ගෞතම බුදුන්ගෙන් සහ දෙවියන්ගෙන් ආශිර්වාදිත අගමැති මෝදි
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහා පෙර දින රාත්‍රියේ (05) ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර එය කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණි.
එහිදී ජනාධිපතිතුමා දැක්වූ අදහස්
“අගමැති මෝදි ශ්‍රී ලංකාවට ආගන්තුකයෙක් නොවෙයි. අපගේ මාතෘභූමිය පිළිබඳ ඔබ තුළ ඇති හෘදයාංගම හැඟීම අවස්ථා හතරකදීම ඔබ පෙන්වා තිබෙනවා. කලාපීය බලවතෙකු පමණක් නොව, ගෝලීය වේදිකාවේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ නැගීම පිළිබඳ අප අතිශයින් සතුටු වෙනවා. අප සැමවිටම අපේ මිතුරන්ට කියන දෙයක් තමයි නැවත පැමිණෙන්න කියලා. අපගේ හදවත් ඔබව සාදරයෙන් පිළිගන්න සූදානම්”
අනතුරුව අගමැති මෝදි විසින් හමුව ආමන්ත්‍රණය කරන ලදී.
එතුමා සිංහල භාෂාවෙන් සිය කතාව ආරම්භ කිරීම සුවිශේෂී කරුණකි.
එතුමා දැක්වූ අදහස්
“ජනාධිපතිතුමනි, ඔබගේ ආගන්තුක සත්කාරයට බොහොම ස්තූතියි! (සිංහලෙන්)
ඒ වගේම ලබා දුන් කෑම බීමවලිනුත් මම මහත් තෘප්තියක් ලැබුවා. ඉන්දීය සාගරයෙන් වට වී තිබෙන ශ්‍රී ලංකාව ඉතාම සුන්දරයි. මම මෙහි සුන්දරත්වයට ඉතාම ප්‍රිය කරනවා. විශේෂයෙන් කියන්න ඕනි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සම්බන්ධතා ගොඩක් සමානයි.
අපේ රටේ අශෝක රජතුමා ශ්‍රී ලංකාව තුළ බුදුදහම ප්‍රචාරය කිරීම වගේ දේවල් උදාහරණ හැටියට කියන්න පුළුවන්. අපේ මිත්‍රත්වය ඒ තරම් දිගු ඉතිහාසයකට දිව යනවා.
ගෞතම බුදුරජාණන් වහන්සේ හා දෙවියන් වහන්සේ කියන දෙදෙනාගේම ආශිර්වාදය අපේ රටවල් දෙකටම තියෙනවා.
එමෙන්ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මතක් කරන්නට ඕනි. ඒවා දෙරටේ තිබෙන සමානකම් විදිහට මම සලකනවා.
කෑම බීම ගැන කිව්වොත් ආප්ප සහ ඉඳිආප්පවලින් දිව පිනා ගියා. අපේ රටවල් දෙකේ තිබෙන සම්බන්ධතාවය ලෝකයටම ශක්තියක්. ඒවගේම ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් අපේ සහයෝගය ලබා දුන්නා. දෙරට අතර තිබෙන මනා මිත්‍රත්වය අවබෝධය ඊට හේතු වුණා. ඒවගේම මම විශ්වාස කරනවා ඒ සම්බන්ධය තවත් දිගු කාලයක් තිබේවි කියලා.”
සිය තෙදින සංචාරයේ අවසන් දිනය වන අද දිනය (06) එතුමා ගත කළේ අනුරාධපුරය නගරයේ ය. ඉන්දීය රජයට අයත් හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට එතුමා ගියේ වැඩසටහන් කිහිපයකටම එක් වීම සඳහා ය.
අනතුරුව විශේෂ රථ පෙළපාලියකින් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එකම රථයක නැගී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කරා ගමන් කළහ.
එලෙස ගමන් ගන්නා අතර ලබා ගත් ඡායාරූපයක් ද අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ පළ කර තිබූ අතර එහි “මා මිත්‍ර අනුර සමඟ අනුරාධපුරයේදී” ලෙසට සටහනක් ද එක් කර තිබුණි.
අනුරාධපුර පූජා නගරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
එහිදී බුද්ධගයාව ආධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති නා හිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි සේක.
ඒ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බවට සහතික කළේ ය.
අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට එක් වූ අග්‍රාමාත්‍යවරයා, එම පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ ද විවෘත කරන ලදී.
අනතුරුව අනුරාධපුර සිට මහව දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉන්දීය ආධාර මත ඉදි කෙරුණු සංඥා පද්ධති විවෘත කිරීමේ අවස්ථාවට එතුමා එක් විය.
මහව සිට ඕමන්තේ දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එතුමා එක්විය.
සිය තෙදින සංචාරය අවසන් කරමින් එතුමා අද (06) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
එහිදී ඉන්දියාවේ රාමේෂ්වරන් බලා පිටත්ව යන අතරතුර ආදම්ගේ පාලම හෙවත් රාම් සේතු ලෙස හැඳින්වෙන සාගර තීරයද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට හසුවිය.
06.04.2025