Temples of Sri Lanka

මිථ්‍යාව පැරදූ අද්භූත ධර්මයෝ

මීට වසර 2600 කට පමණ පෙර දඹදිව ගයාවේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝ සමිඳු සෙවනේ හිඳ අප භාග්‍යවතුන් වහන්සේ ගුරු උපදේශ රහිතවම ලෝකයේ පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා… (චීනයේ බිහිවූ ලාඕට්සේ නැමැති දාර්ශනිකයාගේ ගෝල බාලයින් පසුව කූඨ ලෙස තම ගුරුවරයා වූ ලාඕට්සේ අහසින් ගොස් ඉන්දියාවේ සිද්ධාර්ථ තවුසාට බුදු වෙන හැටි ඉගැන්වූ බව චීන ඉතිහාසයේ ලිව්වත් එම බොරුව ලෝකයට ගෙනයාම සාර්ථක වුනේ නැහැ)

අපි මේ මහත් සොම්නසින් සමරමින් සිටින්නේ පරම දුර්ලභ වූ විස්මිත වූ ඒ සිදුවීමයි.

තථාගතයන් වහන්සේ පහළ වීමට පෙර ජිවිතය ගැන පිරිසිදු නිරවුල් අවබෝධයක් ලබා දෙන ඉගැන්වීමක් ලෝකයේ තිබුණේ නැහැ .

එයට හේතුව සත්‍යය අවබෝධ කළ කිසිවෙකුත් ලෝකයේ නොසිටීමයි. මිනිසුන්,

ඉපදුනා ..
 වයසට ගියා ..
 ලෙඩ වුණා ..
 මරණයට පත්වුණා..

ජීවත්ව සිටි කාලය තුළ නොයෙකුත් ආකාරයේ කායික දුක් මානසික දුක් දොම්නස් වලට ගොදුරු වුණා. ජීවත්ව සිටි කාලයේ දී ආසාවන්ට යටවෙලා ඉඳුරන් පිනවීමේ පිපාසයකින්මයි වාසය කළේ. සීමාරහිත ආශාවන් නිසා අනේක ප්‍රකාර වූ දුක් විඳීමෙන්මයි ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වුණේ . මානයෙන් මත් වෙලා හිත පිනවමින් ම ජීවත් වෙන්නට උත්සාහ කළා .එයිනුත් අනේක ප්‍රකාර දුක් පීඩා විඳින ටයි ඔවුනට සිද්ධ වුණේ. දුක් දොම්නස් වලින් නිදහස් වෙලා වාසය කිරීමේ වාසනාවක් භාග්‍යවතුන් වහන්සේ පහළ වීමට පෙර මිනිස්සුන්ට උදා වුණේ නෑ.

තථාගතයන් වහන්සේගේ පහළවීම ලොවට ආශ්චර්යමත් දෙයක් බවට පත් වුණා. ඒ අසිරිමත් පහළවීමත් සමඟ ලෝකය විශාල පරිවර්තනයට ලක් වුණා. දෙවියන්ටත් මිනිසුන්ටත් පෙර කිසිකලෙක නොතිබූ නිරවුල් ජීවිත අවබෝධයක් ඇති කර ගැනීමේ වාසනාව උදා උනා. ඒ නිසා දෙව් මිනිසුන් ගේ ජීවිත ආලෝකමත් බවට පත්වුණා. ලෝභී පුද්ගලයින් ක්‍රියාශීලීන් බවට පත්වුණා .කුසීත අය වීරියවන්තයින් බවට පත්වුණා .අසමගිය සමගි වුණා. සෝක සුසුම් හෙළමින් සිටි අය සෝ සුසුම් නැති කරගෙන සතුටු සිත් උපදවා ගත්තා. අපිරිසිදු ජීවිත පිරිසිදු කර ගත්තා. සතර අපායෙන් නිදහස් වුණා. සුගති ලෝකවල ඉපදෙන්නට සමත් වුණා.දීර්ඝ සසර ගමනක් විඳිමින් ආපු දුක් අවසන් කරමින් බොහෝ අයට සසරෙන් නිදහස් වෙන්නට පුළුවන් වුණා. මේ මහා අසිරිය ලෝකයේ බොහෝ කලක් පවතී නම් එයත් අසිරියක්මයි. උතුම් සම්බුදු තෙමගුලේ ආශ්චර්‍යය සමරන මේ සමයේදී අප විසින් උත්සාහ කළ යුත්තේ මේ අසිරිමත් සම්බුදු පෙළහර දෙව් මිනිසුන්ගේ යහපත පිණිස බොහෝ කලක් සුරැකීමයි.

භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලෝකයට ලැබෙන තාක් මේ සම්බුදු සසුන ලෝකය පවතිනවා. භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලෝකයට ලැබෙන්නේ , ආශ්චර්ය අද්භූත වූ ධර්මයන් ලෝකයේ පවතින තාක් පමණයි.

ඒ ආශ්චර්ය වූත් අද්භූත වූත් ධර්මයක් ලෝකය තුල පවතින්නේ,
තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය දේශනා කරන තාක් පමණයි .තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකයට විවෘත නොවූ කාලයේ ….

මිනිසුන් තණ්හාවෙන් මත්වෙලයි වාසය කළේ.

මාන්නයට වසඟ වෙලයි වාසය කළේ.

නොසන්සුන් සිතේ ඇලිලායි වාසය කළේ.

අවිද්‍යා අන්ධකාරයේ ගිලී වාසය කළේ.

ඒ නිසාමයි කායික මානසික දුක් දොම්නස් වලට ගොදුරු වුණේ .සතර අපායේ වැටෙමින් කෙළවරක් නැති සසර ගමනක දුක් විඳිමින් ගමන් කළේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ලෝකයට විවෘත වීමත් සමඟම,

දෙව්-මිනිසුන්ට සියලු දුකින් නිදහස් වීමේ වාසනාව උදාවුණා .

ලෝකයට හිත පිණිස යහපත පිණිස කටයුතු කරන යමෙක් ඇද්ද දෙව් මිනිසුන්ට අනුකම්පා කරන යමෙක් ඇද්ද ඒ සියලු දෙනා ම තථාගතයන් වහන්සේගේ පහළ වීමත් සමග ලෝකයේ පහළ වන මේ ආශ්චර්ය අත්භූත ධර්මයන් ගැන සතුටු වුනා.

ඒ ධර්මයන් ලෝකයේ බොහෝ කලක් පවතිනවාට කැමති වෙනවා. එසේ කැමැති වන පිරිස ශාස්තෲන් වහන්සේ වදාළ ධර්මය ම ප්‍රකාශ කරනවා. අන් යමක් ප්‍රකාශ කරන්නේ නෑ. සුදුසු කල්හි ඒ දහම නැවත නැවත පවසනවා. අන් යමක් පවසන්නේ නැහැ.

ලෝකයට හිත පිණිස යහපත පිණිස දෙව් මිනිසුන්ට අනුකම්පාව පිණිස නැවත නැවතත් කිව යුතු ඒ උතුම් දහම කුමක්ද ..?

ඒ චතුරාර්ය සත්‍ය ධර්මය එනම් ,

දුක නම් වූ ආර්ය සත්‍යයයි. දුක්ඛ ආර්ය සත්‍ය යි.

දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි.

දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි.

දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යි.

තමන්ට හිත පිණිසත්, ලෝකයාට හිත පිණිසත්, කටයුතු කරන කෙනකු විසින් මැනැවින් ම ඉගෙන ගත ගතයුතු යමක් ඇද්ද මැනැවින් ම ප්‍රගුණ කළ යුතුය යුතු යමක් ඇද්ද මැනැවින් ම අන් අයට කියා දිය යුතු යමක් ඇද්ද එය අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි.

මෙසේ තථාගත ශ්‍රී සද්ධර්මය ලෝකයේ විවෘතව පවතී ද ඒ තාක්ම ආශ්චර්ය අත්භූත ධර්මයන් ලෝකේ පවතිනවා.ඒ ධර්මයෝ ලෝකයේ පවතින තාක් දෙව් මිනිසුන් භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලබනවා. ඒ සියලු දෙනා අනේක ප්‍රකාර වූ සසර දුකින් නිදහස් වී ලබන පරම ශාන්තිය උදා කර ගනු ලබනවා. ඒ සියල්ලෝම අපගේ ස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේගේ පරම උත්තම වූ අද්භූත වූ අසිරිමත් වූ සම්බුද්ධත්වය මැනවින්ම සමරනු ලබනවා….

දිගු සසර තුළ නියම ධර්මාවබෝධයෙන් සසර ගමනේ සැරිසරන්නට බෞද්ධ සහෝදරත්වයෙන් ඔබට ඇරයුම්…

You might also like
en English
X
X