වැකියම මීට කදිම නිදසුනක් ය කියා හිතෙනවා. පංචස්කන්ධය හෝ භෞතික ලෝකය උසස්කොට නොසලකා දහමේ හරයන් කරා පිවිසෙන්න කියල යි බුදු පියාණන්ගේ උතුම් දහමින් පසක් කර දෙන්නේ. අපේ පුංචි රට සුරපුරක් හෝ අපායක් වෙන්නේ වර්තමානයේ බුදු දහමට හෝ ලාංකීයත්වයට අප සපයන අර්ථකථන අනුවයි.

බුදු පියාණන් ප්‍රතිකාර කළේ අනුශාසනය කළේ රෝග නිධානයට මිස රෝග ලක්‍ෂණවලට නොවන බව අප පසක් කර ගත යුත්තේ මේ නිස යි. බුදු පියාණන් ගේ ඒ උතුම් මඟ තෝරාගත් භාග්‍යවන්ත රටක වෙසෙන ජනතාව වශයෙන් මේ පින්බර සමයේ ‘ශ්‍රී ලාංකික ආධ්‍යාත්මය සුවපත් කර පෝෂණය කරගැනීමේ නිවැරදි මඟ පිළිබඳ ව නව කතිකාවක් ඇරඹීම කාලෝචිත යි නේද?’

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X