පවුලට එන බොහෝ ප්‍රශ්න වල දී කාන්තාව එහි බර දරනවා. එයට කළ යුතු පිළියම දිවා රෑ සොයනවා. එනිසාම කරදර වැඩ කටයුතු බහුල වන විට ඇයට තරහ යනවා .පවුලේ අනෙක් අය සැනසිල්ලෙ ඉන්නකොට හිතට ඉරිසියාවක් එන්නත් පුළුවන්. වැඩ වැඩි වෙනකොට ජීවිතේ පවා එපා වෙනවා. එතරම්ම ඇයට ජීවිතේ වැඩ ගොඩක් තිබෙනවා. ඒ වැඩ ගොඩක් අස්සෙත් කවුරුත් සොයන සැපය මේ අහිංසක කාන්තාවත් හොයනව. සමහර කාන්තාවන් සවි ශක්තිය තිබෙන කාලයේ වැඩ කරලා, අවසාන කාලයේ ඇඳට වැටුණා ම,ඇය ධර්මයේ හැසිරිලා නැත්නම්, ඒ ජීවිතය මහා අසාධාරණ ලෙස ඇයට පීඩා දෙනවා. අවාසනාවන්ත ලෙස ඇයගේ ජීවිතය අවසන් වෙනවා.
නමුත් වැඩ වැඩි වෙන විට, තමාගේ හිත ආරක්ෂා කරගෙන, ඒ සියලු වැඩ කරන්නට පුළුවන් නම්…. ඇය ජීවිතය දිනූ කාන්තාවක්.
වැඩ වැඩි වෙන විට සිත විසුරුවා ගන්නේ නැතිව තරහ පාලනය කරගෙන, කරන වැඩ තමාට සතුටින් කරන්නට පුළුවන් නම්, ඒ පුරුද්ද ඇගේ ජීවිතයට ලොකු සැනසිල්ලක් වෙනවා .
අපි ජීවිතයේ මොන දේ කළත් ඒ හැම දෙයක්ම කරන්නෙ ජීවිතේ සැනසීමක් බලාපොරොත්තුවෙන්. දරුවො හදන්නේ ජීවිතේ සැනසීමක් බලාපොරොත්තුවෙන්. බලාපොරොත්තු වෙන ඒ දේවල් වෙනුවෙන්, ඒ දරුවාගේ කුඩා වරදට පවා, අම්මා දොස් අහනවා. දුක්ඛ දෝමනස්සයන්ට ලක්වෙනවා. මේ වගේ ගැටලුවකදී… ධර්මය අසා නැත්නම් ධර්මය පුරුදු කර නැත්නම්, ද්වේශය එක් කිරීම් ආදී නොයෙක් අකුසලයන්ගෙන් හිත වෙලී යනවා .ඒ නිසා මොනතරම් වැඩ වැඩි වුනත් සතුටින් ඉන්න උත්සහ කරන්න . නමුත් ඒක පුරුද්දක් නැතිවත් කරන්නත් බැහැ .
ඔබ යම් රාජකාරියක නිරත වෙනවා නම්, ඔබට පැවරී තිබෙන රාජකාරිය ඉක්මනට අවසන් කළාට ඔබ සොයන සැනසීම එතනින් ලැබෙන්නේ නෑ .නමුත් ධර්මය ගළපා ගෙන ධර්මයට අනුව සිතන්න පුළුවන් නම්, ඒ දේ කරන්නෙ තමා ට පින් කරගන්න පුලුවන් සේවයක් ලෙසයි. ඒ වගේම දරුවන්ගේ වැඩ කිරීමෙන් ..ස්වාමියාගේ වැඩ කිරීමෙන් ..ගෙදර වැඩපළ කිරීමෙන් …පිරිසිදු කිරීමෙන් …ඇයට පිනක් රැස් වෙනවා .නමුත් මේ දේ කරන්න නම් ඒ ධර්මය අනුව හිත හදාගන්නත් ඕනේ. එවිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් .
බොහෝ අවස්ථාවල සතුට නැති වෙලා තිබෙන්නේ ධර්මය ගළපා ගන්නේ නැති නිසයි. බොහෝ වැඩ කටයුතු සමග ජීවිතේ ගතවෙනවා. ඒ අතර වැඩ වැඩි වන විට මනස සැහැල්ලු කර ගන්න වෙන වෙන ක්‍රම සොයනවා.
බොහෝ විට රූපවාහිනී ලඟ නතර වෙලා නාට්‍ය බලමින් සතුට සැනසීම හොයනව. නැත්නම් දුරකතනයට ඇබ්බැහි වෙනවා. ඒ තුළින් තව තවත් ජීවිතේ අගාධයටම යනවා. සුන්දර වූ සැපය සැනසීම ලැබෙන්නේ නැහැ.
නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ගලපාගෙන වැඩ වැඩි වෙන විට හිත ඒ අනුව හසුරවා ගන්නට පුළුවන් නම්, ඒ කාන්තාවට සොයන සැනසීම ලැබෙනවා. සැපය සොම්නස බහුලව වාසය කරන්න කැමැති කෙනෙක් සිටිනවා නම් ඇය පුරුදු කළ යුතු සුන්දර බුද්ධ දේශනාවක්
සුඛ සෝමනස්ස සූත්‍රය නමින් තිබෙනවා .
(1)
භාග්‍යවතුන් වහන්සේ වදාළා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා කෙතරම් වැඩකටයුතු රාජකාරි බහුල වුණත් කාරණා
හයක්….
සිහි කර කර ඉන්න පුළුවන් නම්, වැඩ වැඩි යැයි සිතමින් පසු තැවෙන්නෙ නැහැයි කියා.
ඒ නිසා ඔබත් මේ කාරණා පුරුදු කරන්න මහන්සි ගත්තොත් ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබටත් පුළුවන් …..
යම් කෙනෙක් දිවා රෑ සැපසේ වාසය කරන්න කැමතියි නම්, මේ දෙයට ඇලෙන්නයි කියා… එනම්, ධර්මයට ඇලුණු සිතින් වාසය කරන්න යැයි වදාළා.
කාන්තාවක්, දරුවන්ට ස්වාමියාට වැඩකටයුතු වලට ඇලෙන්නේ නැතිව, වැඩක් පලක් කරන අතරේ ධර්මය සිහි කරමින් සිටින විට, කාලයක් සමග මේ සිතට ධර්මය ඇලෙනවා. ධර්මයට සිත සිත ඇලෙන්න පටන් ගත්තට පස්සේ ඇයට සැප සොම්නස ලැබෙනවා. ධර්මය තුළින් ජීවිතය දකිමින් සිටින නිසා ඒ සිතෙහි තරහ ඇති වෙන්නෙත් නැහැ. මේ කරුණු සැප සතුට ළඟා වෙන්නත් …ආශ්‍රවයන් දුරු කරන්ටත් හේතුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා .
ඔබ කෑම පිසිමින් සිටිනවා කියා සිතන්න ඒ වැඩ කරන ගමන් චතුරාර්ය සත්‍ය ධර්මය සිහි කරනවා, රහතන් වහන්සේ ගැන සිහි කරනවා ගිහි ශ්‍රාවිකාවෝ ඒ ජීවිතය ගත කළ ආකාරය පිළිබඳ සිහි කරනවා, මෙහෙම සිහි කරන විට ඇයත් නොදැනීම ධර්මයට ඇලෙනවා. වැඩ නිසා කයට වෙහෙසක් දැනුනත් ධර්මය තුළින් සැපයක් ඇතිවීම, අකුසල් සෝදා හරිනවා.
(2)
දෙවැනි කරුණ ලෙස’ භාවනාවට ඇලෙන්න” යැයි වදාළා.
ඔබ සිතයි අනේ මේ වැඩ අස්සෙ භාවනාවට අපිට වෙලාවක් නැහැනේ කියලා. නමුත් ඔබ සිතන්න …නිවස අතුගාන විට, දරුවන්ට කෑම පිළියෙල කරන විට , රෙදි සෝදන විට, ඒ දේ මෛත්‍රියෙන් කරන්න. එතැන තිබෙන්නේ භාවනාවක් .සතර ඉරියව්වෙන් මෙත් සිත පුරුදු කරනවා නම්, ඔබ භාවනාවට ඇලුනු තැනැත්තියක් .එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් සැපෙන් සතුටින් සිටින්න කැමති නම් භාවනාවට සිත අලවා සිටින්න කියලා.
(3)
තුන්වැනි කරුණ නම් වැඩ වැඩි වෙන විට අපට තරහ යනවා. නීවරණ බලවත් වෙනවා. එතකොට ඇයගේ ජීවිතය පුන්සඳක් අඳුරු වලාකුළකින් වැසී යනවා සේ අකුසලයෙන් වැසී යනවා .නමුත් යම් කෙනෙකුට අකුසල් බැහැර කරමින් කුසල් වඩමින් ජීවත් වෙන්න පුලුවන් නම් සැපසේ සතුටින් වාසය කරන්න පුළුවන්. කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
වැඩ වැඩි වෙන විට ,මහන්සි වන විට, අපගේ සිතටත්,මහන්සියි.අනේ මේ වැඩ ඉවර වෙන්නෙ කවදාද කියලා සිතනවා… එවිට සිත ගැටෙන්න පුළුවන්. හැමෝම හොඳට නිදි. මට විතරක් සැනසීමේ නිදාගන්න වත් නැහැ. කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ ගැටුණු සිතක් ඇති වන විට ධර්මය සිහි කරන නිසා ඇයට සිහිය උපදිනවා. තරහ සිතිවිලි කාම සිතිවිලි දුරු වෙලා සාමාන්‍යයෙන් සිත අකුසල් එකතු කර කර යන ගතිය නැති කරනවා . සතුට සැහැල්ලුව අප තුළ ඇති වෙන්නට පටන් ගන්නවා.
(4)
හතර වන කාරණය තමන්ට කෙතරම් වැඩ කටයුතු බහුල ව තිබුණත්, සුළුවෙන් හෝ විවේකය පුරුදු කරන්න. දවසේ පොඩි වේලාවක් වෙන්කරගෙන බුදු ගුණ දම් ගුණ සඟගුණ ආදී යම් ගුණයක් සිහි කරන්න. කයට මෙන්ම සිතටත් විවේකයක් දෙන තැනැත්තාට සතුටින් සැපයෙන් ඉන්න පුළුවන් යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
(5)
පස්වැනි කාරණාව තරහ සිත දුරු කරනවා කියන කාරණයයි. එයට ඇලී තරහ සිත දුරු කරන්න්නට යම් කෙනෙක් උත්සහ කරනවා නම්, ඒ තැනැත්තාට සැපය සන්තෝෂය සැහැල්ලු ප්‍රීතිය ලැබෙනවා. ඉතිං ඔබ සොයන සැපය තමයි මේ බුද්ධ දේශනා තුළ තිබෙන්නේ.ඒ නිසා වැඩ වැඩි වුණා කියා තරහ සිතිවිල්ලක් ඇති කර නොගෙන තව කෙනෙකුට වචනයෙන් කයින් උපකාරයක් කරනවා නම්, තමා කරන පින ගැන සිත සිතා ඉන්නවා නම්, එය සාර්ථක වෙනවා.
(6)
හය වැනි කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළා ආයතන හයෙන් අරමුණු අරගෙන ඒවා නැවත නැවත සිතමින් සිටින විට ඒ අරමුණු ආස්වාදයන් බවට පත්වෙනවා කියා. එය ඔස්සේ ප්‍රපංච ගොඩනැගෙනවා. තමන්ට නොදැනීම හිත ඈතට යනවා සැපයට කැමැති කෙනා ප්‍රපංච දුරුකරනවා. ඉන්ද්‍රිය සංවරය, සීලය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පුරුදු කිරීමෙන් ප්‍රපංච දුරු කළ හැකි බව ඒ දේශනාවේ සඳහන් වෙනවා .
භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් ඉහත කාරණා තුළ ඇලී වාසය කරනවා නම්, කෙතරම් වැඩ කටයුතු බහුල වුවද ඇය වීර්ය ආරම්භ කළ කෙනෙක්, ඇයට අකුසල් ආශ්‍රව දුරු කරන්න හේතුවක් තියෙනවා, මේ නිසා වැඩ බහුල විටදී පවා ධර්මය සිහි කරමින් ධර්මයට ඇලී සිටිනවා නම් ඒවා කරදරයක් ලෙස නොසිතා ඇයට පින් ගංගාවල් ජීවිතය පුරා ගලා යන්නට හේතු සාධක වන බව .
බුද්ධ ශාසනය තුළ එසේ ධර්මයට ඇලී සිටි ආර්ය ශ්‍රාවිකාවන් අපට මුණ ගැසෙනවා විශාඛාව ගිහිගෙදර බොහෝ වැඩකටයුතු තිබූ තැනැත්තියක්. දරුවෝ තිදෙනෙක් සමග ඇය සිරවී සිටියා. නමුත් නිතරම ඇය ධර්මයට ඇලී වාසය කළා.
ඉතින්…..ඔබත් බොහෝ වැඩකටයුතු මැද තරහ නොගෙන අපහසුතා විඳගෙන සැපක් යැයි සිතමින් සැපසේ වාසය කරන්න හිතා ගන්න .
ඔබේ ජීවිතය සාර්ථකයි…..
-සහෝදරත්වයට එක්වෙමු-