ආදරේ ලෝකයේ පවත්නා මානුෂීය හැඟීමක් ලෙසයි සැලකෙන්නේ. ආදරය අත් නොවිඳි අයෙක් අප අතර නැහැ. මාපියන්ගෙන්, ගුරුවර ,වැඩිහිටියන්ගෙන්,ලේ ඥාතීන්ගෙන්, හිත මිතුරන්ගෙන්, ආදරයෙන් නොහිස් වූ අපේ ජීවිත තුළ, යම් කාල පරාසයකදී ප්‍රේම සම්බන්ධතාවයක් ලෙස ගොඩනැගෙන ආදරයක් ද යෝජිත විවාහයන් තුළ ගොඩනැගෙන ආදරයන්ද, හදවතට වඩාත් සමීප වනවා සේම,මේ වයසේදී ඒ ආදරයට තැනක් ලැබෙනවා කියා නිශ්චිතව කියන්නට පුළුවන්කමක් නැති, දෙයක්.
සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තුළ ආදරේට නියමිත කාල රාමුවක් නැහැ .සියල්ලෝම,එවැනි ආදර සබඳතා වල කොටස්කරුවන් වූවා සහ වනවා කියන එක නම් සත්‍යයක්…
සදාචාර සම්පන්න සමාජය තුළ සම්මත යැයි සැලකෙන ආදර සබඳතා වගේම අසම්මත යැයි සැලකෙන ආදර සබඳතා ද අප ජීවත් වන වටපිටාවේ තියෙනවා .
ඒ වගේම විඳින සහ විඳවන ආදර සබඳතා තිබෙනවා. සාර්ථක විවාහයක් සහිත පවුල් ඒකකයක් ගොඩනගන ආදර සබඳතා වගේම සසරටම අර්බුදයක් කොටගෙන එකිනෙකා කෙරෙහි වෛර සිත් බලවත් කරගන්නා ආදර සබඳතා ද අප දකිනවා. ආදරය යනු …හුදෙක් මානුෂීය හැඟීමක් යැයි සලකන්නේ නම් , මේ විෂම ස්වභාවයන් ඉදිරියේ අප පුදුම විය යුතු කාරණයක් නොවේ .
අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් බැට කමින් පිරිහුණ සමාජ ක්‍රමයක ,චිත්තවේගයක් ..විශේෂයෙන් සෑම මොහොතකම වෙනස් වන සැලෙන සිතක උපදින හැඟීමක්, හුදෙක් සැපය සුවය පහසුව පිණිස පවතී යැයි කිසිසේත්ම නොසිතිය යුතුයි .
ඔබත් ආදරය විඳින කෙනෙකු වන්නට පුළුවනි. ඇතැම් විට ආදරය කළවුන් අද සිටින්නේ කොහෙද කියා ඔබ නොදන්නවා වගේම, ඔබ සිටිනවාද නැද්ද යන වග වත් ඔවුන් නොදන්නවා වන්නට ද පුළුවනි .
ඔබ හිමි වුනු ආදරය නිසා දුකද සැපද විඳින හෝ අහිමි වී බිඳී ගිය ආදරය නිසා පීඩා විඳින සිතක උරුම කරුවෙක් වන්නට ද පුළුවන්.
එහෙමත් නැතිනම් හිමිවුණු ආදරයට වඩා අහිමි ආදරේ වටිනාකම දකින කෙනෙකු වන්නට පුළුවන්.
ප්‍රීතිමත් හෙට දවසක් ගැන බොහෝ ප්‍රාර්ථනාවන් සිතේ දරාගෙන ආදරේ අරුණෝදය ප්‍රබෝධවත් සිතින් දරා ඉන්න අයෙකු වන්නටත් පුළුවන්.
ඒ කාහටත් සසර යහපත පිණිස උපකාර වන සොඳුරු ධර්ම පර්යාය කිහිපයක් පාදක කරගෙන ආදරය ගැන සටහනක් තබන්නට මේ සුදුසු කාලය යැයි හඟේ.
එසේ සිතුවේ ආදරයක් යනු හැඟීමක් නොව ගුණධර්මයක් යයි කියා අපට පණිවිඩය ගෙන දුන්, උතුම් මිනිසුන් ගැන අසන්නට ලැබුණු නිසයි
අද කාලේ ආදර සබඳතා වලදී සසල වන්නේ ආදරවන්තයින් දෙදෙනා. එහෙම නැතිනම් ඔවුන්ගේ පවුල්වල උදවිය සහ සමීපතමයින්.ඒ විදිහට සසල වන්නේ නොගැලපීම්. අර්බුද පීඩාදිය නිසයි. ඒ දේවල් බොහෝ දුරදිග ගියොත් ලෝකයම සසල වන ඛේදවාචකයකින් කරුණු කාරණා අවසන් වන්නට ද පුළුවන්.
නමුත් ආදරය සංසාරික යහපත පිණිස පවත්නා ධර්මයක් ලෙසින් දියුණු කළ පුණ්‍යවන්තයින්, ආදරයේ අනුහසින්, මිහිමඩළ සසල කළා.
ඒ තමයි …..
පිප්පලී කුමාරයාත් භද්දා කාපිලානි කුමරියත්.
සසරේ අවසන් වරට බැඳී, විවාහ ජීවිතය බ්‍රහ්මචාරීව ගෙවා, ලොව පහළ වූ රහතන් වහන්සේලා උදෙසා තමන් විසින් ම සිවුරු දරාගෙන, “මේ පැවිද්දන් හට පැවිදි වීත් දෙන්නා එක්ව සිටීම අත්හළ නොහැකි වී ඇත” යන අපවාද නගා ලෝකය පාපයට වැටෙන අකමැතිව, දෙදෙනා යනු පිණිස වෙන් වූ මොහොත ,සසරේ ද බොහෝ කාලයක් විවාහපත්ව බඹසර ආරක්ෂා කළ ,උතුම් බඹසර සීලයේ පිණිස දෙදෙනාහට දෙදෙනා විසින් නොමඳව අනුග්‍රහ කල , සසරේ හමු වීමක් නොවන පරිද්දෙන් නිවනින් නිවී සැනසීම පිණිස උරුමය ඇති, වෙන් වෙන්ව යන ඒ පින්වත් යුවළගේ ආදරයේ මහිමයෙන් ඒ මොහොතේ පොළොව සැලී ගියා…
එසේ පොළොව මෙන්ම තුන් ලෝකාග්‍ර සම්බුදුරජුන් මේ දෙදෙනා අමා මහ නිවන පිණිස පිළිපන් බව දැන, පිප්පලී ශ්‍රමණය වෙනුවෙන් පෙරමගට වැඩීය. ආදරේ හුදෙක් හැඟීමක් වූවා නම්, එය රාගයට ද්වේෂයට මෝහයට බැඳී යනවා. අකුසල චිත්ත පොළොව සසල කරවනා ආනුභාවයක් වන්නේ නැහැ.
නමුත් මේ දෙදෙනාගේ ආදරය ,මෛත්‍රියෙන් දියුණුව කැමැත්තෙන් ,කරුණාවෙන්, උපේක්ෂාවෙන්, වැඩී, සිව්බඹ විහරණයෙන් පිරි සබඳතාවයකට කිව යුත්තේ වැනි,හැඟීමක් නෙවෙයි .ගුණධර්මයක් කියා කිවූවේ ඒ නිසයි.
ලොවක් මවිත කරන, ලොවක් පරාජය කරන, ජය නිත්‍ය කරන,ජීවයක් ලබාදෙන ආදරය…හුදෙක් සාංසාරික බැඳීමකි.
පිප්පලී කුමාරයාත් භද්දා කාපිලානි කුමරියත් ධර්මය තුළින් අප දුටු විනයානුකූල වූ ආදර වෘත්තාන්තයකි.
නොනැසී පවතින්නට බෞද්ධ සහෝදරත්වයෙන් සෙනෙහසින් ඔබට ආරාධනා …
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood