Temples of Sri Lanka

සත්‍යවාදී අසහාය නායකත්වයක පිලිරූ මැවූ මහත්මා ගාන්ධි තුමන්ගේ ජන්ම දිනය සමරමු…

මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි තුමන් , කරම්චාන්ද් ගාන්ධි නම් වූ පියාණන් හා පුත්ලිබායි ගාන්ධි තුමිය නම් වූ මෑණියන්ට පුත් කුමරා ව ,1869. 10.02 දින ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පෝර්බන්දර් නම් කුඩා ගම්මානයෙහි උපත ලැබීය .

මහත්මා ගාන්ධි යන නාමයෙන්ද ,බාපු යන නාමයෙන්ද ගාන්ධිජී යන නාමයෙන්ද හැඳින්වූ මෙතුමන්, ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන ස්ථානයක් ගත් සුවිශේෂී නායකයෙකු වශයෙන් නම් දැරීය.

එසේම ඉන්දියානු කොංග්‍රසය වෙනුවෙන් ද මෙතුමාගෙන් අමිල සේවයක් සිදු විය . රාජ්කොත් හි පදිංචිව සිටි මෙතුමන් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නට එහි වූ පාසලට ඇතුළත් විය .කුඩා කල සිටම සත්‍යවාදී භාවය මනා ලෙස ප්‍රකට කල එතුමන් තුළ ලැජ්ජාශීලී බව ,කිසි දිනෙක බොරු නොකී බව මනාවට විහිදෙමින් තිබුණි . එසේම නිරන්තරයෙන්ම සමීපතම මිතුරා ලෙස පොත්පත් සහ පාඩම් කටයුතු සමීප කරගත් ඔහුගේ චරිතවත් බව කුඩා කල සිටම දිස්වන්නට විය .

ගාන්ධිතුමන් 1887 දී matriculation විභාගය සමත්වීමෙන් අනතුරුව පවුල් සංස්ථාව තුළ ඇති වූ ආර්ථික හා පහසුකම් හේතුවෙන්, වැඩිහිටියන්ගේ ද උපදෙස් ඇතිව අහමදාබාද් යාමට තීරණය කළේය .

නමුත් එහිදී සිදුවූ අධ්‍යාපනය පිළිබඳ සෑහීමකට පත් නොවූ එතුමන්, පසුව එංගලන්තයට ගොස් නීතිය හදාරා වර්ෂ 1891.06.10 වන දින නීතිඥවරයෙකු ලෙස ලියාපදිංචි විය.

ඉන් පසුව නැවතත් තම මව් රටට පැමිණි ගාන්ධි තුමන්ට 1893දී නඩුවකට පෙනී සිටීම සඳහා දකුණු අප්‍රිකාවට යාමට සිදු විය. ඒ සඳහා මාස කීපයකට පමණක් කාලය ගත කරන බව සිතුවද වසර විස්සක් වැනි අධික කාලයක් එහි ගත කිරීමට ඔහුට සිදු විය.

එම කාලසීමාව දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය ඉතාමත් තදින්ම ව්‍යාප්ත වී තිබුණු යුගයක් විය .එහි ජීවත් වුනු දකුණු ඉන්දීය ජාතිකයන්ට ද, මේ සුදු ජාතිකයින්ගේ විවිධ කරදර සහ ගැහැට වලට මුහුණ දීමට සිදුවී තිබුණු අවස්ථාවකි .

විවිධ අවස්ථාවන්හිදී විවිධ කරදර වලට මිනිසුන් මුහුණ පෑ අවස්ථා දකිමින් ගාන්ධිතුමන් මෙම අවනීතියට එරෙහිව නැගී සිටීමට පෙළඹිණි .එම අරගලයන්හි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු අප්‍රිකානු රජය ඉන්දියානුවන් වෙනුවෙන් ගෙනා බොහෝ නීති සම්ප්‍රදායන් වෙනුවෙන් ද ඒවාට එරෙහිව විරෝධතා ව්‍යාපාර පවත්වමින් සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් නැගී සිටීමට මෙතුමන් නොදෙවෙනිව ක්‍රියා කලේය .

හිංසන ප්‍රතිපත්තියෙන් තොරවූ අවිහිංසාවාදී ක්‍රියාමාර්ගයන් රැගත් විරෝධතා ව්‍යාපාරයක ප්‍රතිඵලයක් වශයෙන් මෙය “සත්‍යග්‍රහ” නමින් හඳුන්වන්නට ද විය .දකුණු අප්‍රිකාවෙහි පදිංචි වූ ඉන්දියානුවන්ට බොහොමයක් අයිතීන් අත්පත් කර දුන් මහත්මා ගාන්ධිතුමන් නැවත තම මව් දේශයට පැමිණියේ මහා වීරවරයකු ලෙසිනි.

මෙසේ දකුණු අප්‍රිකාවේ වාසය කළ ඉන්දියානුවන් වෙනුවෙන් විශාල සේවයක් කරමින් තම මව් රටට පැමිණි ගාන්ධිතුමා ඉංග්‍රීසීන්ගෙන් තම මව්බිම නිදහස් කර ගැනීමට ද විවිධ අරගලයන්හි නිරත වෙමින් ඉන්දීය ජාතියට විසල් වූ සේවයක් කිරීමට කැප විය .

ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායකත්වයට පත් වූ එතුමන් උපවාස සත්‍යග්‍රහ යන ක්‍රමවේදයන් සංවිධානය කරමින් ඉංග්‍රීසින්ගෙන් තම මව්බිම නිදහස් කරගැනීමට මහත්සේ වෙර දැරීය .මෙතුමන් විසින් ගෙනගිය විවිධ විරෝධතා ව්‍යාපාර හරහා කිහිප වතාවක්ම ඉංග්‍රීසීන් විසින් එතුමන්ව අත් අඩංගුවට ද ගනු ලැබීය .නොපසුබට උත්සාහයෙන් සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කාර්යයන් ඉදිරියටම ගෙන ගිය මෙතුමා 1930 .03.12 දින පාද යාත්‍රාවක් ආරම්භ කරමින් ,එම පාද යාත්‍රා ව පුරා දින 25ක් තිස්සේ පවත්වනු ලබමින් ,දහස් ගණනින් ඉන්දියානුවන් සම්බන්ධ කරගනිමින්, එවකට ඉංග්‍රීසින් විසින් අධර්මිෂ්ට ලෙස පැණවූ ලූණු බද්ද සඳහා දියත් කරන ලද අරගලය මතින් ,එය උල්ලංඝනය කරන්නට ද සමත් විය .

නිවැරදි දැක්මක් මතින් සහ සත්‍ය ග්‍රහණය තුළින් ඉන්දියානු ජනතා ප්‍රසාදය දිනාගත් මෙතුමාගේ ක්‍රියාකලාපයන් මතින් ගෙන ගිය විරෝධතා මධ්‍යයේ ඉන්දියාවට නිදහස ලබාදෙනවා විනා ඉංග්‍රීසින්ට වෙන විකල්පයක් නොවූයෙන්, වර්ෂ 1947 දී ඉංග්‍රීසීන්ට ඉන්දියාව වෙනුවෙන් නිදහස ලබා දීමට සිදුවිය .

ඒ සියලු කටයුතු වෙනුවෙන් නොසැලී ක්‍රියා කළ ගාන්ධිතුමන්, නිදහස් වූ ඉන්දියාවේ ප්‍රථම අගමැති තුමන් ලෙස ශ්‍රී ජවහර් ලාල් නේරු තුමන් ව පත්කර ගැනීම සඳහා ද මුලිකත්වය ගෙන කටයුතු කරන්නට විය .ඉන්දියාව සඳහා නිදහස ලබා ලබාගැනීමට මහත්සේ උරදී කටයුතු කළ ද ඊට විරුද්ධකම් පෑ  අන්තවාදි පිරිසක් ද මේ අතර විසීය .එවැනි වූ සතුරෙකු ගේ වෙඩි පහරින් ගාන්ධිතුමන් වර්ෂ 1948.01.30 දින කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ කඳුළු මැදින් අවසන් ගමන් ගියේය .

ගාන්ධිතුමන්ගේ අසහාය නායකත්වය සහ මිල කළ නොහැකි වූ මනුෂ්‍යත්වය හදුනන කෘතගුණ දන්නා ඉන්දියානුවන් සත්‍ය වශයෙන් ම ඉන්දියාවට නිදහස ලැබුණේ 1947.08. 15 දින වුවද ,නිදහස වශයෙන් සමරනු ලබන්නේ රට වෙනුවෙන් මහත් සේවයක් කරමින් ජීවිතය පූජා කළ මහත්මා ගාන්ධිතුමන් මියගිය ජනවාරි 30 වන දිනයයි .

කුණු කය දිරාගිය ද නාමය නොදිරන බව පසක් කළ ඉන්දියානුවන් ගේ මේ සැමරීම ද ඉන්දීය නිදහස උදෙසා සත්‍යවාදී සටනක් ගෙනගිය එතුමන්ගේ ගුණ අනුස්මරණය කිරීමකි.ජන හද දිනූ නායකයෙකු ලෙස මින් එහා වූ පැසසුම් කුමට…?ආදර්ශවත් චරිතාපදානයක් සමාජගත කළ අසහාය නායකයානන්ගේ ගමන් මග වත්මන් පරපුරට ආදර්ශයක් ම, වේවා යි එතුමන්ගේ ජන්ම දින සැමරුම් ගෙනෙන අද දින ප්‍රාර්ථනා කරමු .

You might also like
en English
X
X