Temples of Sri Lanka

ඉන්දියානු දේශයේ අම්බෙඩ්කාර් ජයන්ති සැමරුම

ඉන්දියානු දේශයේ අම්බෙඩ්කාර් ජයන්ති සැමරුම……

ඉන්දියානු දේශය තුළ පහළ වු අග්‍රගන්‍ය හා දූර්දර්ශි සමාජ ප්‍රතිසංස්කරණවාදී නායකයෙකු හා මිලියන ගණනක් ජනතාවගේ සමානාත්මතාවය හා සාධාරණත්වය උදෙසා කැප වු ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් මහතාගේ 134 වන ජන්ම දින සැමරුම අද දිනට යෙදි තිබේ.
සමස්ත ඉන්දියානු දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ භූමීකාව තුළ වඩාත්ම කැපී පෙනෙන දූරදර්ශී නායකයෙකු ලෙස ආචාර්ය අම්බෙඩ්කාර් හඳුනා ගත හැකි ය. අම්බෙඩ්කාර් සැමරුම හුදෙක් මෙම අසහාය නායකයාගේ ජන්ම දිනය සැමරීම අරමුණු කරගත්තක් පමණක් නොවන බව කිව යුතුය. මන්ද සාධාරණත්වය, යුක්තිය සමානාත්මතාවයේ ශක්තිමත් දෑත් සමඟ සමාජය තුළ අධ්‍යාපනයේ බලගැන්මේ වටිනාකම් සමස්ත ලෝකයටම මතක් කරන්නාවු කරන්නාවු අභිමානාත්මක උත්සවයක් වේ.

ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් සමාජ සාධාරණත්වයේ හා සමානාත්මතාවයේ ශක්තීන් තුළින් නැගී සිටි ඉන්දියානු විප්ලවීය සමාජයේ සදානොමියෙන සංකේතයකි. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා ලෙස ගෞරවාදරයට පාත්‍ර වු අම්බෙඩ්කාර් මහතා සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු , නීතිවේදියෙකු, ආර්ථික විද්‍යාඥයෙකු දේශපාලන නායකයෙකු වු අතර විශේෂයෙන්ම ආචාර්ය අම්බෙඩ්කාර් ඉන්දියානු විෂම වු කුල ක්‍රමයෙන් පරිපීඩනයට ලක් වු ජනතාවගේ අයිතිවාසිකම් හා ගෞරවය වෙනුවෙන් සටන් කිරීම ට තම ජිවිතය කැප කළේ ය.

1891 අප්‍රේල් මස 14 වන දින කුල ක්‍රමය නිසා පරිපීඩනයට හා වෙනස්කම් වලට ලක් වු පවුලක උපත ලැබු අම්බෙඩ්කාර්, තම ජිවිතයේ ලත් අමිහිරි හා කටුක අත්දැකීම්, මනුෂ්‍යත්වයේ සමානාත්මතාවය හා සාධාරණත්වය වෙනුවෙන් හඬ නඟන්නට සෘජුවම බලපෑවේ ය. සාධාරණත්වයෙන්, සමානාත්මතාවයෙන් මිනිසාගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන, මනුෂ්‍යත්වයට වටිනාකම් හිමිවන සිය පෙරළිකාර විප්ලවයේ ඵලදරන විමුක්තියේ යතුර ලෙස, අම්බෙඩ්කාර් විශ්වාස කළේ අධ්‍යාපනය යයි. යටත් විජිත ඉන්දියාවේ ආන්තික පසුබිමකින් පැමිණි අම්බෙඩ්කාර් ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණ සීමා කරන්නට නොහැකි තරම් විසල් ජයග්‍රහණ විය. ඔහු කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත්, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් ආචාර්ය උපාධියකුත් ඇතුළුව තවත් බොහෝ අධ්‍යාපන ජයග්‍රහණ රැසක් ලබා ගත්තේ ය. ඔහුගේ අධ්‍යාපනය ඔහුට මිනිස්කම පරිපීඩනයට පත්කල කුල ක්‍රමයට අභියෝග කිරීම ට සහ සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම ට බලය ලබා දුන්නේ ය.

සමාජ සාධාරණත්වයේ ශූරයකු වු අම්බෙඩ්කර්ගේ ජීවිතය කැප කළේ ආන්තිකකරණයට ලක් වූ, විශේෂයෙන් කුල ක්‍රමයෙන් පරිපීඩනය ට පත් වු ජනතාවගේ විමුක්තිය උදෙසා ය. සමානාත්මතාවය හුදෙක් ව්‍යවස්ථාමය පොරොන්දුවක් නොව ජීවමාන යථාර්ථයක් වන සමාජයක පමණක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකි බව විශ්වාස කරමින් ඔහු කුල ක්‍රමයේ යදම් විනාශ කිරීමට වෙහෙස නොබලා සටන් කළේය.

1936 දී, කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා ඔහු ස්වාධීන කම්කරු පක්ෂය සහ පසුව, උපලේඛනගත කුල සම්මේලනය ආරම්භ කළේය. ඔහුගේ නායකත්වය සමාජ අසමානතාවය සහ යුක්තිය පිළිබඳ ගැටළු ඉන්දියානු දේශපාලනයේ පෙරමුණේ ප්‍රබල දේශපාලන තේමා විය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ වු ආචාර්ය අම්බෙඩ්කාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කෙටුම්පත් කමිටුවේ සභාපතිවරයා ලෙස, ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

කුල ක්‍රමය නිසා පීඩාවට පත් වු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේදී අම්බෙඩ්කර් එම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබල උපදේශකයෙකු ලෙස මතු විය. 1920 සහ 1930 ගණන් වලදී, ඔහු පොදු ජල ටැංකි, පන්සල් සහ පාසල් ක්‍රල ක්‍රමයෙන් පරිපීඩනයට පත් වු ජනතාව ට ප්‍රතික්ෂේප කරන ලද පහසුකම් සඳහා වන ව්‍යාපාරවලට නායකත්වය දුන්නේ ය. 1927 දී ඔහු පොදු ජල ටැංකියකින් මිනිසුන්ට ජලය පානය කිරීමට මඟ පෑදූ මහද් සත්‍යග්‍රහය, කුල වෙනස්කම් වලට එරෙහි ප්‍රබල හැරවුම් ලක්ෂයක් වු විරෝධතාවක් විය.

එසේම කුල ක්‍රමයෙන් පරිපීඩනයට පත් වු ජනතාවට එවකට සමාජය තුළ දේවාල තුළ ට ප්‍රවේශ විම තහනම් කර තිබුණි. නමුත් 1930 දී, අම්බෙඩ්කාර් නාසික්හි කලාරාම් දේවාල ප්‍රවේශ සත්‍යග්‍රහය දියත් කළ අතර, කුලයේ පීඩනයෙන් බැට කෑ ජනතාවට හින්දු කෝවිල්වලට ඇතුළු වීමේ අයිතිය ඉල්ලා සිටියේ ය. මෙම විරෝධතා ආගමික ආයතනවල කුල පදනම් කරගත් බැහැර කිරීමේ ගැටලුව කෙරෙහි ජාතික අවධානය යොමු කළේ ය.

ආචාර්ය අම්බෙඩ්කාර්ගේ විප්ලවීය ගමන් මඟ ඇගයීමෙ දි විද්‍යාමන වන සුවිශේෂි ගිවිසුමක් ලෙස පුනා ගිවිසුම වැදගත් වේ. වඩාත්ම කැපී පෙනෙන සිදුවීම්වලින් එකක් වූයේ අම්බෙඩ්කාර් සහ මහත්මා ගාන්ධි අතර පූනා ගිවිසුම 1932 වර්ෂයේ දී අත්සන් කිරීමයි. මුලදී අම්බෙඩ්කාර් කුලයෙන් පිඩීත ජනතාව සඳහා වෙනම මැතිවරණ කොට්ඨාශ ඉල්ලා සිටිය ද, ගාන්ධි එයට විරුද්ධ විය. අවසානයේ දී, ඔවුන් පොදු මැතිවරණ කොට්ඨාශය තුළ කුලයෙන් පිඩීත ජනතාව සඳහා වෙන් කරන ලද ආසන සඳහා එකඟ විය. එය ඉන්දියාවේ ස්ථිරසාර ක්‍රියාමාර්ගවල අනාගතය හැඩගස්වන සම්මුතියකි.

විශේෂයෙන් ම අධ්‍යාපනික හා සමාජ ආයතන ආරම්භ කිරීම අම්බෙඩ්කාර්, කුලයෙන් පිඩීත ජනතාවට ලබා දුන් ඉහළම වටිනාකමක් ලෙස හඳුනා ගත හැකි ය. බහිෂ්කෘත හිතකරිනි සභාව 1924 පීඩිතයන් අතර අධ්‍යාපනය සහ සමාජ-දේශපාලනික දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ස්ථාපිත කරන ලදි. මහජන අධ්‍යාපන සංගමය 1945 අඩු වරප්‍රසාද ලත් ප්‍රජාව ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා ස්ථාපිත කරන ලදි.

එසේ ම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ 1947-1950 සභාපති ලෙස, අම්බෙඩ්කාර් සමානාත්මතාවය, නිදහස සහ සහෝදරත්වය සඳහා නීතිමය ආරක්ෂාවන් සහතික කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් කුලය, ආගම හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා සියලුම පුරවැසියන්ට මූලික අයිතිවාසිකම් සහතික කරන ලදී.
ආචාර්ය අම්බෙඩ්කාර් නීති අමාත්‍යවරයා ලෙස, හින්දු පුද්ගලික නීති ප්‍රතිසංස්කරණය කිරීමට සහ උරුමය සහ විවාහය තුළ කාන්තාවන්ට අයිතිවාසිකම් ලබා දීම ට, හින්දු කේත පනත් කෙටුම්පත යෝජනා කළේය. එය විවිධ ප්‍රතිරෝධයන්ට මුහුණ දුන් අතර ඔහුගේ ධුර කාලය තුළ එය සම්මත නොවූවත්, එහි මූලධර්ම බොහොමයක් පසුව නීතියෙන් සම්මත විය.

සමස්ත ඉන්දියානු දේශයේ සදානොමියෙන විප්ලවකාරී අරගල තුළින්, මිනිස් මානව වටිනාකම් විනාශ කළ අපවිත්‍ර කුල ක්‍රමයේ රැහැන් එක මිටට ගෙන පුලුස්සා දැමු, සමාජ ප්‍රතිසංස්කරණවාදී ආචාර්ය අම්බෙඩ්කාර් 1956 දී, ඔහුගේ මරණයට මාස කිහිපයකට පෙර, ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සමඟ බුදු දහම වැළඳ ගත්තේ ය.බෞද්ධ දර්ශනය තුළ බුදුන්වහන්සේ ස්ත්‍රි- පුරුෂ සමානාත්මතාවය හා සමාන වටිනාමක් හි හරවත් බව ලොවට පෙන්වා දුන් අතර කුල ක්‍රමය තුළින් මනුෂ්‍යාත්වයේ හරපද්ධතීන් හි සිඳුවන විනාශ වීම් පෙන්වා දී කුල ක්‍රමය ප්‍රතික්ෂෙප කළේ ය. ආචාර්ය අම්බෙඩ්කාර්ගේ විප්ලවීය මානුෂිය සටනට වඩාත් මානව හිතවාදී ප්‍රායෝගික දැක්මක් බුදුන්වහන්සේ ගේ දර්ශනය තුළ අන්තර්ගත වු බැවින්, ඔහු බුද්ධාගම ගෞරවය, සමානාත්මතාවය සහ කුල පීඩනයෙන් මිදීම සඳහා මාර්ගයක් ලෙස දුටුවේ ය.

ඉන්දියානු දේශයේ විසල් පරිවර්තනයක් කළ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අදහස් ඉන්දියාවේ දේශසීමා ඉක්මවා දෝංකාර දෙයි. පීඩනයට එරෙහි ප්‍රතිරෝධයේ සංකේතයක් සහ මානව ගරුත්වයේ ආරක්ෂකයෙකු ලෙස, ඔහු ගෝලීය වශයෙන් සමරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ඔහුගේ ලිවීම් ලොව පුරා විද්වතුන්, ක්‍රියාකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ට බලපෑම් කර ඇත.

සෑම අප්‍රේල් 14 වන දිනම සමරනු ලබන අම්බෙඩ්කර් ජයන්ති, ඉන්දියාව සහ විදේශයන්හි පෙරහැර, අධ්‍යාපනික සිදුවීම් සහ උපහාර මගින් සනිටුහන් වේ. ඔහුගේ විසල් මානුෂිය මෙහෙවරට ගෞරව කිරීම සඳහා නාග්පූර්හි දීක්ෂභූමි සහ මුම්බායි හි චෛත්‍ය භූමි වැනි ප්‍රධාන ස්ථානවල ජනතාව රැස් වෙති. දේශපාලන නායකයින්, සිවිල් සමාජ සාමාජිකයින් සහ පොදු පුරවැසියන් ඔහුගේ ඉගැන්වීම් හා සාධාරණ සමාජයක් පිළිබඳ ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා තවමත් අවශ්‍ය කාර්යයන් පිළිබිඹු කරමින් උපහාර දක්වයි.

ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර්ගේ ජීවිතය හා කාර්යය තුළින් ලෝකයට විෂද කරන්නේ, යුක්තිය කරා යන මාර්ගය පහසු හෝ ඉක්මන් නොවන බවයි. නමුත් එය සමාජයේ යහපත් පරිවර්තනයන් උදෙසා අත්‍යාවශ්‍ය වේ . ඔහුගේ උපන්දින සංවත්සරයේ දී, අපි විශිෂ්ට පුද්ගලයෙකු සමරනවා පමණක් නොව, සමානාත්මතාවය, ගෞරවය සහ නිදහස සියලු දෙනා විසින් භුක්ති විඳින අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෝකයක් ගොඩනැගිමට අප මත වු වගකීම පිළිබඳ සිහිපත් කරයි.
You might also like
en English
X
X