Temples of Sri Lanka

සුවිසල් ප්‍රමාණයෙන් අපේ ප්‍රණාම වැඩිහිටි ඔබට….

රටේ සම්පත් අපේ දරුවෝයි.මේ සම්පත්වල සුරක්ෂිතතාවය රකින්නට දෙමාපියන් පුදුමාකාර වෙහෙසක් ගන්නවා .ඒත් ඒ වෙහෙස මහන්සි වෙලා උස්මහත් කරන රටේ සම්පත් දෙමව්පියන් කෙරේ ආදරයක් ඇල්මක් දැක්වූවා නම්, අද වැඩිහිටි මහළු නිවාස දකින්නට ලැබෙන්නේ නැහැ . නොයෙක් සමිති සමාගම් මගින් පවත්වාගෙන යන වැඩිහිටි නිවාස රාශියක් අපේ රටේ තියෙනවා. මේ වැඩිහිටි නිවාස වල කල් ගෙවන්නේ අපේ රටේම පවුල් වලට අයත් වැඩිහිටියෝ. ඒ කියන්නේ අපේම අම්මලා තාත්තලා ආච්චිලා සීයලා .

කිසිම පිළිසරණක් නැතිව සිටින මේ උදවිය පින් පිණිස දෙන කිසියම් දේ කින් යැපෙනවා. ස්වකීය දූ දරුවන් නෑ මිතුරන් සමග සැනසිල්ලෙන් ජීවත් වීමේ ඇල්මක් ආදරයක් ඔවුන් තුළ තිබුණත් ,එය ඔහුන්ට අහිමි තැනට ඇවිත් .තනියට නොතනියට සිටින්නේ තමා හා සමාන සෙසු වැඩිහිටියෝ පමණයි. ලෙඩක් දුකක් සඳහා පිළිසරණක් ලබා දෙන්නේ වැඩිහිටි නිවාසය පාලකයෝ .

වැඩිහිටි නිවාස වල පිරිසක් මේ විදිහට අසරණව දිවි ගෙවද්දී ,තවත් කොටසක් අපට මහමගදී දකින්නට පුළුවන්. වැරහැලි ඇඳගෙන ඇවිදින මොවුහු මග තොට හමුවන අය අනුකම්පාවෙන් දෙන සුළු මුදලින් දිවි ගැට ගසා ගන්නවා .මොවුන්ට ස්ථිර වාසස්ථානයක් නැහැ. දවල් දවසෙ හිඟා කා රෑ කාලේ අනුන්ගේ අගුපිලක ගත කරනවා.

මේ දෙපිරිසම වැඩිහිටියන්. එම තත්ත්වයට මුහුණ පා සිටින්නේ අසරණ වීම නිසා. ඔවුන්ට පිහිට වීමට දූ දරුවෙක් නැහැ.

සැබැවින්ම මේ වැඩිහිටියෝ දූ දරුවන් නැති අයම ද …..

වයසින් ගුණයෙන් නුවණින් වැඩිහිටි අයට සලකන පුද්ගලයාට , තමා අතින් අගනා යුතුකමක් ඉටු වී යැයි සිතා සතුටු විය හැකියි .ඔවුන්ට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබේ. ආශිර්වාද බලයෙන් අනුසස් හතරක් ලැබෙන බව බුදු දහමේ ඉගැන්වෙනවා.මේ පුද්ගලයන්ට ආයුෂ, වර්ණ, සැපය ,බලය, යන ධර්ම සතර වැඩෙනවා

නියම බෞද්ධයෙක් වටහාගන්නවා තමාත් වැඩිහිටි තත්ත්වයකට පත්වන බව. තමා දෙමාපියන්ට නොසැලකුවොත් තමාගේ දූ දරුවන්ගේ සැලකිල්ලත් තමාට නොලැබෙන බව. සෙසු වයෝවෘද්ධ යන්ට සැලකීම තුල සමාජයේ ගෞරවය තමාට ද ලැබෙන බව. ඔහු තමන් වැඩිහිටියන්ට සලකන අතරම, තමාගේ දූදරුවන් ද එයට යොමු කරවා ගන්නවා.

නෑදෑයින් හා වැඩිහිටියන්ට සැලකීමේ දී මිල මුදල් වැය කිරීම ප්‍රධාන අවශ්‍යතාවයක් නොවේ. මෛත්‍රීසහගත, කායික ,වාචසික, ක්‍රියාවන් ඔවුන්ට සංග්‍රහ කළ හැකි ප්‍රධාන මාර්ග.

විනීත ලෙස කතාබහ කිරීම, ආචාරශීලී ලෙස ක්‍රියා කිරීම, වියදමක් නැතිව කළ හැකි සංග්‍රහ වෙනවා.

බස් රියකට නැගුණු දුබල වැඩිහිටියකු දුටු විට තමාගේ අසුනින් සංග්‍රහ කිරීම වියදම් යන දෙයක් නෙවෙයි. අසරණ වැඩිහිටියකු දුටුවා ම හාස්‍යයට ලක් නොකර, තොරතුරු විමසා උදව්වක් අවශ්‍ය නම් ශක්ති ප්‍රමාණයෙන් එය ඉටු කර දීම තුල කෙතරම් සතුටක් ලැබිය හැකිද?

වැඩිහිටියන්ට සැලකීම ගෙදරින් ආරම්භ කරන්න. එහිලා දෙමාපියන්ට සැලකීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ .තම පවුලේ වැඩිමහල් සොහොයුරු සොහොයුරියන්ට අයියා අක්කා ආදී වශයෙන් අමතනවා මිස නමින් ඇමතීම නොකරන්න. පවුලේ සම්බන්ධතා ඇති නෑයන්ට ඇමතිය යුත්තේ ද ඔවුන්ට ඇති නෑකමින්. ඔවුන් ඉදිරිපිට විනීතව හා ආචාරශීලීව කතාබහ කිරීම, ක්‍රියා කිරීම වැඩිහිටියන්ට සැලකීමේ අගනා පදනමක්ය.

මවුපියන් පෝෂණය කරන කුලදෙටුවන් පුදන පුද්ගලයා දෙවියන්ගේද ප්‍රශංසාවට ලක්වන බව බුදු දහමෙහි ඉගැන්වේ.

මෙම මවුපිය උපස්ථානය, ඥාතීන්ට සංග්‍රහ කිරීම, දෙලොව වැඩ සලසන මංගල කරුණක් වශයෙන් මහා මංගල සූත්‍රයෙහි ද උගන්වා ඇත .

වැඩිහිටියන්ට සැලකීම බෞද්ධයාගේ සංස්කෘතික උරුමයක්. බුදුරජාණන් වහන්සේ එය වර්ණනාවට ලක් කළ අතරම, මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කර,මවට සැලකූ ආකාරය …කිඹුල්වතට වැඩම කොට සිය පියාණන් වූ සුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍යයන්ට දහම් දෙසා සුවිසල් ආගමික සේවාවක් ඉටු කළ ආකාරය… යනාදී කරුණු සිහිපත් කල හැකිය.

දස පුණ්‍ය ක්‍රියාක්‍රියා වල “අපචායන” යනුවෙන් හැඳින්වෙන්නේද වැඩිහිටියන්ට සැලකීමයි. ඒ අනුව වැඩිහිටියන්ට සැලකීම පුණ්‍ය ක්‍රියාවක් ලෙසද වඩවා ගත යුතු උතුම් මනූශ්ශ්‍යත්වයේ සංහිඳියාවකි. එනම් මෙලොවත් පරලොවත් දෙකෙහිම සතුටුදායක ප්‍රතිඵල ලබා දෙන යහපත් ක්‍රියාවකි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X