Temples of Sri Lanka

දුක් පීඩාව දරා ගන්න නම් උපේක්ෂාව පුරුදු කරන්නම ඕනේ

හොඳින් දැනෙන බෞද්ධයා යනු තමා දන්නා ධර්මය ඉතා හොඳින් ජීවිතයට බද්ධ කරගත් පුද්ගලයායි . ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක යන අටලෝ දහමින් මිදුන ජීවිතයක් කිසි කෙනෙකුට ලබා ගන්නට බැහැ.

එවන් ලෝක ධර්මතා හමුවේ අකම්පිතව සිටින්නට ධර්මය උපකාර කරගන්නා තැනැත්තා දහම අත්විඳින තැනැත්තා ලෙස නම් කරන්නට පුළුවන්..

බුදු දහමේ මේ ගැන ඉගෙන ගන්නට පුළුවන් බොහෝ දේ තිබෙනවා .

එය ඉතාමත් බුද්ධි ගෝචර ඉගැන්වීමක් කියා ශාස්ත්‍රීය ලෙස ඉතා හොඳින් අධ්‍යයනය කරන්නට පුළුවන්. බුදු දහම ගැන හොඳින් දන්න බොහෝ වියතුන් බෞද්ධයින් අතර මෙන්ම අබෞද්ධයින් අතරද සඳහන් උපමා ධම්මපදය සඳහන් වනවා

මා ඉතා හොඳින් දන්නා මාතාවක් අසාධ්‍යව රෝහලක ප්‍රතිකාර ලබන්නට නතර වුණා.ඒ ස්ථානයේදී අනෙක් ඇඳන් වල සිටින ලෙඩ්ඩුන් වේදනාව නිසා කරන කෑ කෝ ගැසීම් ඉතා ඉහළ මට්ටමක තිබුණු නිසාම මා සමග ගිය මගේ මිතුරා “මෙතන හරි සද්දයි “නේද..? කියා ඇයගෙන් ඇසුවා.

නමුත් බණ දහම් පුරුදු කරන මාතාව විසින් ලබා දුන් පිළිතුර වූයේ ගමේ ගෙදර අවට කුරුල්ලෝ කෑගහනවා. මෙතන මිනිස්සු කෑගහනවා. වාහන වල සද්දේ එනවා. එච්චරයි

මේ කියමනෙන් ඇය මොනතරම් දුක උපේක්ෂාව පුරුදු පුහුණු කළ තැනැත්තියක්ද කියා අපට සිතාගන්නට පුළුවන්. මහ ගැඹුරු දේ නොදන්නවා වුනාට ,අපට වේදනාව දැනෙන්නේ යමක් ගැටලුවක් වන්නේ එම සංවේදනයට අප දෙන්නා වූ වටිනාකම් ..එහෙමත් නැත්නම් අප ඒ සමග පැටලැවෙන්නා වූ තරමට …බව ඇය අවබෝධ කරගෙන සිටීම නිසා ඇයට පරිසරයේ තිබූ අප්‍රසන්න බව ගැටලුවක් වුණේ නෑ..

ඇය කී තවත් කතාවක් ඊටත් වඩා පුදුම සහගත වුණා..ඇය කියා සිටියා අනේ පුතේ මට නම් හිතෙන්නේ මම දිව්‍ය ලෝකයක සිටිනවා කියා..

මේ ගැන විමසීමේදී ඇය කියා සිටියේ මේ වාට්ටුවේ වැඩ කරන කිසි කෙනෙක් මගේ දරුවෝ වත් නෑයො වත් නොවෙයි. ඒත් ඉතින් බලන්නකෝ මට දක්වන සැලකිලි එහෙම සැලකිලි ලැබෙන කොට ඒක දිව්‍ය ලෝකයක් නොවේද යන්නයි..

නැවතත් විමසා බලන විට පෙනෙන්නේ ඇයගේ ආකල්පයයි.

දිනක් කෙනෙක් දානයක් රැගෙන වන සෙනසුනට ගොස් තිබුණා… එහිදී වනයේ ශාන්ත බව බිඳගෙන ගම්මානයෙන් එන ශබ්ද විකාශන හඬක් ඇසී තිබුණා.. දවස පුරා විවිධ ගීත එයින් විකාශනය වුණේ අතොරක් නැතිවයි.. පින්වතා එතන සිටි කුඩා සාමණේර හිමියන්ගෙන් ඒ ගැන විමසමින් මේ ස්ථානයේ භාවනා මධ්‍යස්ථානයක් තිබෙන බව ගම්මු දැනගත යුතු නේද? යනුවෙන් අසා තිබුනා.

භාවනා කරනවා කියන්නේ ගම්මු මඟුල් කන එක නවත්වන එකම නෙවෙයි… යනුවෙන් මේ කුඩා සාමණේර හිමිනම පිළිතුරු ලබාදී තිබුණා..

ගැඹුරු සැනසිල්ලක් ඒ හිමියන්ගේ හිත තුළ තිබෙන්නට ඇතියි. කියා අපට මේ වදන්වලින් පැහැදිලියි…

මෙම සත්‍ය සිද්ධීන් කිහිපයක් ඉදිරිපත් කිරීම තුළ දහම දැනෙනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබට ඉඟියකින් ලබාදීමටයි උත්සාහවන්ත වූයේ

ලෙඩදුක් කරදර වලින් තොර සිතන සියලුම දේ ඒ ආකාරයෙන් ඉටුවන ජීවිතයක් කිසි කෙනෙකුට බලාපොරොත්තු වෙන්නට බැහැ. එසේ නොවීමයි ලෝක ස්වභාවය.. ඒ හමුවේ අකම්පිතව සිටින්නට හැකිනම් එය ඉතා වටිනවා… දහම ඇසුරෙන් ලබා ගන්නට හැකි තරමටයි දහම දැනුනා වෙන්නේ…

ඒ දැනීම ඇති කරගනිමින් ජීවිත යථාර්ථයන් කරා ඇවිද යාමට දුක් පීඩා දරා ගන්න නම් උපේක්ෂාව පුරුදු කරන්න ඕනෑයි කියන එක ඔබට එක සිතින් පසක් කිරීමේ අරමුණින් මෙම ලිපිය දිගහැරියෙමි…

දුක සහ පීඩාව දරාගන්නට නම්… උපේක්ෂාව සමඟ හිත, ගනුදෙනු කිරීමේ කලාව ආරම්භ කළ යුතුයි..

ඔබට තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X